‘‘ මාර්ක් සුජිත් කඩුවකින් මගේ මහත්තයාගේ කකුලට කෙටුවා’’. ඝාතනය කෙරුණු කට්ටුවේ, රුවන් දිල්සිරි ෆොන්සේකා ගේ බිරිඳ සාක්ෂි දෙයි.

0
91

ajith jude newමීගමුව,  කට්ටුව ප‍්‍රදේශයේ සිය නිවස ඉදිරිපිටදී පසුගිය ජුනි 10 වැනි දින කඩුවකින් පහර දී මරා දැමුණු රුවන් දිල්සිරි ෆොන්සේකා නැමැත්තාගේ මරණ පරීක්ෂනයේ සාක්ෂි කැඳවීම පසුගිය ජුනි 27 වැනි දින  මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී පැවැත්විණි. මීගමුව අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි එස්. පීරිස් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාක්ෂි විමසීම සිදු කෙරුණු අතර මෙම සිද්ධියට අදාලව දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප‍්‍රධාන සැකකරු වන මීගමුව මහා නගර සභාවේ ආන්ඩු පක්ෂ මංතී‍්‍රවරයෙක් වූ මාර්ක් සුජිත් නැමැත්තා ඇතුළු තවත් සැකකරුවන් 03 දෙනෙකු එදින අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මුලින්ම අධිකරණය හමුවේ සාක්ෂි දෙනු ලැබුවේ මිය ගිය රුවන් දිල්සිරි ෆොන්සේකා ගේ බිරිඳ වන වෘත්තියෙන් පාසල් ගුරුවරියක් වූ ඒ. එම්. භද්‍රා මනෝහාරී නැමැත්තියයි. ඇය එහිදී සාක්ෂි දෙමින් මෙසේ පැවසීය. ….
‘‘ මගේ වයස අවුරුදු 40 යි. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මම අද මේතැනට ආවේ මාගේ මහත්තයාව මාර්ක් සුජිත් යන අය කඩුවකින් කොටා මරලා, ඒ පිලිබඳව සාක්ෂි දීමටයි. 2011/06/10 දින පස්වරු 7.30 ට පමන මායි , මගේ ළමයි දෙන්නයි , මහත්තයාගේ අම්මයි ගෙදර හිටියා. රුවන් කුරණ ඉඳලා බත් පාර්සලයක් අරං ආවා. ගෙදර ළග ආසන්නයේ මහත්තයාගේ බාල සහෝදරයාගේ නිවස රෙස්ටූරන්ටි එකකට බදු දීලා තිබුණා. ඒ පැත්තෙන් ශබ්දයක් ඇහුණා. ඒත් එක්කම මගේ මහත්තයා බත් පාර්සලය මාගේ අතට දීලා ශබ්දය මොකක්ද කියලා බලලා එන්නම් කිව්වා. එතකොට මම දැක්කා මාර්ක් සුජිත් කියන පුද්ගලයා මගේ මහත්තයාගේ කොලර් එකෙන් අල්ලලා ඔහුව පිටුපසට ඇදගෙන ගොස් මගේ කඬේ දැලට තද කලා. තෝ නේද ගෙස්ට් හවුස් එක කරන්නේ කියලා මාර්ක් සුජිත්  ඇහැව්වා. අනේ මාර්ක් සුජිත් , සහෝදරයාගේ දේපල වල සිදුවෙන දේට අපි වගකියන්නේ කොහොමද , ඔයා දන්නවානේ අපි
රැකියාවල් කරලා ජීවත් වෙන අය බව එහෙම කියනවාත් එක්කම මම එතැනින් පිටුපසට පැන්නා. එවිටම මාගේ මහත්තයා දඩස් ගාලා බිම වැටුනා. මම පිටුපස හැරී බලන විට තවත් පුද්ගලයෙක් මගේ මහත්තයාව හිර කර ගෙන හිටියා. එවිට මාර්ක් සුජිත් කඩුවකින් මගේ මහත්තයාගේ කකුලට කෙටුවා. මම උදව් ඉල්ලලා කෑගැහුවත් කිසිවෙකුට පැමිණිමට ඔවුන් ඉඩ දුන්නේ නැහැ. ඉන් පසු තුවාල ලැබූ මගේ මහත්තයාව මම මිදුලට උස්සා ගෙන ආවා. පසුව මහත්තයාගේ අම්මවයි, මගේ සහෝදරයාවයි කැදවා ගෙන එන ලෙස මගේ දරුවන්ට කිව්වා. නමුත් ඔවුන් ඊට ඉඩ දුන්නේ නැහැ. මම කෑ මොර දෙමින් මගේ මහත්තයා සමග සිටියා. මගේ වැඩිමල් දරුවට කියලා අයිස් වතුර ගෙන්නා ගෙන මහත්තයාගේ තුවාල වලට දමා අයිස් වතුර ටිකකින් ඔහුගේ මුහුණද සේදුවා. ටික වේලාවකින් ඔහුගේ කටින් සෙම පෙරීමට පටන් ගත්තා . බෙල්ල කඩා වැටුනා. ගේට්ටුව ළගයි මේ සිදුවීම සිදුවුනේ. නැවත කරදර කරයි කියලා මම මහත්තයාව ගේ පැත්තට ඇදගෙන ගියා. මේ වේලාවේ මා සමග සිටියේ මගේ දරු දෙන්නා පමණයි. මහත්තයාව රෝහලට ගෙන යන්නට ඔවුන් කිසිවෙකුට භූමියට ඇතුළු වන්න ඉඩ දුන්නේ නැහැ. මහත්තයා දිග කලිසමක් හැද සිටි නිසා ලේ ගලනවා පමනයි දැක්කේ. තුවාල දැක්කේ නැහැ. මහත්තයා මේ වෙලාවේ කථා කලේ නැහැ. ඔහුගෙන් කෙඳිරිලි හඩක් නැගුනා. 7.40 ට විතර මගේ වැඩිමල් සහෝදරයා මහත්තයාව රෝහලට ගෙන ගියා. මමයි මහත්තයාගේ අම්මයි තී‍්‍රවීල් එකේ රෝහලට ගියා. නමුත් අපිට රෝහලට ඇතුළු වන්නට ඉඩ දුන්නේ නැහැ. මෙම සිද්ධිය සිදු වන විට මාර්ක් සුජිත් සමඟ 10 දෙනෙකු පමන සිටියා. මාගේ වැඩිමල් සහෝදරයා මෘත දේහය හදුනා ගත්තා’’ .

