ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා නිදහසේ වේදිකාවෙන් යෝජනා මාලාවක් !

0
218

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා මහජන අදහස් ලබාගැනීමේ කොමිසම හමුවේ නිදහසේ වේදිකාවේ සමකැදවුම්කරු නිතිඥ සුදර්ශණ ගුණවර්ධන විසින්  දෙනු  ලැබු වාචික සාක්ෂියේ ලිඛිත දේශනය අප වෙත ලැබි ඇත.
ප්‍රජාතන්ත්‍රවාදය අගයන අපගේ පාඨකයාගේද දැනගැනිම පිණිස එය අප වෙබ් අඩවියේදි පළකරන්නෙමු.suda 1

 

පූර්විකාව:

නිදහසේ වේදිකාවේ අප අතර විවිධ කරුණු සම්බන්ධයෙන් වාද විවාද පවතිනවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදි  රාමුව ආරක්ෂා කර ගන්නේ කොහොමද කියන කාරණයේදී අපි සියලුදෙනා එකඟයි. පළමුව අපි ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම ගැන අවධානය යොමු කළ යුතුයි. ජනතා පරමාධිපත්‍යයට ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය, ඡන්ද බලය සහ මූලික අයිතිවාසිකම් ඇතුළත් වෙනවා. මෙම පරමාධිපත්‍ය බලය ශක්තිමත් වෙන ආකාරයටත්, එකිනෙක බලයන් මත සංවරණ සහ තුලන ඇතිවන ආකාරයටත් දේශපාලන ක්‍රමය සහ ආණ්ඩුක්‍රමය වෙනස් කිරීම ගැන සිතිය යුතුයි.
පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේදී ශ්‍රි ලාංකීය අනන්‍යතාව පදනම් කරගෙන සියලු දෙනාටම සමාන ලෙස ජීවත්විය හැකි සැකැස්මක් සකස් කළ යුතුයි. කොළඹ හා සෑම දිස්ත්‍රික්කයකම සීමිත භූමි භාගයකට පමණක් කේන්ද්‍රගතවී තිඛෙන සංවර්ධනය අනෙක් කොටස්වලට ව්‍යාප්ත කළ යුතුයි. ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් දිය යුතුයි. උතුරේ යුද්ධයෙන් අවතැන් වූ ජනතාව ජනතාවගේ ප‍්‍රශ්න විසඳිය යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය නිසා රට ඒකාධිපති පාලනයකට ගමන් කළා. ඒ නිසා පාර්ලිමේන්තුවට වග කියන පාලනයක් අපට අවශ්‍යයි. නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක විය යුතුයි.
සමාජ, ආර්ථීක දියුණුව ඇති නොකර රට සංවර්ධනය කළ නොහැකියි. අපේ වර්තමාන ව්‍යවස්ථාවේ 27 වන වගන්තියෙහි එන රාජ්‍යය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම අනුව ජනතාව බඩගින්නේ තබන්නේ නැති බවට රජයක් කටයුතු කළයුතු බව අර්ථ නිරූපණය කරන්න පුළුවන්. මේ වෙනස්කම් ඇතිකිරීම නීතියෙන් පමණක් කරන්න බැහැ. ජන බලවේගයකිනුයි එය කළ යුත්තේ. එවැනි ජන බලවේගයක් ගොඩ නගා ගෙන ජනවාරි 08 වනදා සහ අගෝස්තු 17 වනදා මහජනයා විසින් ලබා දුන් ජනවරම ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන් අපි පෙනී සිටිනවා.

වෙනසකට කැපවෙමු  – නිදහසේ වේදිකාවේ පංචවිධ ප්‍රතිපත්ති
නිදහසේ වේදිකාව ශ්‍රි ලංකාව තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම හා ශක්තිමත් කිරීම උදෙසා කැපවූ සිවිල් සමාජ කිි්‍ර්‍රයාකාරිකයින් හා දේශපාලන නායකයින් විසින් පිහිටුවා ගනු ලැබූ පුළුල් සන්ධානයකි. රට පුරා පවතින මානව හිමිකම් කඩ කිරීම් නිදහසේ වේදිකාව බිහිකර ගැනීම සඳහා හේතු පාදක විය. එසේම අතුරුදහන්වීම්, පැහැරගෙන යාම්, නීත්‍යනුකූල නොවන මනුෂ්‍ය ඝාතන මෙන්ම මාධ්‍ය මර්දන කටයුතුවල නියැළුනන්ට දඞුවම් නොලැබීම හරහා මතුවුණු නිර්මුක්ති සංස්කෘතිය ද මෙයට හේතු පාදක විය.
අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සහ ජීවත්වීමේ අයිතිය යන මූලික මානව අයිතීන් නිදහසේ වේදිකාවේ අඩිතාලම වන්නේය.
සියළු දේශපාලන ආයතන හා ක්‍රියාදාමයන් පුරවැසියන්ගේ පුර්ණ සහභාගීත්වය සඳහා විවෘත, ජන කොටස්වල විවිධත්වය හඳුනා ගන්නා සහ එය පිළිබිඹු කරන, ඔවුන් ගේ දුක්ගැනවිලි වලට ආමන්ත්‍රණය කරන සහ අපේක්ෂාවන්ට ඉඩ දෙන්නක් විය යුතුය. ශ්‍රී ලංකාවේ සියළු පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දක්වනු ලබන මූලික අයිතිවාසිකම් බුක්තිවිදීමේ අයිතිය තහවුරු කළ යුතුය.
ඒ අනුව අප රටේ සාමය, යහ පාලනය හා සමාජ සාධාරණත්වයට මඟ පෙන්වීම සඳහා නිදහසේ වේදිකාව විසින් පහත දැක්වෙන පංචවිධ ප‍්‍රතිපත්ති කෙරෙහි තම කැපවීම ප්‍රකාශ කරනු ලබයි.

