හොඳම සාහිත්‍ය කෘතිය තේරිමේදිත් ජාතිවාදි බලවේගය හිස ඔසවයි.?

0
57

weddaගෞරවනීය ඔබ සැමට

 

සාහිත්‍ය මාසය වන සැප්තැම්බරයේ, මේ මොහොතේදීත්  කොළඹ කේන්ද්‍රී​යව පවතින‘පුස්තක‘ ක්‍රියාවලිය පිළිබඳ ඔබ නොදන්නා කරුණක් පෙන්වා දීම පිණිස මෙය ලියන්නෙමි. පිටුවහලේ සිට හෝ සකල සමාජ ව්‍යාපාර වලට හැකි සෑම අයුරකින් ම තවමත් දායක වන්නෙකු ලෙස මේ ගැන පැවසිම යුක්ති යුක්ත යයි හඟිමි.

ඉකුත් සැප්තැම්බර් 6වැනිදා කොළඹ පැවති ‘ස්වර්ණ පුස්තක සාහිත්‍ය සම්මානය‘ හිමිවීම පිණිස පස්දෙනෙකුගෙන් සමන්විත ඇගයීම් මණ්ඩලයේ සිව්දෙනෙකුම නිර්දේශ කර තිබුණේ මවිසින් රචිත ‘මගේ ආදරණිය යක්ෂණී‘ නවකතාවයි. ආරියවංශ රණවීර හැරුණු විට ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, ආචාර්ය හරිෂණ රඹුක්වැල්ල, ලයනල් ප්‍රනාන්දු සහ සමන් වික්‍රමාච්චි යන විද්වතුන් ‘යක්ෂණී‘ට සිය කැමැත්ත ලබා දී තිබුණි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ උපසභාපති විදර්ශන ප්‍රකාශන අධිපති වන, අප සියල්ලන් සමඟ මේ සමාජය වෙනස් කිරීමේ ක්‍රියාවලියට ක්‍රියාකාරීව සම්බන්ද වන සහෝදරයෙක් සහ ඔහුගේ බිරිඳ  විසින් මගේ පොත් ප්‍රකාශයට පත් කරන ‘සම‘ ප්‍රකාශන අධිපති සංජීව වඩිමංගාව සහෝදරයාට  කතා කර ප්‍රතිඵලය කියා සුබපතනු ලැබුයේ ඇගයීම් මණ්ඩලය තම නිල තීරණය දැනුම් දුන් ඉකුත් අගෝස්තු 26වැනිදා ය. නමුත් මෙම ප්‍රතිපලය පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ හා සාහිත්‍ය ක්ෂේත්‍රෙය් පැතිර යාමත් සමඟ ක්ෂේත්‍රය කැළඹෙන්ට ගත්තේ කෘතියේ අන්තර්ගතයේ ස්වභාවය හා ලියන්නා දේශද්‍රෝහියකු වන  මා නිසා ය. මගේ කෘතියෙන් ඇගයීම ලැබෙන්නට නියමිතව තිබුණේ පුද්ගලිකව මට නොවේ. ඔබ සියලු දෙනාද අපමණක් ශ්‍රමය වගුරමින් කරගෙන යන සමාජ අරගලයට ය.

මෙම ප්‍රතිපලය එළියට කාන්දු වීමෙන් අනතුරුව අප විරුද්ධවාදී,ජාතීවාදී-ආගම්වාදී බලවේග ක්‍රියාත්මක වී ඇත. මුලින්ම එය එළි දැක්වි ඇත්තේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමය තුළිනි.  එහි සාමාජිකයන් වන ගෙවිඳු කුමාරතුංග සහ දයාවංශ ජයකොඩි මූලික කර ගත් පිරිසක් මෙම ප්‍රතිපළයට විරුද්ධව සංගමය තුළ සිය විරෝධය පළ කර ඇත.  ගෙවිඳු කුමාරතුංග, ‘‘ජාතික බලවේග ක්‍රියාත්මක වෙමින් තිබෙන මොහොතක විජාතික බලවේග වලට ක්‍රියාත්සක වීමට ඉඩ දිය නොහිකි බව කියමින් ඍජුවම තර්ජනාත්මකව කතා කර ඇත. මගේ කෘතියට එරෙහිව සමාජ මතයක් නිර්මාණය වීම ඇරඹුයේ ගුණදාස අමරසේකර වන අතර ඔහු විද්‍යෙදය සාහිත්‍ය උළෙලේදී සාහිත්‍ය සම්මාන උළෙල වල විනිශ්චයට එන්.ජී.ඕ. නඩ සහභාගී වන බව කියමින් ආණ්ඩුව විසින් වර්තමානයේ සමාජය තුළ පතුරවනු ලබමින් සිටින එන්.ජී.ඕ. විරෝධය සාහිත්‍යය තුළට කන්දු කළේ ය. මෙහි අභ්‍යන්තරිකව පවතින සහසම්බන්ධය වනුයේ ගුණදාස අමරසේකරගේ සියලු පොත් පළ කරන ප්‍රකාශකයා ගෙවිඳු කුමාරතුංග වීම ය.

