හිරිවැටුණු සිනමාව වෙනුවට ජීවිතය – බොරදිය පොකුණ

0
451
Sathyajith
Sathyajith

“ඒ බියගම වෙළඳ කලාපය. ඇඟලුම් කම්හලක් ඇතුළෙ තරුණියො ජුකී මැෂින්වලට පණ දෙනවා.සාරියක් ඇඳපු සුපර්වයිසර් නෝනා කෙනෙක් ලයින් එක දිගේ එහාට මෙහාට යනවා. ඔය අතරෙදි එක තරුණියක් හංගගෙන හිටපු ඇඹරැල්ල ගෙඩියක් එළියට අරන් කටක් හපලා හොරෙන් හිනාවෙලා මැෂින් පේළියේ ඉස්සරහ ඉන්න තරුණියට දෙනවා. එයත් ඇඹරැල්ල ගෙඩියෙන් කටක් හපාගෙන එයාට ඉස්සරහින් ඉන්න තරුණියට දෙනවා. ඔහොම ඉස්සරහට එන ඇඹරැල්ල ගෙඩිය නවතින්නේ චිත්‍රපටියේ ප්‍රධාන භූමිකාව වන ගෝතමීගේ මැෂින් එක උඩ. ගෝතමී ඇඹරැල්ල ගෙඩිය හපන් නෑ. තමන්ගේ පාඩුවේ වැඩේ කරගෙන යනවා. ඒත් ගෝතමීගේ මැෂින් එක උඩ ඇඹරැල්ල ගෙඩිය තියෙනව දකින සුපර්වයිසර් නෝනා නපුරු විදිහට ගෝතමීගේ කණක් මිරිකනවා. හරියට ඉස්කෝලේ ටීචර් කෙනෙක් පුංචි ළමයෙකුගේ කණ මිරිකනවා වගේ. ඉස්කෝලෙක පුංචි ළමයෙක් නම් රිදෙන හින්දා ටික වෙලාවක් අඬලා කඳුළු වේලුනාට පස්සේ වැඩේ ඉවර වෙනවා. ඒත් ගෝතමී පලිය ගන්නවා. ගෝතමීගේ සූක්ෂම ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් විදිහට සුපර්වයිසර් නෝනා ඇඟලුම් කම්හලේ ප්‍රධානියෙකුගේ උදහසට ලක්වෙන විදිහ වීදුරුවක් හරහා දකින ගෝතමී ජයග්‍රාහී ලෙස උපහාසයට හිනාවෙනවා.”
ඒ සත්‍යජිත් මාඉටිපේ මහත්තයා නිර්මාණය කරපු, මේ දවස්වල දිවයින පුරා ප්‍රදර්ශනය වෙන බොරදිය පොකුණ චිත්‍රපටියේ මං කැමති දර්ශනයක්. බලය ඇත්තෙකුගේ අසාධාරණ ක්‍රියාවට ප්‍රතික්‍රියා දක්වන්න බලය නැත්තෙකුට අවස්ථාවක් හදලා දීල තියෙන හින්දා ගෝතමීත් එක්ක ඉස්සරහට ගිහින් බොරදිය පොකුණේ දිය පෑදෙන හැටි බලන්න හිත එකඟ වෙනවා. ඒත් හැමතැනදිම ඇක්ෂන් එකට එදිරිව රියැක්ෂන් එක දෙන්න ගෝතමීලට අවස්ථාව ලැබෙන් නෑ. ඒ කියන්නේ අර තරුණියෝ තුන් දෙනා බස් එකෙන් බැහැල ගුරු පාරක් දිගේ පයින් යද්දී මෝටර් බයිසිකලේකින් පිටිපස්සෙන් ඇවිත් රූමත් මංගලාගේ සාය උස්සලා පිඹගෙන යන රස්තියාදුකාරයන්ට “වල් හැත්ත” කියල බනිනවා ඇරෙන්ඩ උන්ට රිද්දන යමක් කරන්ඩ ගෝතමීලට බැරි වෙනවා. එහෙම වුණා නම් බොරදිය පොකුණ තවත් එක් බයිස්කෝප් එකක් වෙනවා මිසක් සිනමාපටයක් වෙන්නෙත් නෑ.
