හලාවතදී වෙඩි වැදුණ ධීවරයෝ සහ ආණ්ඩුවේ කයිවාරු

0
63

ch22012 වසරේ පෙබරවාරි මාසයේදී  රජය විසින් සිදුකළ ඉන්ධන මිළ ඉහළ දැමීමට විරෝධය පාමින්  ලංකාව පුරාම  ධීවරයින් උද්ඝෝෂණ වල නියලුන අතර මෙම සිදුවීම් අවසන් වූයේ හලාවත ධිවර උද්ඝෝෂණයට තැබූ වෙඩි ප්‍රහාරයෙන්  එක් ධීවරයෙකු ඝාතනය වීම සහ තවත් පුද්ගලයන්  හතර දෙනෙකුගේ අතපය වලට හානි වීමෙන් හා අබ්බගාත වීමෙනි. රජය විසින් මෙම ඝාතනයේ වගකීම භාරගන්නවා  වෙනුවට  හලාවත එගොඩවැල්ලේ දී පෙබරවාරි 15 වනදා සිදුවූ සිදුවීමට මහා බේගලක් නිර්මාණය කළේය. ධිවර අමාත්‍ය රාජිත සේනාරත්න විසින් මෙම ධීවර නැගිටීම පිටුපස රාජ්‍ය නොවන සංවිධාන හා කුමන්ත්‍රණකාරීන් පිරිසක් සිටින බවත් හලාවතදී වෙඩි තැබුවේ ධීවරයන් අතද අවි ආයුධ තිබූ නිසා බවට ප්‍රකාශ රජයේ මාධ්‍ය මගින් පතුරා හැරියේය.
මෙම විරෝධතාවයේදී වෙඩි වැදුන ඇන්ටනී ප්‍රනාන්දු  සුලු මොහොතකින් මියගිය අතර ජේසුමරිය කිංස්ලිගේ පාදයක් අහිමි විය. පසුව මාස 3ක් ඉක්ම ගිය තැන තමන් පත්වූ අසරණ තත්ත්වය නිසා  සිය පවුලේ සාමාජිකයන් විදින දුක්ගැහැට ඉවසනු නොහැකිව ජේසු මරිය කිංස්ලි මහතා සිය දිවි හානිකර ගත්තේ සිය දෑතින්මය.
ඇන්ටනී ප්‍රනාන්දු මහතාගේ පවුලට සිද්ධිය වූ දිනට පසුදිනම ඩී.අයි.ජී හරහා මුදල් චෙක්පතක් ලබාදුන් අතර ඉන්පසු  මෙම පවුලේ තත්ත්වය දෙස බලන්නට කිසිවෙක් ඉදිරිපත් වූයේ නැත. ධීවරයින්ට වෙඩිතැබීමේ නඩුව තවමත් හලාවත අධිකරණයේ ඇසෙමින් තිබේ.

දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වූ ඇන්ටනී ප්‍රනාන්දුගේ බිරිද මෙම සිදුවීම වනවිට සිටියේ විදේශගතවී සේවය කරමිනි. ඇන්ටනී මහතාගේ මරණයත් සමග පැමිණි ඇය මේ වනවිටත් සිය පවුල සමග ජීවත්වෙයි. දරුවන් අධ්‍යාපනය ලබන බැවින් ඔවුන් තනිකරන්නට නොහැකි නිසා විදේශගත නොවූ ඇය මේ මොහාතේ ජීවත්වීම වෙනුවෙන් සීදුව කම්හලක සේවයේ නිරත වන්නීය. තමන්ගේ පවුල රකිමින් දරුවන්ගේ අනාගතය සුරකින්නට සිටි සිය ස්වාමි පුරුෂයා මරා දැමූ පසු රජයෙන් හෝ වෙනත් කිසිදු වගකිවයුතු ආයතනයකින් ඔවුන් අද ජීවත්වන්නේ කෙසේද යන්න සොයා බලන්නේ නැති බවත් නිලූකා පවසයි. දරුවන්ගේ අධ්‍යාපනයට හෝ අධාරයක් නොලැබෙන බව ද  පවසන ඇය මේ වන විට සිය දරුපවුල ජීවත්කරවන්නට තනිවම සටනක යෙදෙන්නීය.
සන්ධාන අපේක්ෂකයන් කොපමණ මුදල් කන්දරාවක් තමන්ගේ ජයග්‍රහණ වෙනුවෙන්  නාස්ති කලාද යන්න  පසුගිය පළාත් සභා මැතිවරණයේදී අපට  දැකගත හැකිවිය.   ධිවරයන්ට සහන දෙන්නට බැරි රජයක් සිය අනුගාමිකයන් රජකරවීමට ජනතා බදු මුදල් කෙතරම් වියදම් කළේද යන්න ගණන්  බැලිය නොහැකි තරම්ය.
ඡන්දය පැවැත්වූ දින හලාවත –  එගොඩවැල්ලේ එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් සිය පක්ෂයේ පාටත් ඇදගෙන සංවිධානාත්මකව  ජන්ද පොළට පැමිණීමට තිබු සුදානමක් ගැනද අපට වාර්තා විය. ඒ ධීවරයන්ගේ  රජය වෙත තිබූ දැඩි විරෝධයයි.  රජය විසින් පොරොන්දු වූ භුමිතෙල් සහනාධාරය ද සාධාරණ ලෙස පිළිවෙලකට ලබාදීමට රජය අපොහොසත් විය.
ඡන්දයට පෙර පැවති සිරසේ මාධ්‍යෙය්  , සටන වැඩසටහනට පැමිණි වයඹ පළාත් සභා අපේක්ෂකයෙකු වූ සන්ධ්‍ය රාජපක්ෂගෙන් මාධ්‍යෙව්දියෙකු මෙම සහනාධාරය ගැන විමසූ විට ඔහු පිළිතුරු දුන්නේ ‘ මේ මෑතකදී තෙල් සහනාධාරය ලබාදුන්නා දැයි මම දන්නේ නෑ ‘‘ යනුවෙනි.
වයඹ පළාත් සභාවක් දිනවීම වෙනුවෙන් මෙතරම් මහජන දේපල,මහජන මුදල් නාස්ති කිරීමට හැකියාව ඇති රජයක් තමන්ගේ පාලනය තුළදී  පොලිස් වෙඩිපහරින් මිය ගිය පුද්ගලයෙකුට නිසි වන්දියක් දීමට කටයුතු නොකරන්නේ  මුදල් නැති නිසාම නොවන බව මෙවර පළාත් සභා ජන්දයේදී හොදින්ම පෙනී ගිය කරුණකි.  එසේ නම් රජයට වැදගත් කාවද ?  අප අසාගත යුතු ප්‍රශ්නයයි.
සන්ධාන රජයේ වයඹ ජන්ද අපේක්ෂකයන් ඔවුන්ව දිනවිය යුත්තේ ඇයි ද යන්න ඉදිරිපත් කළ හේතුපාඨ සියල්ල අහෝසි කිරීමට හලාවත දී ධීවරයන්ට මෙම රජය විසින් කළ අපරාධය වුව ප්‍රමාණවත් වුවද මෙම ප්‍රශ්නය  විරුද්ධ පක්ෂයේ නියෝජනය කළ අපේක්ෂකයන්ට ද මතක තිබුණා දැයි ගැටළුවකි.
අදටත් හලාවතදී වෙඩි තැබූ  ධීවරයන්ගේ පවුල් වලට දුන් සුළු සහන හැරෙන්නට සාධාරණ වන්දියක් හෝ නීතිමය පිළිසරණක් නොමැති තත්ත්වයක ඔවුන් තමන්ට අහිමි වූ ස්වාමිපුරුෂයන් වෙනුවෙන් ජීවන සටනක නියැලෙමින් සිටිති.
මෙවැනි ඛේදවාචකයන් පිළිබද මාතෘකා ද මාධ්‍යයන්ට  මගහැරෙමින් තිබෙන්නේ ද අද බොහෝ මාධ්‍ය ද තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනප්‍රිය මාතෘකා තෝරමින් තරගයක යෙදී සිටින බැවිනි.  වෙඩි තබා ඝාතනය කළ ඇන්ටනී ප්‍රනාන්දුගේ පුවත විකුණන්ට හැකි වුවද  තනිවී සටන් කරන ඇන්ටනීගේ බිරිද නිලූකාගේ හෝ දරුවන් හතරදෙනෙකු සමග තනිව සිටින ජේසුමරිය කිංස්ලිගේ පවුලේ කතාව  විකුණන්නට නොහැකිවීම  ද අද අප රටේ මාධ්‍ය කලාව මුහුණ දී ඇති ඛේදවාචකයයි.

සබැදි පුවත් –
http://www.meepura.com/?s=%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%93