ශ්‍රී ලංකාවේ අරක්කු බීම සම්බන්ධයෙන් ඇති නීතිරීති ආචාර ධර්ම කියන එක නම් ලෝකයේ කිසිම තර්කයකින් තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි.
එක පැත්තකින් මුළු නූතන ශ්‍රී ලංකාවම වගේ ගොඩනැගෙන්නේ අරක්කු ව්‍යාපාරය පදනම් කරගෙන. අරක්කු නැත්තං ජනතාවට කන්ඩ දෙන්ඩ බැරි තරමට රජය බංකොලොත් වෙනවා. කොටින්ම රජය බීමට විරුද්ධ අය පවා නඩත්තු කරන්නේ අරක්කු විකුණලා. සංචාරක ව්‍යාපාරය නම් කරන්නම බැරුව යනවා. මේ රටේ බාර් ව්‍යාපාරයත් නීතියානුකූලයි බොන එකත් නීතියානුකූලයි. ඒ දෙකම නීති විරෝධීව කළොත් බය වෙන්න දෙයක් නෑ ඒකටත් නීති තියෙනවා.
ශ්‍රී ලංකාවේ පෝය ඇතුළු ආගමික උත්සව දවස්වලට තහනම් කළාට සෑම ආගමික දවසකටම තහනම් නැහැ. එක්කෝ රාමසාන් වහනවා හජ්ජි නැහැ. මහා සිකුරාදට සහ මහා ශිව රාත්‍රියට වහන්නෙ නෑ නත්තලට වහනවා.ඒ අතර ශ්‍රී ලංකාවේ තහනම් කර ඇති ඕනෑම දවසක නිශ්චිත ලයිසන් ගත්ත ඉහළ පෙළේ සංචාරක හෝටල් වගේකට පමණක් තහනම් නැහැ. (ඔය විස්තර මට දුන්නේ මේ වෙලාවේ අවුරුදු ආතල් එකට බීලා වෙරි වෙච්ච එකෙක් අඩුපාඩු තියනවනම් නිවැරදි කරන්න)
ඒ අතර බුදුන් වැනි සමහර ආගමික නායකයින් හරියටම බොන්ඩ එපා කියලා තියෙන තැනක් කාටවත් මෙතෙක් හම්බ වෙලා නෑ. ආගමක් අදහන එකෙකුට පෝය දවස්වල බොන්ඩ තහනම් කරලා අනිත් දවස්වල බොන්න ඉඩ දීම අතර වෙනස පැහැදිලි නැහැ. ප්‍රායෝගිකව බැලුවොත් බොන්න අවශ්‍ය එකා පෝය නිසා කිසිම විටෙක නොබී ඉන්නේ නැහැ. කලින් අරන් තියාගන්නවා, දැන් ඒක සම්ප්‍රදායක්. ඊට අමතරව බාර් වල පිට පස්සෙන් සහ බාර් අයිතිකරුවන්ගෙ ගෙවල්වල තියාගෙන එදාට වැඩි ගානට විකුණනවා. ඕනෑම පෝය ඇතුළු තහනම් කරපු දවසක බීම හොයා ගැනීමට කිසිම අපහසුතාවයක් ශ්‍රී ලංකාවේ නැහැ.
ඔය තත්ත්වය එහෙම තියෙද්දි මිනිස්සු වඩාම විනෝද වෙන නිදහස් දවසටයි අවුරුදු කාලයටයි තහනම් කරලා තියෙනවා.
උත්සව දවස්වලට තහනම් කරලා තියෙන්නේ අනතුරු වැඩිවන නිසා නම් දිනකට ලක්ෂ ගානක් රටේ සිදුවන මගුල් ගෙවල් සහ පාටි ද බීම තහනම් කළ යුතුයි.
කළ යුත්තේ විවිධ විදිහට ජීවත් වෙන්න කැමති මිනිසුන්ගේ ප්‍රජා අයිතියට සහ රුචි අරුකම්වලට ගරු කරමින් ආගමානුකූලව ඉන්න අයට එහෙම ඉන්නත් බීලා ඉන්න කැමති අයට එහෙම ඉන්නත් ඉඩදීමයි.
මේ තත්ත්වය තුළ බීම සම්බන්ධ නීතිය හාස්‍යයට ලක් වීමට වඩා වැඩි දෙයක් වෙලා නැහැ. මේ නීතිය සහ බීම අතර ඇති අනුකූලතාවය නම් නීතියත් වෙරි වෙච්ච එකෙක් ආතල් එකට දාපු එකක් වගේ වීමයි.
(ධනංජය කරුණාරත්නගේ ෆේස් බුක් පිටුවෙනි)