හිටපු ශ්‍රිලනිප ඇමති මිල්රෝයි ජනපති සටනට !

0
126

 Milroy Fernando

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන බව හිටපු කැබිනට් ඇමතිවරයෙකු වන මිල්රෝයි ප්‍රනාන්දු මහතා සදහන් කරයි.ඒ අනුව ඇප මුදල් තැම්පත් කිරීමද මේ වන විට සිදු කර අවසන් බව මිල්රෝයි ප්‍රනාන්දු මහතා පැවසීය.

1956 වර්ෂයේ තරුණයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂයට එකතු වී ඇති මිල්රෝයි මහතා 1977 වර්ෂයේදී වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයේ අපේක්ෂකයා වූ පෙස්ටස් පෙරේරා මහතා ජයග්‍රහණය කිරීම සදහා කටයුතු කර ඇත.1988 වර්ෂයේ පැවති පළමු පළත් සභා මැතිවරණයේදී මහජන පක්ෂය නියෝජනය කරමින් තරග වදින ඒ මහතා ජයග්‍රහණය කරණු ලැබ ඇත.

1989 වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසට තරග කර ජයග්‍රහණය කිරීමටද හෙතෙම සමත් වී ඇත.1994 වර්ෂයේදී නැවත වතාවක් පාර්ලිමේන්තුවට තේරී පත් වන මිල්රෝයි මහතා ධීවර නියෝජ්‍ය ඇමතිවරයා ලෙසද කටයුතු කර ඇත.2000 වර්ෂයේදී නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් වන ඒ මහතා සමාජ සේවා සහ ධීවර ප්‍රජාවගේ නිවාස සංවර්ධන කැබිනට් ඇමතිවරයා ලෙස පත් වන්නේය.2004 වර්ෂයේ පැවති හවුල්කාර රජයේදී ධීවර හා ක්‍රිස්තියාණි කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා වන ඒ මහතා මාස කීපයකින් එම කැබිනට් ඇමති ධූරයට හිමිකම් කියයි.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පොදු පෙරමුණ දිස්ත්‍රික් නායකයා ලෙස තරග කරන මිල්රෝයි මහතා පරාජයට පත් වේ.පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට තරග කළත් ජයග්‍රහණය කිරීමට හෙතෙම සමත් නොවන්නේය.මේ අතර එතෙක් මිල්රෝයි මහතා දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයේ සංවිධායක කමින්ද ඉවත් කිරීමට පක්ෂ නායකත්වය කටයුතු කරයි.

මිල්රෝයි ප්‍රනාන්දු මහතාගේ පුතා වන රැක්මන් ප්‍රනාන්දු මහතා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටී.

ධීවර ප්‍රජාවට මෙතෙක් ඉටු වී නොමැති කටයුතු කර දීම තම අරමුණ බවත්, කතෝලික ජනතාවට ඇතැමුන් දක්වන අඩු සැළකිල්ල සම්බන්ධයෙන් තමන් තුළ ඇත්තේ කම්පනයක් බවත් මිල්රෝයි මහතා සදහන් කරයි.පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැවත රට තුළ ස්ථාපනය කිරීම තමන්ගේ එකම අරමුණ වී ඇති බවද හෙතෙම කියා සිටියේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින මිල්රෝයි ප්‍රනාන්දු මහතා මේ වන විට 75 වැනි වියේ පසුවේ.

ජුඩ් සමන්ත.