19 විතරක් විවාදයට ශ්‍රීලංනිප විරෝධය : පාර්ලිමේන්තු විවාදය සඳුදාට කල් යයි

0
120
parliament

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම මැතිවරණ ක්‍රම සංශෝධන යෝජනාවෙන් තොර ව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පමණක් සම්බන්ධ විවාදයට සිය විරෝධය පළ කිරීම හේතුවෙන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය ලබන සඳුදාට (27 ) කල් තබා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලබන 27 හා 28 දින දෙකේදී විවාදයට ගන්නා බව කථානායක චමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට දැන්වීය.

විවාදයෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ඡන්ද විමසීම 28 වැනිදා පැවැත්වීමට නියමිතය.

අද උදෑසන කල් තැබුණු පාර්ලිමේන්තුව පස්වරු 12.35 ට යළි රැස්වූ අතර ලබන 27 වැනිදා දක්වා පාර්ලිමේන්තුව කල් තබන බව කථානායකවරයා දැන්වීය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ මැතිවරණ ක්‍රමය යන දෙකම එක වර ගෙන එනු ලැබු‍වහොත් පමණක් ඊට එකඟ වීමට පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම පසුගිය දා තීරණය කර තිබිණි.

ස්වාධීන කොමිෂන් සභා යළි ස්ථාපිත කිරීම මෙන් ම විධායක ජනාධිපති ධුරයේ ඇතැම් බලතල සංශෝධනය කිරීම ඇතුළු කරුණුවලින් සමන්විතව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අග්‍රාමාත්‍යවරයා පසුගිය මාර්තු 24 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

මෙම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව පසුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 19 ක් ගොනු කළ අතර ඉන් 14ක් ම ඉදිරිපත් වූයේ ඊට විරුද්ධව ය.

ගෝමින් දයස් ශ්‍රී, අයිවන් පෙරේරා, උදය ගම්මන්පිල, ඩී. වීරසේකර, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, ස්වර්ණපාලී වනිගසේකර, පූජ්‍ය මාතර ආනන්ද සාගර හිමි, සෝමවීර චන්ද්‍රසිරි, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම සහ එම්.බී.සී. නෙට්වර්ක්ස් පුද්ගලික සමාගම සමග සිසිර ජයකොඩි යන පිරිස මෙම පෙත්සම් ගොනු කර තිබිණි.

අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, චන්ද්‍රා ඒකනායක සහ ප්‍රියසාද් ඩෙප් යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය සිය නිගමනය දැනුම් දුන්නේ ය.

ඒ අනුව කථානායකවරයා එම නිගමනය පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර එහි දැක්වුණේ, ‍19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව ය.

ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් යොමු වීමෙන් පසුව රජය යළිත් මෙම කෙටුම්පතට අදාළව සංශෝධන කිහිපයක් අධිකරණයට යොමු කර තිබිණි.
http://thecolombopost.net