34 වැනි කළු ‘ඔක්තෝබර් සැමරුම’

0
100

සෑම වසරකම ඔක්තෝබර් 30 වැනිදාට  යෙදෙන කළු ඔක්තෝබර් දිනය නිමිති කරගෙන විශේෂිත මාධ්‍ය හමුවක්  අද දින  (2024/11/03 )  පෙරවරුවේදී මීගමුව, පෙරියමුල්ල, සෝන්ඩර්ස් පැලස් උත්සව ශාලාවේදී පැවැත්විණි.
එම මාධ්‍ය හමුව පවත්වන ලද්දේ   1990 වසරේ ඔක්තෝබර් මස 30 වැනි දින  යාපනයේ  සිට එල්.ටී.ටී.ඊ සංවිධානය විසින්  පලවා හරින ලද  මීගමුවට පැමිණි  මුස්ලිම් ජනතා නියෝජිතයන් විසිනි.
මෙම මාධ්‍ය හමුවේදී මීට වසර 34 කට පමණ පෙර එනම් 1990 වසරේ එලෙස මීගමුවට පැමිණි මුස්ලිම් ජාතිකයින් කීහිප දෙනෙකු සිය අදහස් පල කළේය.

        .
මෙහිදී මීගමුව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයෙකු ලෙස රාජකාරී කල ,මේ වන විට විශ්‍රාම ලබා සිටින එම්.එස්.ජීනුස් මහතා ප්‍රකාශ කළේ 1990, වසරේ ඔක්තෝබර් මස 30 වැනි දින එවකට යාපනය ඇතුළු උතුරේ සක්‍රීයව සිටි එල්ටීටීඊ  විසින්  යාපනය නගරයේ ජීවත් වූ සියලුම මුස්ලිම් පවුල් වලින් එක් සාමාජිකයකු බැගින් නගරයේ පිහිටි ජින්නා  ක්‍රීඩා පිටියට කැඳවූ බවයි. ඉන් පසුව ඒ පිරිස හමු වූ එල්ටීටීඊ කණ්ඩායමේ ප්‍රාදේශීය නායකයෙකු පවසා සිටියේ යාපනය නගරයේ, මුස්ලිම්වරුන් පදිංචි වී සිටිනා ප්‍රදේශ ඔප්පු ලියකිවිලි වලින් නීත්‍යානුකූලව අයිතිය ප්‍රකාශ වුවත් එම වාසභූමි සියල්ලම ඊළාම් රාජ්‍යයට අයිති ඒවා බවයි. ඒ නිසා වහාම පැය 02 ක් ඇතුළත එම ඉඩමි, නිවාස සහ ඔවුන්ගේ රැස් කරගත්  මුදල් මෙන්ම රන් ආභරණ ආදි වටිනා දේ ද එම නිවාස වල තබා වහාම එම ප්‍රදේශවලින් පිටව යන ලෙස අණ කල බවයි. ඒ සඳහා පැය 02 ක කාලයක් ලබාදෙන බවත්, ඔවුන්ට පිටව යෑම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් එල්ටීටීඊ සංවිධානය ලබාදෙන බවද එහිදී එම ප්‍රාදේශීය එල්ටීටීඊ නායකයා පැවසූ බවද ජීනුස් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ජීනුස් මහතා ප්‍රකාශ කල පරිදි ඒ වනවිටත් යාපනය නගරයේ මුස්ලිම් පවුල්  1800 කට පමණ අයත් පුද්ගලයින් 13000 කට අධික පිරිසක් වාසය කර ඇත. එලෙසම එම ප්‍රදේශවල මුස්ලිම් දේවස්ථාන 11ක් පමණ ස්ථාපිතව තිබූ බවත් ඉස්ලාමීය පාසල් 02 ක් ද එම ප්‍රදේශවල ස්ථාපිතව තිබූ බවත් ජිනුස් මහතා ප්‍රකාශ කරන ලදී.
තමන් හරිහම්බ කළ කිසිදු දෙයක් රැගෙන යෑමට අවසර නොදුන් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් තමන් ඇතුළු තම පවුලේ සියලු පිරිස සහ යාපනය නගරයේ ජීවත් වූ සියලු මුස්ලිම් වැසියන්ව  එදිනම වවුනියාව නගරයෙන් එපිටට රැගෙන ආ බවත් සඳහන් කළේය .එතැන් පටන් පිරිසක් නුවර ප්‍රදේශයටත්, තවත් පිරිසක් කොළඹ ප්‍රදේශයටත්, තවත් විශාල පිරිසක් පුත්තලම ප්‍රදේශයටත්, එලෙසම තම පවුල ඇතුළු පවුල් ගණනාවක් මීගමුවට පැමිණ තම ජීවිතය අලුතින් ඇරැඹූ බව ද  ඔහු සඳහන් කළේය.
මේ වනවිට එල්ටීටීඊ සංවිධානය යුධමය වශයෙන් පරාජය කර වසර ගණනාවක් ඉක්ම ගොස් ඇති බවත්, ඒ නිසා තම ගම් බිම් වෙත නැවත ගොස් පදිංචි වීමට අවශ්‍ය බවත් ඔවුන් මෙහිදී අවධාරණය කළේය. මෙහිදී ජීනුස් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ යුද්ධය නිමා කළ මහින්ද රාජපක්ෂ රජයටත් ,ඉන් පසු බලයට පත් වූ යහපාලන රාජයටත්, පසුව බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ රජයටත් ඔවුන් ජීවත්ව සිටි ගම් බිම් වෙත ගොස් නැවත  පදිංචි වීම සඳහා අවශ්‍ය නෛතික පහසුකම් ලබා දෙන ලෙස කොතෙකුත් ඉල්ලීම් කලද ,එම ඉල්ලීම්  කිසිවකට කිසිදු රජයක් සාධනීය ලෙස ප්‍රතිචාර නොදැක්වූ බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.

