1.4%ක් 70% කට තර්ජනයක් කරන්නේ කෙසේද? අපටත් නිදහස සහ රැකවරණය දෙන්න..! -ජාතික ක්‍රිස්තියානි සහෝදරත්වයේ ලේකම් දේවගැති ආචාර්ය රොහාන්

0
314

තමන්ට ලැබුනු බුද්ධ ශාසන ඇමැතිකමත් අධිකරණ ඇමැතිකමත් අවභාවිතා කරමින් රට පුරා සිටින පන්සල් වල නායක හිමිවරුන්ට විවිධ වරදාන අල්ලස් ලබා දී අනාගතයේ දී බහුතර බෞද්ධ ඡන්දයෙන් රටේ නායකයා විය හැකි යයි ගණන් හදමින් සිටින විජයදාස රාජපක්ෂ හෙවත් ‘ඩීල්දාස‘ නමැති අවස්ථාවාදී දේශපාලන බල්ටි කාරයා මැදමූලන රාජපක්ෂලාගේ වනචර දශකයේ දී මෙන් ශ්‍රී ලාංකික සුළුතර ජාතිකයාගේ ආගමිකයාගේ අයිතිවාසිකම් ගැන කතා කරන සැමටම එන්ජීඕ අවලාදය, සහ කුමන්ත්‍රණ අවලාදය නගමින් ආගම්වාදය ජාතිවාදය පෝෂනය කරමින් සිටී. මොහු පසුගියදා එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියකට පවා අවලාද නැගුවේ ය. යහපාලනප්‍රේමීන්ගේ බලාපොරොත්තුවලට පිටුපා කරන මේ තක්කඩි සෙල්ලම නතර කරන්නැයි එජාප නායකයා හෝ ජනාධිපතිවරයා හෝ මේ අවස්ථාවාදී දේශපාලන බල්ටි කාරයාට අවවාද නොකරද්දී රට තුළ වෙසෙන සුළු ආගමිකයාගේ නිදහස සහ සුළු ආගමිකයාට රැකවරණය දෙන්නැයි රටේ පාලකයන්ගෙන් ඉල්ලා ජාතික ක්‍රිස්තියානි සහෝදරත්වයේ ලේකම් දේවගැති ආචාර්ය රොහාන් ද එස්. ඒකානායක මහතාගේ අත්සනින් නිවේදනයක් නිකුත් කර තිබේ. එය සම්පූර්ණයෙන් පහත දැක්වේ.images

“ආගම් අතර මතුවී ඇති සංකීර්ණ තත්ත්වය තුල සියළුම ආගමික නායකයන් ජාතික සමාදානය වෙනුවෙන් වගකීමකින් මෙන් ම, තමන්ගේ අනුගාමිකයන්ට ආදර්ශමත් ලෙස ක්‍රියා කරන මෙන් ජාතික ක්‍රිස්තියානි සහෝදරත්වය ඉතා ඕනෑකමින් ඉල්ලා සිටී.

ජාතික ක්‍රිස්තියානි සහෝදරත්වය ස්වදේශිය නිකායන් සහ දේවස්ථාන  200 කට වඩා නියෝජනය කරන ස්වදේශිය සංවිධානයකි.

ශ්‍රී ලංකාව නිදහස ලැබු දින සිට 1956 වර්ෂයේ සිංහල දමිළ කෝලහාලය, 1957 සිට 1963 දක්වා විවිධ කිතුණු වරප්‍රසාද සහ අයිතීන්  උදුරාගැනීම්, 1971-72  ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ල, 1976 -2009  සිවිල් යුද්ධය, 1987 -89 ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ල, 2014 සහ 2017  මුස්ලිම් කෝලහාල, 1987 සිට 2017 දක්වා විවිධ මට්ටමින් කිතුණු විරෝධි  ක්‍රියා සිදුවෙමින් පැවතුනු අඳුරු අතීතයක් හා වර්ථමාණයක් ඇති බව ඉතිහාසය වාර්ථා කරනු ඇත. නිදහස ලබා අවු 69 ක් පසුකර ඇති අප, ශ්‍රී ලාංකිකයන් ලෙස බහුතර කාලයක් ගෙවී ඇත්තේ එකිනෙකා අතර ගැටුම් ඇති කර ගනිමිනි. මෙය සත්‍යයකි. ඉතිහාස ගත කරුණකි. මෙරටට පැමිණි විවිධ බලපෑම් තුලින් (ජිනිවා මානව හිමිකම් සංවිධානයේ විවිධ කාලයන් හි පැමිණි චෝදනා ) ඉතා පැහැදිලිය. මෙය නොදකින්නා වූ  හා තේරුම් නොගත්තා වූ අය, ගොළු බිහිරි අයවලුන් විය යුතුමය.

