හොරෙන් ඉතාලි යන්න හැදු තරුණියක් කටුනායකදි අත්අඩංගුවට

0
72

දිගින් දිගටම රට පත්ව ඇති ආරාජිකත්වය හමුවේ කෙසේ හෝ මේ රටින් පිටව යායුතුය යන ප්‍රබල මතයක් ‌මේ වන විට විශේෂයෙන්ම තරුණ පරම්පාරව තුල අන් කිසි කලකටත් වඩා මුල් බැස ගනිමින් තිබේ.
පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුලට පවා මේ සංවාදය පැමිණ තිබුණි.
මේ අතර ව්‍යාජ තොරතුරු ඇතුලත් කර සකස් කළ  ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර ඔස්සේ ඉතාලිය වෙත  පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක් ඊයේ දින අලුයම කටුනායක ගුවන් තොටුපළ  ආගමන විගමන දෙපාර්තමේන්තු  දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත, මාරවිල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියකි.

මෙම තරුණිය ඊයේ අලුයම 02.10ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර බලා පිටත්ව යාමට නියමිත ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 558 දරන ගුවන් යානය වෙත පිවිසීම සඳහා කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ සිට ඇත.

එහිදී ගුවන්යානා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ කවුළුව වෙත පැමිණි ඇය ඉදිරිපත් කළ නේවාසික වීසා බලපත්‍රය ඇතුළු ලියකියවිලි සම්බන්ධයෙන් මතු වූ සැකය මත ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ නිලධාරීන් ඇයගේ එම ලියකියවිලි වැඩිදුර විමර්ශනය කිරීම සඳහා කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරින් වෙත නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

එහිදී ඇය සතු ඉතාලි නේවාසික වීසා බලපත්‍රය වෙනත් අයෙකුගේ විස්තර ඇතුලත් කර ව්‍යාජ ලෙස සකස් කළ කූඨ ලේඛනයක් බව එම නිලධාරීන් සිදුකළ තාක්ෂණික පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන ඇත.

ඉන්පසුව මෙම තරුණිය  අත් අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකය නිලධාරීන් ඇය ඉදිරිපත් කළ ලියකියවිලි ද සමග මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබුණි.