හැමිල්ටන් ඇල කළු පාට වුනේ ඇයි?

0
93

 

( 11.30 am ) මීගමු නගරයට අලංකාරය කැන්දන සහ මීගමු නගර⁣යට අනන්‍ය සලකුණක් වූ හැමිල්ටන් ඇලේ හි ජලය මේ දිනවල වඩාත් කළු පැහැයක් ගෙන අපවිත්‍ර ස්වභාවයක් පෙන්නුම් කරයි. පසුගිය වසර වලද, සමහර කාල වලදී මෙවැනි තත්ත්වයක් ඇති වී තිබීම දැකගත හැකිය.විටෙක හැමිල්ටන් ඇලේ සමහර ස්ථානවල දැඩි දුර්ගන්ධයකින්ද යුක්ත වේ.
මේ පිළිබඳව හේතු සෙවීමේදී විවිධ පුද්ගලයන් එක් එක් මත සහ අදහස් ප්‍රකාශ කළද එයට නිවැරදිම හේතු සාධක පිළිබඳව අප මෙවර විමසා සිටියේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, මීගමුව කාර්යාලයේ අධීක්ෂක නිලධාරී කේ.ආර්.කේ.සමරසේකර මහතාගෙනි.

ඔහු පවසන පරිදි හැමිල්ටන් ඇලේ පවතින ජල ප්‍රමාණය අඩු වැඩි වීම කෙරෙහි බල පවත්නා ප්‍රධානතම කාරණය වන්නේ වඩදිය බාදිය තත්වයයි. මේ නිසාම මේ දිනවල හැමිල්ටන් ඇලේ ජල ප්‍රමාණය අඩු මට්ටමක පවතී . එලෙසම මේ දිනවල හැමිල්ටන් ඇලේ ජල ප්‍රමාණය අඩු මට්ටමක පැවතියත් එහි ගමන් කරනා බෝට්ටු ප්‍රමාණය මේ දිනවල වැඩි වී තිබෙන බව ඔහු පවසයි. මේ හේතුව නිසාවෙන්ම නිතර මෙම ඇළෙහි ගමන් කරනා බෝට්ටු ප්‍රමාණය වැඩිවීම නිසාවෙන් ඇලෙහි ජලය නිතරම කැකෑරීමකට ලක්වේ. එලෙසම එම බෝට්ටුවල ඇන්ජින් වලින් ඉන්ධන දහනයේදී නික්මෙන දුමාරය නිසාද හැමිල්ටන් ඇලේ ජලය කළු පැහැ ගැන්වී අපවිත්‍ර වීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.481252479 3497509437210262 6018210349915703883 n

හැමිල්ටන් ඇලේ ජලය මෙලෙස කළු පැහැ ගැන්වී අපවිත්‍ර වීමට බලපා ඇති තවත් ප්‍රධානතම හේතුවක් වන්නේ මීගමු නගරයේ ඇති බොහෝ කානු මාර්ග හැමිල්ටන් ඇළට හරවා තිබීමයි. හැමිල්ටන් ඇල හරහා එම අප ජලය මීගමු කලපුවට ගලා යයි. එමෙන්ම බොහෝ කානු මාර්ග ඔස්සේ හැමිල්ටන් ඇළට නොදිරන ෂොපින් බෑග්, ලන්ච් ෂීට් , පොලිතීන් හා ප්ලාස්ටික් වැනි නොදිරන අපද්‍රව්‍ය ඇලෙහි ජලයට එකතුවීමෙන් ජලය දැඩි ලෙස අපවිත්‍ර වීමකට සහ දූෂණයට ලක් වේ.
සමරසේකර මහතා ප්‍රකාශ කරන පරිදි හැමිල්ටන් ඇල දෙපස පිහිටි නිවාස වල ජීවත්වන ජනතාවද ඔවුන්ගේ නිවාස වල සහ ව්‍යාපාරික ස්ථාන වලින් බැහැර කෙරෙන කැලිකසල සහ නොදිරන අපද්‍රව්‍ය ද බොහෝ අවස්ථාවලදී හැමිල්ටන් ඇළට බැහැර කරයි. මේ නිසාද හැමිලටන් ඇලේ ජලය දැඩි ලෙස අපවිත්‍රභාවයට ලක්වී තිබේ.. සමරසේකර මහතා පෙන්වා දෙන තවත් විශේෂිතම කරුණක් වන්නේ මෙම ඇළ දෙපස සිටින බොහෝ නිවැසියන් තමන්ගේ නිවාස වල සහ ව්‍යාපාරික ස්ථානවලින් එදිනෙදා බැහැර කරන පොලිතීන්, ප්ලාස්ටික් සහ ෂොපින් බෑග් වැනි දේ ගිනි තබා පුලුස්සා දැමීමට එනම් පිච්චීමට පෙළඹී තිබෙන බවයි. එහිදී එම ෂොපින් බෑග්, පොලිතීන් සහ ප්ලාස්ටික් වැනි දෑ දහනයේදී උග්‍ර විෂ කාරක වායුන් පරිසරයට මුසුවීම නිසා ඒ අවට ප්‍රදේශයේ වෙසෙන ජනතාවට උග්‍ර පිළිකා රෝග වලට පවා ගොදුරු වීමට වැඩි අවධානමක් පවතින බව සමරසේකර මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දේ.

එමෙන්ම ඔහු මෙහිදී අවධාරණය කරන්නේ ප්ලාස්ටික් ,ෂොපින් බෑග් ,පොලිතීන් වැනි නොදිරන අපද්‍රව්‍ය මීගමු කලපුවට මුසුවීම වළක්වාලීමට හැමිල්ටන් ඇල මාර්ගය මූලික කරගෙන බාධක යෙදීම හෝ සිදු කිරීමට නොහැකි වී ඇත්තේ හැමිල්ටන් ඇලේ බෝට්ටු ගමනාගමනය නිරන්තරයෙන් සිදුවන නිසා බවයි.

කෙසේ වුවද සමරසේකර මහතා මෙහිදී අවධාරණය කරන්නේ හැමිල්ටන් ඇලට ප්ලාස්ටික් ෂොපින් බෑග් , පොලිතීන් වැනි අපද්‍රව්‍ය සහ කැලිකසල බැහැර කරන අයට සහ කැලිකසල පුළුස්සා දමන අයට විරුද්ධව ඉතා තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි. ඒ සඳහා මීගමුව ප්‍රාදේශීය ලේකම්වරියගේද මෙහෙයවීමෙන් මීගමුව කලපුව සුරැකීමේ කමිටුවක්ද මේ වන විට පිහිටුවා ගෙන තිබේ.
මේ අනුව සමරසේකර මහතා පවසන්නේ මේ දිනවල හැමිල්ටන් ඇලේ ජලය මෙලෙස කළු පැහැ ගැන්වී අපවිත්‍ර වීමට ප්‍රධාන වශයෙන්ම ඉහත පෙන්වා දුන් අදූරදර්ශී අවිධිමත් සහ අක්‍රමවත් මිනිස් ක්‍රියාවන් බලපා ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here