අපේ රටේ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් තිබුණට ඇති නැති හැමෝටම එක විදිහට ඉගෙනගෙන ඉස්සරහට යන්න අවස්ථාවක් ලැබෙන් නෑ. හැමෝටම විභාග පාස් වෙන්නත් බෑ. ඉතින් පහුගිය කාලේ අපේ ගම්වල ගොඩාක් කොල්ලො අතපය මස් ගොබ මෝරලා ,යන්තම් දැලි රැවුල වැවෙද්දී ග්‍රාමසේවක මහත්තුරුන්ට කියල බොරු වයසක් දාගෙන හමුදාවට ගියා. කෙල්ලො සුද්දන්ට ඇඳුම් මහන්න නිදහස් වෙළඳ කලාපවල ගාර්මන්ට් ෆැක්ටරිවලට ගියා. එහෙම ගියපු කෙල්ලො කොහොම හරි කොල්ලෙක් හරි මිනිහෙක් හරි හොයාගෙන කසාද බැඳලා දරුමල්ලො හදා ගත්තට පස්සේ ජීවත් වෙන්ඩයි ගෙයක් දොරක් හදාගන්ඩයි විදිහක් නැතුව අරාබියේ වහල් සේවයට ගියා. එයාලගේ මිනිස්සු බේබදුකමට වැටුණා. ළමයි යන එනමං නැතුව අසරණ වුණත් කොහොම හරි ලොකු මහත් වෙලා අම්මල තාත්තලගේ ඉරණමම උරුම කර ගත්තා. විවෘත ආර්ථිකේ ආවට පස්සෙ මේ වෙද්දී පරම්පරා දෙකක් විතර ඒ ඉරණමේ කොටස්කාරයෝ වෙලා ඉන්නවා.
ඒ තමයි ගමෙන් ගාර්මන්ට්වලට ආපු කෙල්ලන්ගේ ජීවන ඉරණමේ මට පෙනෙන මධ්‍යනය. ඒත් මේ අය වෙන්කරලා ගත්තම එක එක්කෙනාට තියෙන්නෙ එක එක කතා. සත්‍යා මෙහෙම ආපු තුන් දෙනෙකුගේ කතන්දර බොරදිය පොකුණෙන් අපිට කියනවා. ගෝතමී ඇවිත් ඉන්නේ ගිරිබාවේ ඉඳලා. කුරුණෑගල දිස්ත්‍රික්කේ ඈත ගමක්. එයා එච්චර ලස්සන නෑ. ලස්සන සාපේක්ෂයි කියල සමහරු කිව්වට ගෝතමීගේ ඉරණමේ මුල් අවදිය බියකරු වෙන්න බලපාන මූලික හේතුව තමයි එයා ලස්සන නොවීම. ලංකාවේ ගොඩක් අය හිත රිදෙයි සහ හිත් බිඳෙයි කියල කතා කරන්න අකමැති මේ සරල සත්‍යය, සත්‍යා නොබියව කතා කරලා තියෙනවා. නැත්තන් ගෝතමී, කොල්ලෙක් නැතුව වේලි වේලි ආසාවෙන් ඉද්දි, දකින දකින හැම කොල්ලම මංගලා පස්සෙන් එන එකේ රහස මොකක්ද? මංගලා ලස්සනයි. බදුල්ල පැත්තේ කෙනෙක්. ගමේ ගොඩේ විදිහට කියනව නම් විසේකාරියක්. ඩිලානි අබේවර්ධන ඒ විසේකාරකම අඩුවක් ලුහුඬුවක් නැතුව මංගලාට ප්‍රදානය කරලා තියෙනවා. බස් එකේ යද්දිත් , පාරේ යද්දිත් , ආදරවන්තයා එක්ක ඉද්දි විතරක් නෙවෙයි ඇඹරැල්ල ගෙඩිය හපද්දී පවා විසේකාරකම පේනවා. හැබැයි ලස්සන වුණත් මංගලාගෙත් ජීවන ඉරණම ලස්සන එකක් නෙවෙයි. මේ දෙන්නත් එක්ක ඉන්න සුවිනීතා මධ්‍යස්ථ කෙනෙක්. ඒ හින්දම අනික් දෙන්නත් එක්ක බලද්දී එයාගේ ජීවිතේ ගැටුම් අඩුයි. මේ අයගේ ජීවිත කතාවල එක්තරා අවදියක් අපිට පෙන්නලා තව අවුරුදු හය හතක කතාව පෙන්නන් නැතුව වර්තමාන කතාව කියල එයාලගේ ඉරණම විසඳිලා තියෙන විදිහ පෙන්නද්දීත් සුන්දරම සහ අපිට අපේ කරගන්න කැමැත්තක් හිතෙන පවුල් ජීවිතේ ගත්කරන්නෙත් මධ්‍යස්ථ සුවිනීතා. ඉතින් එහෙම බල්ලදී බුදුහාමුදුරුවෝ දේශනා කරපු මැදුම් පිළිවෙතෙයි සුවිනීතගේ ජීවිතෙයි සමානකමක් තියෙනව වගේ පේනවා.