ඒ අනුව මේ වසරේ  ඔවුන් විසින් සමරනු ලබන මෙම කලු ඔක්තෝබර් දින සැමරුමට සමගාමීව මෙම මාධ්‍ය හමුව පවත්වමින්  අභිනව ජනපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජන බලවේග නව රජයෙන් ඉල්ලා සිටින්නේ අවුරුදු 400 කට වඩා වැඩි කාලයක් තම මුතුන් ජීවත් වූ තම පරම්පරා ගත සහ තමන්ට නීත්‍යානුකූලව ඔප්පු ලියකිවිලි වලින් අයිතිය ඇති තමන්ගේ නිජබිම් වෙත ගොස් නැවත තම ආරම්භ කිරීමට අවශ්‍ය සියලු කටයුතු සලසා දෙන ලෙසයි.
මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගි වූ ජීණුස් මහතා ඇතුළු  සියලු දෙනාම  නව රජයෙන් ඉල්ලා සිටින්නේ අවම වශයෙන් නව නිවාස 500 ක් වත් එම ප්‍රදේශයේ අලුතින් ඉදිකර  එම  පිරිසට නැවත පදිංචි වීමට අවශ්‍ය අනිකුත් යටිතල පහසුකම් ද ලබාදෙන ලෙසයි.එහිදී මේ වන සම්පූර්ණයෙන්ම කඩා බිඳ දමා ඇති  තම මුස්ලිම් දේවස්ථාන සහ මුස්ලිම් ජාතික දරුවන්ට අධ්‍යාපනය ලබා දුන් එම පාසල් දෙක ද නැවත යථා තත්ත්වයට පත් එම පාසැල් වලට  ක්‍රියාකාරී පලපුරුදු ගුරුවරුන් ලබා දෙන ලෙසද ඔවුන් නව ජනාධිපතිවරයාගෙන් සහ නව රජයෙන් මෙහිදී ඉල්ලා සිටියේය.

මෙම මාධ්‍ය හමුවේදී එම්.එස්.එම්.ජාන්සින් මහතා සහ පෙරියමුල්ල, ප්‍රධාන මුස්ලිම් දේවස්ථාන කම්ටුවේ  ලේකම් එම්. එම්.සුහායිහල් හාජ්ජියාර් මහතා සහ පෙරියමුල්ල ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයේ නූරුල් හසන් මවුලවිතුමාද  අදහස් පල කලහ.
එමෙන්ම මීගමුව, හිටපු නියෝජ්‍ය නගරාධිපති ෆරීස් මහතා ඇතුළු තවත් මුස්ලිම් ජාතිකයින් පිරිසක් ද මෙම කළු ඔක්තෝබර් දිනය ස්මරණය කරමින් පැවැත් වූ විශේෂිත මාධ්‍ය හමුවට සහභාගී වුහ.