2011 වසරේ ලෝක ධීවර දිනය, මීගමුවේදී සැමරේ

0
60

               පසුගිය නොවැම්බර් 21 වැනි දිනට යෙදුණු ලෝක ධීවර දිනය නිමිත්තෙන් සංවිධානය කල විශේෂ වැඩසටහනක් සහ දැවැන්ත උද්ඝෝෂන පාගමනක් නොවැම්බර් 22 වැනි අගහරුවාදා මීගමුවේදී පැවැත්විණි.
එදින පෙරවරුවේ දී මෙම විශේෂ වැඩසටහන පැවැත්වුනේ මීගමුව රුක්මණී දේවී රංගන ශාලාවේදීය. බෞද්ධ , හින්දු , මුස්ලිම් සහ කතෝලික ආගමීක පුජක නායක නායිකාවන් ගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන පැවැත්විණි.  — ජාත්‍යන්තර එකගතාවයකින් ආහාර ස්වෛරීත්වය තහවුරු කරමු ˜ යන තේමාව යටතේ සංවිධානය කර තිබු මෙම වැඩසටහනට ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ ප්‍රාදේශයේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නායකයන්ට ද,  ධීවර කර්මාන්තය සදහා වන රජයේ ආයතන වල ප්‍රධාන නිලධාරීන්ටද ආරධනය කර තිබිණි.

එහෙත් ධීවර අමාත්‍යවරයා ඇතුඵ ආන්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ එකදු  දේශපාලන නියෝජිතයෙකු හෝ මෙම වැඩසටහනට සහභාගී නොවීම කැපී පෙනන සිදුවීමක් විය. මේ වැඩසටහන සදහා පැමිණ සිටි එකම රජයේ නිලධාරීයා වුයේ මීගමුව ධීවර දෙපාර්තමේන්තු කාර්්‍යාලයේ අධ්‍යක්ෂ බන්ඩාර මහතා පමනි.
මෙම වැඩසටහනේදී රට තුල සිටින සියළු ධීවර පාර්ශවයන් නියෝජනය කරමින් එම නියෝජිතයින් විසින් ඔවුන්ගේ කර්මාන්තය නිසි ලෙස පවත්වා ගෙන යා නොහැකි පරිද්දෙන් බලපා ඇති සියළු කරුණු කාරණා පිලිබදව විශේෂ අදහස් දැක්වීමක් සිදු කලහ. එහිදී කරදිය-මිරිදිය,
සුළුපන්න-මහා පරිමාන වැනි සියළු ධීවර ස්ථර නියෝජනය වන පරිදි එම නියෝජිත සංගම් වල ක්‍රියාකාරින් සිය අදහස් ප්‍රකාශ කලහ. විශේෂයෙන්ම වර්තමාන රජය විසින් කි්‍රයාත්මක කරන සංචාරක ව්‍යාපෘතීන් හරහා මේ වන විට රටට බත සපයන ගොවියාට තම කුඹුරු සහ ගොඩ ඉඩම් අහිමි වී යන ආකාරයටම සී-ප්ලේන් සහ වෙනත් සංචාරක ව්‍යාපෘති නිසා මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදෙන්නන්ට සිය වැව් පොකුනු අහිමි වී යන බවද මෙහිදී ප්‍රකාශ වුණි.    එලෙසම උතුරු නැගෙනහිර මුහුදු තීරයට ඉන්දීය ධීවර යත්‍රා පැමිණීමෙන් තමනට විදින්නට සිදු වී ඇති ගැහැට පිලිබදවද මෙහිදී එම ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි ධීවර නායකයන් විසින් අවධාරනය කරන ලදී. එමෙන්ම මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ශ්‍රි ලාංකීක ධීවරයන් වරින් වර ඉන්දීයාවේදී අත්අඩංගුවට ගැනීමත් ඔවුන්ව නිදහස් කර ගැනීමට රජයට මෙතෙක් කිසිදු විධිමත් වැඩපිලිවෙලක් නොමැතිවීම  ගැනද මෙම වැඩසටහනේදී ප්‍රධාන ලෙස සාකච්ඡාවට බදුන් වූ කරුණු කාරනා අතර වේ.