ඉන් අනතුරුව සිදුවූ ප්‍රසිද්ධ ප්‍රකාශය වූයේ ජති-ආගම්වාදයට එරෙහිව වූ පහත ප්‍රසිද්ධ ප්‍රකාශයට අත්සන් තබා ඇති ටෙනිසන් පෙරේරා කළ ප්‍රකාශයයි. ජාති-ආගම්වාදයට එරෙහි මෙවන් ලියවිල්ලකට අත්සන් තැබූ ටෙනිසන් රජයේ සති අන්ත  නිල පුවත්පත වන ‘සිළුමිණ‘ට මෙසේ පැවසීම ඔබ යුක්ති යුක්ත කරන්නෙ කෙසේද? ඔහුගේ සමස්ථ ප්‍රකාශය අදාල ලිංකුව ඔස්සේ කියවා ගත හැකි ය. මේ සියලු ආණ්ඩු ගැති ජාති-ආගම්වාදී ක්‍රියාවලියට ඍජුවම සම්බන්ධව ක්‍රියාකරමින් අගයීම් ප්‍රතිඵලය වෙනස් කිරීමට මෙම බලවේග සමඟ එක්ව ක්‍රියාකළ එකම පුද්ගලයා වූයේ එහි සභාපති ආරියවංශ රණවීර යි. මෙවන් පුද්ලගලයන්ගේ දෙබිඩි ප්‍රතිපත්ති සමස්ථ සමාජ අරගලය යළි පිටුපසට ඇද දමන්ට ඉඩ තිබෙන බව මගේ මතයයි.

ඉකුත් 6වැනිදා ‘මගේ ආදරණිය යක්ෂණී කෘතිය අගයීමට ලක් වී නම් සම්මාන උළෙල ආක්‍රමණය කිරීමට බොදුබල සේනා එම ශාලාව තුළ සැදී පැහැදී සිටි බව ඔබ නොදන්නවා වන්ට පි‍‍ළිවන.  එපමණක් නොව ඒ ගැන විශේෂයෙන් සඳහන් වී නම් ‘හූ‘ කියන්ට පවා සූදානම් වූ පිරිස් ඒ ශාලාව තුළ සිටිය හ.  අවසන් ප්‍රතිඵලය වෙනස් වූයේ මෙම තර්ජන හමුවේ ය.

බරපලත ලෙස සාහිත්‍ය ක්‍රියාවලියෙහි නිරත කිසිවෙකුත් අඛන්ඩව තම කලා භාවිතයේ නිරතව සිටින්නේ සම්මාන හෝ වරදාන වෙනුවෙන් නොව සමාජ සාධාරණත්වය වෙනුවෙනි.  මෙහි අවසන් කෘති ලියූවන් අතර වූ එරික් ඉලයප්පාරච්චි, ලියනගේ අමරකීර්ති, නිශ්ශංක විජේමාන්න හෝ පී,බී.ජයසේනර යන ඕනෑම කෙනෙකුට මෙම සම්මානය හිමිවීමෙහි කිසිඳු ගැටළුවක් නැත. මන්දයත් ඔවුන් සියල්ලන්ම ඉතාම සුවිශේෂ සාහිත්‍යකරුවන් වන අතරම මෙම කෘතින්ද විශිෂ්ඨ කෘති වන බැවිනි.   ඒ අනුව මේ සංසිද්ධිය සම්මාන දීමක් අරභයා පැන නැඟෙන ගැටළු සහගත තත්වයක් නොවේ.  ගැටළුව වන්නේ මෙය ස්වාධීනව කලාවේ නිරත වීමට ඇති අයිතියට කළ මාරාන්තික පහරදීමක් වන බැවිනි.

මා ගෞරවනීය ඔබ හමුවේ පවසන්නේ මෙම ක්‍රියාවට එරෙහිව පෙළ ගැසෙන ලෙස ය. නැතහොත් මීළඟට වන්දි ගෙවන්නට සිදුවන්නේ කලාවට සහ සාහිත්‍යට ය.

අතිමහත් සහෝදරත්වයෙනි

මංජුල වෙඩිවර්ධන