හිට් විකට් ගිය ලංකාවේ ක්‍රිකට් !

0
689

140725143850_cricket_generic_ball_and_wicket_512x288_bbc_nocredit

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දැඩි අර්බුදයට පත්වී ඇති බව පෙනේ. කාලයෙන් කාලයට ක්‍රීඩාව තුල ක්‍රීඩකයන් දක්ෂතාවය දැක්වීම ඉහල සහ පහල යාම සාමාන්‍ය තත්ත්වයකි.
එහෙත් මේ වනවිට මතුවී ඇති තත්ත්වය පිටුපස අපට නොපෙනෙන බොහෝදේ පවතින බව කිවයුතුය. එබැවින් මේ බිදවැටීමේ වගකීම ක්‍රීඩකයින් පිට පමණක්ම පැටවිය නොහැකිය.
මෙහිදී සමස්ථ ක්‍රිකට් පරිපාලනයම මේ තත්ත්වයට ඉදුරාම වගකිවයුතු බව පැවසිය යුතුය.
මක්නිසාදයත්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට නිෂ්චිත ඉලක්කයක් ඔස්සේ සකස් කර ගනු ලැබූ සැලැස්මක් නැති බව නම් ඉතා පැහැදිලිය.
ක්‍රීඩකයන් විටින්විට කණ්ඩායමට ඇතුළත් කිරීම සහ කණ්ඩායමෙන් ඉවත් කිරීමෙන් එය පැහැදිලිය. එසේම ක්‍රීඩකයන් විටින්විට තුවාලවීම සැබවින්ම අදහාගත නොහැකි තත්ත්වයකි.
තුවාල සිදුවීම සාමාන්‍ය දෙයක් බව කෙනෙකුට තර්ක කල හැකිය. එහෙත් වෙනත් කණ්ඩායම් සමග සංසන්දනය කිරීමේදී අපේ ක්‍රීඩකයන්ට තුවාල සිදුවීම මේ තරම් ඉහල ප්‍රතිශතයක පවතින්නේ මන්දැයි අප විමසිය යුතුය. අක්‍රමවත් පුහුණුව මෙයට ප්‍රධාන හේතුවක් විය හැකිය.
ක්‍රීඩාවේදී ක්‍රීඩකයකුට වඩාත් හොදින් දක්ෂතාවය දැක්වීය හැක්කේ ඔහු හෝ ඇය ලබන පුහුණුව අනුවය. ලෝකයේ අතිශයින්ම කීර්තිමත්වූ බොක්සිං ක්‍රීඩකයාවූ මොහොමඩ් අලී දිනපතා පැය තුනක කාලසටහනක් අනුව තමාගේ පුහුණුවීම් කලේය.
එහෙත් පුහුණුවීමට අතිශය ලෙස අකමැත්තක් දැක්වූ ඔහු පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර තම පුහුණුකරුට පවසන්නේ තමාට පැය තුනක් පුහුණු විය නොහැකි බවය. එහෙත් ඔහු සැමදාම දවසකට පැය තුනකට වැඩි කාලයක් පුහුණුවීම් වල යෙදේ.
බොක්සිං වළල්ලේදී ඔහුව පරාජය කිරීමට ප්‍රතිවාදියාට ඒතරම්ම අපහසුවූයේ ඒ නිසාය.

මේ යථාර්ථය අපගේ ක්‍රිකට් ක්‍රීඩකයන්ටද වලංගු වන්නේය. තරග ජයග්‍රහණය කල හැක්කේ නියමිත සැලසුමක් අනුව කරන පුහුණු වැඩසටහනකට ක්‍රීඩකයන් යොමු කිරීමෙන්ය. ඒ සදහා කණ්ඩායම මෙහෙයවීමට සුදුසු කළමනාකරණ කණ්ඩායමක් සිටිය යුතුමය.
වර්ථමාන ක්‍රිකට් ක්‍රීඩාව මෙලෙස මෙහෙයවනු ලබන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසිනි. අද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට ක්‍රිකට් පාලක මණ්ඩලය ඍජුවම වගකිවයුතු වන්නේ ක්‍රීඩාව මෙහෙය වන්නේ පාලක මණ්ඩලය නිසාය.

අරුණ ශාන්ත නෝනිස්