සිංහල බහුතර විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යය කිතුණු විරෝධි ස්ථාවරයක් ගන්නා බව නොරහසකි. මේ නිසා වරින් වර කිතුණු  ආගම අදහන්නවුන්ට හා ගොඩනැගිලිවලට විවිධ අඩංතේට්ටම්, පහර දීම්, ගිනි තැබීම්,  මානව අයිතීන් උල්ලංඝනය කිරීම් සිදුවීම් විවිධ ආකාරයට කලින් කලට සිදුවන්නකි. ‘සතුරන් ට වුවද ප්‍රේම කිරීම‘ කිතු දහමේ වැදගත් ඉගැන්වීමක් බැවින් (මතෙවි 5.44) කිතුණුවන් ගේ පීඩාවට ලෝකයේ අවධානය බොහෝ අවස්ථාවන් හිදී නො ලැබේ. 2016 වර්ෂයේ දී පමනක් ලෝකය පුරා කිතුණුවන් 90,000 ක් එනම් දළ වශයෙන් සෑම විනාඩි 6 කට ආසන්න කාලයකදි කිතුණුවෙක් බැගින් තම ඇදහිල්ල නිසා මරා දමා තිබේ.

මේ ලිපියේ  කතෘ ආගමික නිදහස පිලිබඳ 80 වන දශකයේ මැද භාගයේ සිට ක්‍රියාකරන්නකු ලෙස, මෙම කිතුණු විරෝධී සංස්කෘතියේ  වෙනස් වීමක් සඳහා දේශපාලන නායකයන් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, ඩී බී විජේතුංග මැතිඳුන්, ලක්ෂ්මන් ජයකොඩි මැතිඳුන්ගේ සිට අද දවසේ චන්ද්‍රිකා  කුමාරතුංග මැතිනිය, රනිල් වික්‍රමසිංහ මැතිඳුන් ඇතුළු විවිධ දේශපාලන නායකයන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් පුද්ගලිකව මුණගැසී , ආගමික නිදහස නිමිත්තෙන් ලිඛිත වාර්තා සහ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර ඇත. 1998 ඔස්ලෝහි පැවති එක්සත් ජාතින්ගේ 50 වන මානව  අයිතිවාසිකම් ප්‍රඥප්තිය සැමරීම වෙනුවෙන් පවත්වන ලද සම්මේලනයේදී ශ්‍රී ලංකාවේ  සුළුතර ජාතීන්ව ආචාර්ය්‍ය නීලන් තිරුචෙල්වම් නියෝජනය කළ අතර සුළුතර ආගම් නියෝජනය කරන ලද්දේ මෙම ලිපියේ කතෘය.  එහිදි ඉදිරිපත් කරන ලද වාර්ථාව ඇසුරෙන්  “මානව හිමිකම් -කිතුණු ඇසින්” ග්‍රන්ථයද ලියන ලද්දෙක් ලෙසට, පසුගිය දින නීතිඥ ලක්ෂාන් ඩයස් කරන ලද ප්‍රකාශණය සම්පුර්ණයෙන්ම අපි අනුමත කරමු.

