හාල්, පොල්, බිත්තර ප්‍රශ්ණ.

0
71
( 8.00 am ) හාල්, පොල්, බිත්තර වැනි එදිනෙදා ආහාර හිගයක් අද ඇතිවී තිබේ. එසේ වී තිබෙන්නේ මාලිමාවේ වරදින් නොව එදා පාලකයන් විසින් රට බංකොලොත් කිරීමේ ප්රතිඵල ලෙසිනි. අප රට ඉබේටම බංකොලොත් වූයේ නැත. මෙවැනි තත්වයක් ඇති වූයේ බලයේ සිටියවුන් සිදුකල සොරකම් සහ පොදු දේපොළ මංකොල්ලකෑම් නිසා වෙන් බව අවිවාදයෙන් පිළිගත යුතුය.

එදා පාලකයින්ගේ අවධානය යොමුවී තිබුනේ පොදු සම්පත් සොරා කෑමට මිස රට සංවර්ධනය කිරීමට හෝ ජනතාවට පහසුකම් සපයන්නට නොවේ. එදා පැවතියේ එතරම් දුෂිත පාලනයකි.

• දුෂිත පාලනයේ උපායන්.

එම දුෂිත පාලන ක්රමය නොකඩවා ගෙන යන්නට සහාය වන්නට එම පාලකයන් විසින් විවිධ උපායන් යොදා ගැනුනි. ඒ සදහා උපාය මාර්ගයන්, මානව සහ භෞතික සම්පත් සහ ජන මාධ්යයන් අදටත් ඔවුන් සතුව ඇත.
ගම් මට්ටමේ පිරිස් ජාලයක් සැමවිටම තමන් සමීපව තබා ගනිති. සමහර විට එදා පාලකයන් විසින් සිදුකල සොරකම් වලින් යම් සුළු ප්රමාණයක් හෝ ඔවුන්ගේ ගෝල බාලයන්ට ලැබෙනවා විය හැකියි. ගන්නාවූ ගතමනාව වෙනුවෙන් ඔව්හු සොරුන් වෙනුවෙන් සේවය කරති. සමාජ මාධ්ය යොදා ගනිති. සොරුන්ගේ පාලනය තිබුණා නම් කෙතරම් අගනේදැයි පෙන්වති.

වර්ථමාන ආණ්ඩුව අප්රසාදයට පත් කිරීම සහ මේ හොරුන් නැවත බලයට ගෙන්වීමේ දේශපාලනය දැන් ආරම්භ වී තිබේ. සොරුන්ගේ ගෝල බාලයින් තමන්ට පැවරෙන එම වගකීම ඉටු කිරීම වෙනුවෙන් දැන් වෙහෙසෙති.

• මාලිමාවට දුන් ඡන්දය

මාලිමා ආණ්ඩුවට ඇති විශාල බලයක් ලැබුණි. නමුත්, ඒ සියලු දෙනා ඡන්දය දුන්නේ ගැඹුරු දේශපාලන දැනුවත් බවකින් නොවේ. පැවතුන දුෂිත දේශපාලනයෙන් හෙම්බත් වී සිටි නිසාවෙනි. එම නිසා එම ජනතාව මාලිමාව යටතේද තවදුරටත් හෙම්බත් වීමට සුදානම් නැත. ඔවුන් සොයන්නේ ක්ෂණික පිළිතුරුය. මාලිමාවට බලය ගෙන ඒමත් සමග තමන් පවරා ගන්න වගකීම පිලිබදව දැනුවත් බවක් නොතිබුණ නිසාවෙනි. ඒ දැනුවත් බව මැතිවරණ වේදිකාවෙන් ඔවුන්ට ලැබුනා නම් එසේ නොවන්නට තිබුණි.

එම නිසා, බොහෝ දෙනා ශාරීරිකව මාලිමාව සමග සිටියද, මනසින් තවම ජීවත්වන්නේ පැරණි දේශපාලන ලෝකයේමය. ක්ෂනික පිළිතුරු නොලැබෙන විට ඔවුහු මාලිමා විරෝධීන් බවට පත්වීමේ ප්රවනතාවයක් ඇති වන්නට ඉඩ ඇත. සොරුන්ගේ රැවටිලිකාරයින්ගේ ප්රයෝගයන්ට ලක්වනු ඇත.