මංගලාගේ ආදරවන්තයා විපුල. ගුවන් හමුදාවේ සොල්දාදුවෙක්. රූමත් මංගලාගේ ආදරවන්තයට රූ සපුව අඩු ගෝතමීත් ආදරේ කරන හින්දා තමයි ගැටුම ඇතිවෙන්නේ. මංගලාගේ පණිවිඩකාරිය වෙන්නෙත් ගෝතමී. ගෝතමී මංගලාට අවංක වෙන් නෑ. ඒ හින්දා දවසක් මංගලා, විපුල හම්බෙන්ඩ යද්දී විපුල වෙලාවට එන්නැතුව මංගලා විපුලත් එක්ක තරහ වෙනවා. විපුල රෑ වෙලා යාළුවත් එක්ක එනවා මංගලාලගේ බෝඩිමට. මංගලා විපුලට කේන්තියෙන් බැනලා බැරිම තැන කණටත් ගහනවා. විපුලගේ යාළුවට තරහ ගිහින් කුණුහරුපෙන් බනිනවා. මංගලා තරහ වෙලා ගමේ ගිහින් ඉන්න වෙලාවේ, ගෝතමී විපුල නැවතිලා ඉන්න තැනට ගිහින් තමන්ගේ ඇඟ පුරා හිත පුරා ඇවිලෙන රාග ගින්න නිවා ගන්න උත්සාහ කරනවා. ඒත් ගින්න නිවෙන් නෑ. බුර බුරා ඇවිලෙනවා. ගෝතමිගේ කුසේ පිළිසිඳුණු දරුවා සුජාත කරන්න විපුල කැමති නෑ. විපුල ගෝතමිත් එක්ක ලිංගිකව හැසිරිලා තියෙන්නේ තමන් නපුංසකයෙක් නොවන බව පෙන්නන්න මිසක් ගෝතමීට ඇති ආදරයක් හින්දා නෙවෙයි. ඉතින් ගෝතමී පස්සේ දවසක විපුලව හම්බෙලා මේ අවනඩුව කියද්දී, විපුල ගෝතමීට කුණුහරුපෙන් බනිනවා. ඒත් කුණුහරුප අපිට ඇහෙන් නෑ.ඒවා හඬ පටියෙන් කපලා. ඒ වෙලාවේ කියන්නේ කුණුහරුප කියලා අපිට හිතෙනවා. චිත්‍රපටියෙන් කුණුහරුප කපලා තිබුණට මඟ තොටේ, කඩ පිලේ , ඉස්කෝලේ, ඔෆිස් එකේ , කැම්පස් එකේ , හොස්ටල් එකේ හැම තැනම අපේ උන් කුණුහරුප කියනවා. අපිට කුණු හරුප ඇහෙනවා. කුණු හරුපෙන් කියන්ඩ ඕන දේවල් වෙන හැරුපවලින් කිව්වට වැඩකුත් නෑ. ඒත් අවස්ථාවෝචිත සන්නිවේදනය ගැන මෙලෝ හසරක ප්‍රායෝගික අවබෝධයක් නැති මිනිස්සු අවුරුදු ගාණක් බොරදිය පොකුණ හිරකරගෙන ඉන්නවා.
දැන් ගාර්මන්ට් කෙල්ලෝ අඳින්නෙ ඩෙනිම් කලිසම්. ගෝතමීලා මංගලාලා වගේ දිග ගවුම් නෙවෙයි. එයාල ළඟ චයිනිස් ස්මාර්ට් ෆෝනුත් තියෙනවා. ඒත් අවුරුදු දහයකට පහළොවකට පස්සෙත් ඒ අයගේ ජීවන ඉරණම වෙනස් වෙලා තියෙනවද? මට හිතෙන විදිහට අදටත් ගොඩාක් අයගේ කතාව බොරදියපොකුණ කතාවට සමානයි. මේක ගාර්මන්ට් කෙල්ලන්ගේ කතාව විතරක් නෙවෙයි.
බොරදිය පොකුණ රූපමය සංකේත ගොන්නක්. ඒත් ඒවා අපිට දිරවා ගන්ඩ බැරි අපබ්‍රංශ නෙවෙයි. මං එහෙම කියන්නේ අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත ගැන හදන සමහර චිත්‍රපටි සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන් නැති හින්දා. ඒ හින්දා සාමාන්‍ය මිනිස්සු ඒවා බලන්නෙත් නෑ. ඒත් බොරදියන පොකුණ බලන්ඩ අමුතුවෙන් පුහුණු කරපු රසිකත්වයක් ඕන නෑ.