අස්ගිරි මහා නා හිමි කරන ලද ප්‍රකාශණයේ ගලගොඩ ඥාණසාර හිමිගේ ක්‍රියා කලාපය නොව ඔහු ඉදිරිපත් කරන මතය පිලිබඳ අවධානය දිය යුතු බවට පවසන ලදී. එම මතය පිළිබදවද  අපට ගැටළු ඇති නුමුදු ප්‍රතිපත්තිය එනම් පණිවිඩය ගෙනෙන්නා නොව පණිවිඩයේ නියම අර්ථය ඕනෑම කාරණයකදී වටහා ගත යුතු බව දකිමු. නීතිඥ ඩයස් මහතා කළ ප්‍රකාශනය බෞද්ධ මනසට වටහාගැනීමට අපහසු දෙයකි. බෞද්ධ මනසකට “දේවස්ථානයක්” යන්නෙන් මැවී පෙනෙනුයේ,  රෝම ග්‍රීක ලන්දේසි ඉංග්‍රීසි  ගෘහ නිර්මානයට (ගොතික්) තනන ලද ගොඩනැගිල්ලක රැස්වන්නාවු කණ්ඩායමකි.  එය විදේශිකයන් අපට දුන්නා වූ තවත් වැරදි සංකල්පයකි. බයිබලය අනුව දේවස්ථානයක් ලෙස හැඳින්වනුයේ  ගොඩනැගිල්ලක් නොව අනුගාමිකයන්ගේ ජීවිත වෙනසක් එනම් නව ආධ්‍යාත්මික උත්පාදනයක් ඇත්තවුන්ය (1කොරින්ති 6:19). එම නිසා  එවැන්නන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු යේසුතුමන්ගේ නාමයෙන් රැස්වන්නේද එම ස්ථානයේ දේවස්ථානයක්, සහෝදරත්වයක්, යාච්ඤා මධ්‍යස්ථානයක් යනාදි ලෙසට කිතුණුවන් හඳුන්වති. (ශු.මතෙව් 18:20) මුල් කිතුණු සභාව රැස්වූයේද එ් ආකාරයට නිවෙස් වලය. (ක්‍රියා 17:5, 20:20, 1 කොරින්ති 16:19)

බෞද්ධ ප්‍රතිශතය දෙස බැලූ විට 1901 වසරේ  60% ක් වු අතර  2012 වන විට  එම ප්‍රතිශතය 70%  දක්වා වර්ධනය වී ඇති බව රාජ්‍ය සංඝණන වාර්ථා වලින් පෙන්නුම් කරයි.  එනමුත් අවුරුදු 500 කට පසුවත් කිතුණු ප්‍රතිශතය 1.4% ලෙස වාර්ථා වේ. (රෝමාණුකතෝලික නොවන කිතුණුවන්) කිතුනු ප්‍රජාව ලෝකයේ බහුතරයක් වුවද ශ්‍රී ලංකාව තුල ඉතා සුළුතරයක් බව පැහැදිලිය. මෙම සුළුතරයට පහරදීම්, ගිනිතැබීම්, විරුද්ධව උසිගැන්වීම්, විවිධ  නීති තුලින්, මර්ධනයට උත්සාහ කිරීම් තුලින්, මරණ තර්ජන කිරීම්, මළවුන් පවා භූමදානය කිරීමට නොදීම, යනාදි ක්‍රියා තුලින්,  70% බෞද්ධ ජනතාවට 1.4% ජනතාවක් තර්ජනය නිසා සිදුකරන්නක් බව කීම හාස්‍ය ජනකය, නින්දිතය. කිසිසේත් පිළිගත නොහැක. විය යුත්තේ සුළුතරයන් ආරක්ෂා කරගෙන යාම පිළිබඳ නීති රීති පැණවීමය.

එම නිසා ජාතික ක්‍රිස්තියාණි සහෝදරත්වය වගකිව යුත්තන් ගෙන් ඉල්ලා සිටිනුයේ
* සියළු ආගම් හා සියළු ජාතීන් අතර  එකමුතුව වැඩි දියුණු වන පිණිස, සුදුසු වාතාවරනයක්  සැකසීම. ප්‍රකෝපකාරී ප්‍රකාශණ වලින් වැලකී සිටීම.
* නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාගේ ආරක්ෂාව හා වෘත්තිය කරගෙන යැමට සම්පුර්ණ නිදහස හා රැකවරනය ලබා දීම.
* නිදහසේ පටන්  කිතුණු ප්‍රජාවගේ  අහිමිවු අයිතීන් ලබා දීමට හා ව්‍යවස්ථාවේ සඳහන් සුළුතර ආගම් වලට දී ඇති අයිතින් කිසි බියකින් තොරව භුක්ති විඳීමට පසුබිම සැලසීම ය.
ලංකා ඊ නිව්ස් – 2017.ජුනි.25, පෙ.ව.6.15)  1.4%ක් 70% කට තර්ජනයක් කරන්නේ කෙසේද? අපටත් නිදහස සහ රැකවරණය දෙන්න..! -ජාතික ක්‍රිස්තියානි සහෝදරත්වයේ ලේකම් දේවගැති ආචාර්ය රොහාන්

දේවගැති ආචාර්ය  රොහාන් ද එස් ඒකනායක.

ජාතික ක්‍රිස්තියාණි සහෝදරත්වය -ලේකම්
නිදහස – සම්බන්ධිකාරක

——————-

 උපුටා ගැනීම / http://lankaenews.com

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here