දවසක් මම අහම්බෙන් දැක්කා මේ පියතුමා බිස්කට් දෙකක් මහ දවල් කනවා. ඒ මේ පියතුමා අපේ පල්ලියේ සේවය කරපු කාලෙ.මම ඒ කාලෙ හරි පොඩි යි. මට ඒ මොහොතේ තේරුම් ගියා ෆාදට දවල්ට කන්න කොහෙන්වත් කෑම හම්බෙලා නැහැ කියලා. ඒ වගේ දවස් කීයක් නම් හරියට කන්න මොකුත් නැතුව ඉන්නවද දන්නෙ නෑ කියලා මට හිතුණා. මම පොඩියි. මම කියල මොනව කරන්නද? හැබැයි කිසිම කන්කෙඳිරි ගෑමක් නැතුව ෆාද එදත් හැමදාම වගේ හිනාවෙලා පූජාව තිබ්බා. හිනාවෙලා සීනු කූඩුව යටට වෙලා අපි පල්ලිය වත්තේ සෙල්ලම් කරනවා බලන් හිටියා. කිසිම වෙනසක් අපිට පෙන්නුවෙ නැහැ. ඒ වෙලාවේ සෙල්ලම් කලත් මගේ අවධානය තිබ්බේ ෆාද දිහාවට. මොකද මම දැක්ක දේ මගේ හිතට තදින්ම වැදුනා. ඒ මොහොතේ තමයි මට හිතුනෙ මමත් ස්වාමි කෙනෙක් වෙන්න ඕන කියලා.
මේ පින්තූරය දැක්කම මට ඒ දවස ආයෙ මතක් වුනා. ඒ දේ වෙලා දැන් අවුරුදු පහළොවක් විතර ගිහින්. මම දැන් තේවචාර්ය වරයෙක්. සුදු ලෝගුවේ ගෑවෙන දූවිලි නොතකා අසරණ වෙච්ච මිනිස්සුන්ට ජේසුව දෙන්න මේ පියතුමා වගේ මටත් පුළුවන් වෙයිද කියලා මං මගෙන් අහනවා. යටින් ඇඳලා ඉන්න කලිසම දණහිස වෙනකන් උස්සගෙන ෆාද මේ යන්නේ ගංවතුරෙන් අසරණ වෙච්ච මිනිස්සුන්ට ආධාර බෙදන්න. මේ වෙනකොට මේ පියතුමාගේ පල්ලියේ සේවය කරන්නේ මගේම පන්තියේ තේවචාරය තුමෙක්. මම මගේ යහළුවාට පෙරේදා කෝල් කරපු වෙලාවේ මට පසුබිමෙන් ඇහුණා මේ පියතුමා ඊළඟ දවසේ බෙදන්නට යන වියලි ආහාර අඩුක් කරනවා. මම ඇහුවම මොකද කරන්නේ කියලා මට මගේ යහළු තේවචාරය තුමා කිව්වේ ෆාද රෑ දොළහ එක වෙනකන් වැඩ කියල.
පූජක ජීවිතය කොයි වගේද කියලා මම ඉස්සෙල්ලම ඉගෙන ගත්තෙ මේ ස්වාමි ගෙන්. මේ කතාව මම දවසක ෆාද ව හම්බ වෙලා කියන්න හිතන් ඉන්නවා. ඒත් ඊට කලින් මෙහෙම පුංචි සටහනක් තියන්න හේතුව තමයි මේ වගේ ස්වාමි කෙනෙක්ට ලැබෙන අගය කිරීම් හරිම අඩු නිසා. සුදු ලෝගුව කිරි සුදුවට තිබුනනම්, හොඳ සපත්තු දෙකකුත් දාලා හිටියනං ලොකු පිළිගැනීමක් තියෙන්න තිබුණා. මේ ෆාදට ඒ දෙකෙන් එකක්වත් නෑ. ෆාද වගේ වෙන්න මට තව ගොඩක් කල්යයි.
රන්ජුන පෙරේරා තේවාචාරයතුමා. ✍️
ජුනි 7, 2021 (ඇමෙරිකා එක්සත් ජනපදය)