බෝඩිමේ පිල්ගැට්ටකට වෙලා ගෝතමීයි සුවිනීතයි බත් කකා ඉද්දි පූසෙකුට දාපු බත් බල්ලෙක් ඇවිත් කනවා පෙන්නනවා. අනුන්ගේ බත් පත කන එක ගැන සුවිනීතා බල්ලට දොස් කියද්දී ගෝතමීගේ මූණේ අමුතු හිනාවක් ඇඳෙනවා. සුවිනීතා එහෙම කියන්නේ ගෝතමීට ඇනුම් පදයක් විදිහට නෙවෙයි. ගෝතමී, විපුලට ආදරෙන් ඉන්න බව සුවිනීතා දන්නෙත් නෑ. ගෝතමී මංගලාට අවංක නොවුණත් විපුල කෙරෙහි තියෙන්නේ අවංක ආදරයක් කියල හිතෙනවා. ඒත් මංගලා විපුලට අවංක නෑ. විපුලත් එක්ක යාළු වෙලා ඉද්දිම බෝඩිමේ හිටපු කැම්පස් ඉලන්දාරියත් එක්කත් මංගලාගේ පලහිල්ලව්වක් තිබුණයි කියලා පූර්වාපර සන්ධි ගලපද්දී මංගලා කියනවා. ගෝතමී විපුලට දෙන්න ගන්න ෂර්ට් එක රුපියල් හත්සීයක් විතර වටිනවා. මංගලා ගේන්නේ රුපියල් දෙසිය පනහක් වටින ෂර්ට් එකක්. විපුල මංගලා ගෙනාපු ෂර්ට් එක අඳිනවා. ගණන් අඩු වුණාට ඒක ලස්සනයි.
ගෝතමී විපුල නිසා ගැබ්ගත්තට පස්සේ කාටවත් කියන් නැතුව හම්බන්තොට පැත්ත නෑදෑ අක්කා කෙනෙකුගේ ගෙදර යනවා. එයාලා හේන් ගොවියෝ. ඒ හේන් කොටන කාලේ. බඩදරු ගෝතමී පුරන් වෙච්ච කුඹුරක කට්ට පොළොව හති දම දමා කොටනවා. අපි දැකල තියෙන විදිහට කුඹුරු කොටන්ඩ කලින් වතුර හරවනවා. එහෙම නැත්තං වහිනකන් ඉන්නවා. එහෙනම් ගෝතමී කට්ට පොළවක් කොටන සිද්දිය අපි බාර ගන්නේ කොහොමද? අනික ගැබිණි මවක් පොළොව කොටන එක. එය ඇගේ ජීවිතේම කටුක බව මිස නිර්මාණකරුවාගේ අනවබෝධය විදිහට බාර ගත්තොත් මෙච්චර ඇත්ත කතාවක් අවංකව කියල තියෙන සත්‍යාට කරන මාර අසාධාරණයක්. ගෝතමීගේ ඥාති සොහොයුරිය නෙළන සරුසාර වැටකොළු කරවිල ඵල අතරට වැටෙන අකලට කහ පැහැවුණු කරවිල ගෙඩිය අපිට කියන්නේ ගෝතමීගේ සම්පූර්ණ ජීවිත කතාවද? හැබැයි ඒ අතරට අකලට කහපැහැ වුණ තවත් කරලක් දෙකක් වැටුණා නම් කතාව තවත් යථාර්තවාදී වෙන්න ඉඩ තිබුණා. ගෝතමීට විළි රුදාව හැදිලා වේදනාවෙන් කෑගහද්දී ගිනි තියපු හේනක ගිනිදැල් පසුබිමින් පේනවා. ගෝතමිගේ ප්‍රසව වේදනාවේ විතරක් නෙවෙයි සමස්ත ජීවිතේම ගින්දර ඒකෙන් පෙන්නනවා. හැබැයි ඒ හේනෙන් ගින්දර ඇවිලෙන්නේ සරුසාර අස්වැන්නක් බලාපොරොත්තුවෙන්. ප්‍රසව ගින්දරින් උපදින දරුවත් මහා අස්වැන්නක්. ඒ අස්වැන්න ජීවිතවලට කොයිතරම් වටිනාකමක් එකතු කරනවද කියලා වර්තමාන කතාව ඇතුළෙ දරුවා ස්ථානගත කරන විදිහෙන්ම පේනවා. ගෝතමී තමන් බිහි කරන පියෙක් නැති දරුවා දුම්රියපොළක දාලා යනවා. ඒත් ඊට කලින් පෙන්නනවා ස්ටේෂන් එක ළඟ බොරුවට රණ්ඩු වෙන තරුණ පෙම් යුවළක්.සමාජය විසින් භාර නොගන්නා දරුවා ගෝතමී භෞතිකව අත හරින්නේ ඒ තරුණ යුවළගේ රැකවරණය දරුවාට ලැබේවි කියන බලාපොරොත්තුවෙන් කියලා හිතෙනවා.