හාල් සහ පොල් ප්රශ්නය යොදා ගනිමින් මේ දිනවල ජනතාව සිත තමන් දෙසට හරවා ගැනීමේ උත්සාහය පෙනෙන්ට තිබේ. ඔවුන්ගේ ජන මාධ්ය ඊට අනුබල දෙන බව පෙනේ. සමාජ මාධ්යද ඒ සදහා යොදා ගැනෙති.

• මාලිමා ආණ්ඩුව නඩත්තු කිරීම

මැතිවරණයේදී හොරු පරාජයට පත්වන බව ස්ථීරව බොහෝ දෙනා කලින්ම දැන සිටියහ. නමුත්, බලයට පත්වන මාලිමා ආණ්ඩුවේ ජයග්රහණය නඩත්තු කිරීමේ වගකීමට බොහෝ දෙනා අවදියෙන් සිටියේ නැතැයි මම සිතමි. ග්රාමීය සංවිධාන ඒ සදහා ශක්තිමත් කර ගත්තේ නැත. පරාජිතයින් පරාජය වූදා සිටම නැවත බලයට එන්න වෙර දරන බවද බොහෝ දෙනා නොදැන සිටියා විය හැක.

හොරුන් නැවත බලයට පැමිණීමේ උත්සාහය පරාජය කිරීම වර්ථමාන ආණ්ඩුව බලයට ගෙන ආ අයගේ කර මතම පැවරෙන වගකීමකි. මාලිමා ආණ්ඩුව දිනවීමට වඩා එය නඩත්තු කිරීම අභියෝගාත්මකය.

එයින් අදහස් කරන්නේ වර්තමාන ආණ්ඩුවේ දුර්වලකම් සගවා තැබීමක් නොවේ. කිසිවිටක එම වැරදි සාධාරණීය කිරීම නිවැරදි දේශපාලනය නොවේ.

මාලිමාවේ වැරදි නිවැරදි කර ගැනීම අපටම පැවරෙන වගකීමකි. මාලිමා ආණ්ඩුව ලබාගත් ජයග්රහණය රැක ගත්ත එම වගකීම ඉටුකිරීමෙනි.

• ආණ්ඩුවේ සීමාකම්.

ජනාධිපතිට සහ ඇමති මණ්ඩලයට පමණක් තනිව රටේ ප්රශ්ණ සියල්ල විසඳන්නට මැජික් බලයක් නොමැති බව එදා සිටම අරුණ කුමාර පැවසූ බව අප කාටත් අමතක නොවනු ඇත. යථාර්තය එය බව අද පැහැදිලිය.

එයින් කියවෙන්නේ රටේ පුරවැසියන්ද එම වගකීමට කරදිය යුතු යයි ද, පුරවැසියා මත පැවරෙන වග කීමක් ඇති බව ද, චන්දය දී යම් පිරිසක් බලයට ගෙන එමෙන් පමණක් පුරවැසියාගේ සියලු වගකීම් අවසන් නොවන බවත් පැහැදිලි වේ. එම නිසා පුරවැසියන්ගේ ක්රියාකාරිත්වය දැන් ආරම්භ විය යුතුයි.

• ඒක පුද්ගල නායකත්වය

එක පුද්ගල නායකත්වයක් මත යැපෙනවා වෙනුවට අද අවශ්ය වන්නේ “සාමූහික නායකත්වයකි”. තම ප්රදේශ තුල සාමූහික නායකත්වයක් බිහි කර ගත යුතුව ඇත. රට පුරා පහල මාලයේ ඇති විය යුත්තේ සාමූහික නායකත්වයකි.

එම නායකත්වය ගමේ ජනතාවගේ ප්රශ්න හදුණා ගත යුතු අතර ඒවාට විසදුම්ද හදුනාගත යුතුයි. ගමේ මට්ටමින් විසදාගත නොහැකි දේ ආණ්ඩුවට සහ රජයට ඉදිරිපත් කල යුතුයි.

ගමේ වෙළද සැලේ අසාධාරණ මිලකට හාල්, පොල්, මූලික එදිනෙදා ආහාර ද්රව්ය විකිණීම සිදුවන්නේ නම් ඊට විසදුම විය යුත්තේ සාමුහික නායකත්වයේ ක්රියාකාරිත්වයයි. උදාහරණයක් වශයෙන් ගමේ “පාරිබෝගික සමුපකාරය” නැවත ආරම්භ කිරීම සහ දුෂණයෙන් තොරව එය පවත්වා ගැනීම කල හැකිය. එ් සදහා ගමේ සාමූහික නායකත්වය ඉදිරිපත් විය යුතුව ඇත.

සරත් ඉද්දමල්ගොඩ පියතුමා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here