මෙම සාක්ෂි විභාගයේදී ඊළගට සාක්ෂි ලබා දුන්නේ මිය ගිය රුවන් දිල්සිරි ෆොන්සේකාගේ මව වන 60 හැවිරිදි මේරි පෙරේරා නැමැත්තියයි. එහිදී අධිකරණය හමුවේ ඇය වැඩි දුරටත් පැවසුවේ මෙවන් ප‍්‍රකාශයකි. …..
‘‘ ලේලී කැගහනවා ඇහුනා. මම එතැනට ආවා. ලේ විලක් මැද පුතා වැටී සිටියා. මාර්ක් සුජිත් ට මම කතා කරන්නේ පුතා කියලයි. මාර්ක් සුජිත් කියන පුතා අද මේ විත්ති කුඩුවේ ඉන්නවා. ( ඇය විත්ති කුඩුවේ සිටින මාර්ක් සුජිත් නැමැත්තාව හදුනා ගනියි. ) මාර්ක් සුජිත් පුතා, මගේ පුතාට කඩුවෙන් කෙටුවා ’’.
එමෙන්ම මෙම සාක්ෂි විමසීමේදී මිය ගිය අයගේ මව වන මේරි පෙරේරා නැමැත්තිය විසින් විත්ති කුඩුවේ සිටි පලමු සැකකරු වූ මාර්ක් සුජිත් නාගරික මංතී‍්‍රවරයා මෙන්ම මෙහි 04 වන සැකකරු වන ඒත්තුකාල, සාන්ත ජෝශප් පාරේ පදිංචි ජෝශප් ඩිලක්ෂන් යන අයව ද හදුනා ගැණිනි.  මෙහිදී සාක්ෂි ලබා දුන්  13 හැවිරිදි ජුඞ් පසිදු ලක්ෂිත ෆොන්සේකා නැමැති මිය ගිය රුවන් දිල්සිරි ෆොන්සේකාගේ  පුතු විසින් මෙම සිද්ධියේ සැකකරුවන් වන පළමු සැකකරු වූ මාර්ක් සුජිත් නාගරික මංතී‍්‍රවරයාව සහ සෙසු සැකකරුවන් තිදෙනාවම විත්ති කුඩුවේ සිටියදී හදුනා ගැණිනි. මෙම පරීක්ෂනය එලඹෙන ජුලි 11 වැනි දිනට කල් තැබුණු අතර මේ සිද්ධියේ පලමු සැකකරු වූ මාර්ක් සුජිත් නාගරික මංතී‍්‍රවරයා වෙනුවෙන් නීතිඥ දීපාල් පෙරේරා මහතාද අංක 02 , 03 සහ 04 යන සැකකරුවන් සදහා නීතිඥ ප‍්‍රසාද් ද සිල්වා මහතා පෙනී සිටියේය. නීතිඥ ගුණදාස ගමගේ මහතා පෙනී සිටියේ අගතියට පත් පාර්ශවය වෙනුවෙනි.