තාරුණ්‍යය අවසන් වෙලා. ගෝතමීලා, මංගලාලා අවුරුදු ගාණකට පස්සේ ආයෙ මුණ ගැහෙනවා. නැත්තන් ආයේ මුණ ගස්සනවා. ගෝතමීගේ ඉරණම හිතපු තරම් කටුක වෙලා නෑ. ගෝතමීට සල්ලිත් තියෙනවා. ඩෙස්මන් ගෝතමීට ආදරෙයි. ඒත් ඩෙස්මන් කලින් බැඳපු කෙනෙක්. මංගලා විපුලව බැඳලා සතුටින් ඉන්නව වගේ පෙනුණට සතුට කියන වචනේ තේරුම මොකක්ද කියල ගෝතමියි මංගලායි තනි වුණු වෙලාවක මංගලා අහනවා. තමන්ට කියල දරුවෙක් ලබන්න බැරි වුණ ඩෙස්මනුයි ගෝතමියි අනාථ නිවාසෙකින් දරුවෙක් අරගෙන කාර් එකේ යද්දී කාර් එකට හැප්පෙන්න යන තරුණ කෙල්ලෙක් බැන බැන පාර පනිනවා. බැලූ බැල්මට එයා ගාර්මන්ට් කෙල්ලෙක් වගේ . කාලයයි අවකාශයයි එකතු වෙලා ගෝතමීලගේ ජීවිත වෙනස් කරලා තිබුණට සමාජය, සියල්ල වෙනස් වෙලා නෑ. පරණ සිස්ටම් එක ඒ විදිහටම ක්‍රියාත්මකයි. මූණු විතරක් මාරු වෙලා.
පාලිත පෙරේරාගේ කැමරාව අපිව වෙහෙසට පත් කරන් නෑ. කැමරාව ජීවිතේට නාභිගත කරලා පාලිත නිශ්ශබ්ද වෙනවා. මුල් කතාව සෑහෙන දුරට කපා ඇති බව දන්නේ දන්නෝ පමණමයි. සාමාන්‍ය ප්‍රේක්ෂකයාගේ කතා රසයට උපරිම සාධාරණයක් රවින්ද්‍ර ගුරුගේ සංස්කරණ ශිල්පියා කර තිබෙනවා. එකදු ගීතයක් වත් නැති වුණත් සිනමා සංගීතය නම් මේ යැයි ප්‍රදීප් රත්නායක රූපරාමුවෙන් රූපරාමුවට දනවනවා. කෞශල්‍යා ප්‍රනාන්දු, ඩිලානි අබේවර්ධන, ප්‍රියංකා සමරවීර ඇතුළු පාත්‍රවර්ගයා අපේ රටේ කෙල්ලන්ගේ ඇත්ත කතාවක් තමන්ගේ කරගෙන අපිට පෙන්නනවා. කාලය අවකාශය වෙනස් වෙලා, ජීවිත වෙනස් වෙලා තියෙන හැටි දැක්කම හදවත බර වෙනවා.බොරදිය පොකුණ ආයේ ආයෙත් බලන්න හිතෙනවා.
අපිත් කැම්පස් එකෙයි, බස් එකෙයි,ඔෆිස් එකෙයි හැම තැනම ලස්සන ,ඉගෙන ගත්ත, හැදිච්චකම තියෙන කෙල්ලන්ව හොයනවා. මේ ඔක්කොම තියෙන අය ඇත්තටම ඉන්නවද? ඉන්නවද බලන්න එයාල එයාලගේ ඇත්තම කතාව අපිට කියනවද? අපි දන්නේ වර්තමාන කතාවෙනුත් අපිට පේන, ඇහෙන ටික විතරයි. සමහරවිට ගොඩාක් අයගේ-කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලගෙම අතීත කතාව ගෝතමීලගේ,මංගලාලගේ විපුලලගේ කතා වගේම වෙන්න ඇති.