එම වැඩසටහනනේදී රට තුල වෙසෙන සියළු ධීවරයන්ට බලපාන ප්‍රශ්න සහ අර්බුද පිලිබදව සවිස්තරාත්මකව පිලියෙල සංදේශයක් ධීවර අමාත්‍යවරයාට පිලිගැන්වීමට නියමිතව තිබිණි . එහෙත් ධීවර අමාත්‍යවරයා මෙම වැඩසටහන ට සහභාගී නොවීම නිසා එම සංදේශය ධීවර අමාත්‍යවරයා වෙත භාර දීම සදහා මීගමුව ධීවර දෙපාර්තමේන්තු කාර්්‍යාලයේ අධ්‍යක්ෂවරයාට එම සංදේශය භාර දීම ද මෙහිදී සිදු විය. එමෙන්ම රජය විසින්  මීගමු කලපුවේ ආරම්භ කිරීමට ගිය සී-ප්ලේන් ව්‍යාපෘතිය වැලැක්විමේ එම ඓතිහාසික මහා අරගලයට සහයෝගය ලබා දුන් මීගමුව ප්‍රදේශයේ ක්‍රියාකාරී සංවිධාන 04 කට සමරු සංකේත ප්‍රදානය කිරීමක්ද මෙම වැඩසටහන අවසානයේදී සිදු විය.
ඉන්පසුව සවස 3.00 ට පමන ලෝක ධීවර දිනය සැමරීමේ වැඩසටහනට සමගාමීව පැවැත්වූ උද්ඝෝෂන පාගමන ආරම්භ විය. රුක්මණී දේවී රංගන ශාලාවෙන් ආරම්භ කල එම පාගමන කොළඹ-හලාවත ප්‍රධාන මාර්ගය ඔස්සේ කොප්පරා හංදිය හරහා මීගමුව නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයකම සංචාරය කෙරිනි. ඒ සදහා අති විශාල ජනකායක් සහභාගී වී සිටිනු දක්නට ලැබීනි. රජයේ වර්තමාන ආර්ථීක සහ සංවර්ධන ප්‍රතිපත්ති හමුවේ ධීවරයා අත්විදින ගැහැට හා දුෂ්කරතා මෙම පාගමනේදී විශේෂීත සටන් පාඨ බවට පත් වී තිබුණි. ධීවර කර්මාන්තය සහ ධීවර ජනතාව කෙරෙහි රජය දක්වන නිද්‍රාහීලී  අකර්මන්‍ය සහ විධිමත් නොවන ප්‍රතිපත්තීන් වලට එරෙහිව මෙහිදී ධීවරයන්ගේ විරෝධය දැඩි ලෙස එල්ල වුහ. මෙම පාගමනට සහභාගී වු ධීවර ජනතාවගේ ඉල්ලීම වුයේ ධීවරයාට දැක්විය යුතු  නිසි සැලකිල්ලත් ධීවර කර්මාන්තයට සැබැවින්ම හිමි කර දිය යුතු ගෞරවයත්  ආරක්ෂා වන පරිදි වර්තමාන රජය ප්‍රතිපත්තිමය ලෙස ක්‍රියා කල යුතු බවයි.
ලෝක ධීවර දින සැමරිමේ මෙම  වැඩසටහන සහ උද්ඝෝෂන පාගමන මීගමුව තුල සංවිධානය කර තිබුනේ ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය සහ මීගමුව ශ්‍රි විමුක්ති ධීවර කාන්තා සංවිධානය ඇතුළු තවත් ධීවර සමිති , සංවිධාන   කිහිපයක් එකමුතුවෙනි.