01.ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම
විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුය.
ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ වගකීම තහවුරු කෙරෙන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කළ යුතුය.
කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධූරයන් අඩු කළ යුතුය.
ජනවාර්ගික ගැටුම විසදාලීමට අදාළව බලය ඛෙදීම පදනම් කරගත් රාජ්‍යය ප්‍රතිව්‍යුහකරණය කළ යුතුය.
අසාධාරණයන්ට ලක් වූවන්ට සමානත්වය තහවුරු කිරීම පි‚සුවිශේෂ විධි විධාන ඇති කළ යුතු අතර විශේෂයෙන් සියළු තීරණ ගැනීමේ මණ්ඩල තුළ කාන්තා නියෝජනය සහ සහභාගීත්වය වර්ධනය කළ යුතුය.

02. යහ පාලනය, නීතියේ ආධිපත්‍ය සහ විනිවිදභාවය තහවුරු කිරීම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය ආරක්ෂා කළ යුතුය.
17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම හරහා පොලිස් සහ පරිපාලන සේවය දේශපාලන ඇගිලි ගැසීම් වලින් මුදා ගත යුතුය.
ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවිය යුතුය.
තොරතුරු ලබා ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන නීති සම්මත කළ යුතුය.
අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කළ යුතුය.

03.ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය වර්ධනය කිරීම
සියළු ජනවර්ගයන්ගේ සමානත්මතාවය පිළිගන්නා බලය ඛෙදාහැරීම මත පදනම් වූ දේශපාලන විසඳුමක් වහාම ගෙන ආ යුතුය.
ශ්‍රිලංකාවේ රාජ්‍ය සංකේතය මගින් පුද්ගලයන්ගේ විවිධත්වය මත පදනම් වූ එක්සත් බව පිළිඹිබු විය යුතුය.
අවතැන්වූවන්ගේ ආත්ම ගරුත්වය සුරැකිය යුතුය.
යුද ගැටුම් වලින් අවතැන්වූවන් නැවත පදිංචිකරවීම සහ පුනරුත්ථාපනය කිරීම එක්සත් ජාතීන්ගේ මූලධර්මයන්ට අනුකූලව ක්‍රියාත්මක කළ යුතුය.
රාජ්‍ය භාෂා නීතිය අර්ථාන්විත ලෙස ක්‍රියාත්මක කළ යුතුය.

04. ආර්ථීක හා සමාජ සාධාරණත්වය
ජනගහනයේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොටස්වල ජීවන තත්ත්වය සහ අභිවෘද්ධිය තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක වැඩ පිළිවෙලක් සකස් කළ යුතුය.
රටේ ආර්ථීකයේ විභවතාවය වර්ධනය කිරීම සඳහා සමාජ වගකීම් සහිත වෙළදපොළ ආර්ථීකයක් ප්‍රවර්ධනය කළ යුතුය.
තිරසාර සංවර්ධනය සහ කෘෂිකාර්මික විධික්‍රම ප්‍රවර්ධනය කිරීම හරහා ආහාර සුරක්ෂිතභාවය සහ පරිසරය ආරක්ෂා කළ යුතුය.

05. මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස සුරැකීම
අතුරුදහන්කරවීම්, පැහැරගෙන යාම් සහ නීති විරෝධී ඝාතනයන් සම්බන්ධ පරීක්ෂණයන් වහා පවත්වා වරදකරුවන් නීතියේ ඉදිරියට ගෙන ඒම හරහා වරදින් නිදොස් කිරීමේ සංස්කෘතිය වහා අවසන් කළ යුතුය.
ජාතික ආරක්ෂාව සඳහා පනවා ඇති නීති, හදිසි නීති විධි විධානයන් ඇතුළු සියළු නීති ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල විය යුතුය.
ශ්‍රී ලංකා රාජ්‍යය අපකීර්තියට පත් නොවනු පිණිස අප විසින් පිළිගෙන ඇති සියළු ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තීන් ගරු කළ යුතුය.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කරන නීතියක් වහාම සම්පාදනය කළ යුතුය.
මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට එරෙහි හිංසනය වහා නැවැත්විය යුතුය.
මහජන සේවා මාධ්‍ය සම්ප්‍රදායක් සැලසුම් කිරීම හරහා රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ඒකාධිකාරය පරිවර්තනයට ලක් කෙරෙන නව මාධ්‍ය සංස්කෘතියක් බිහිකළ යුතුය.
පුවත්පත් මණ්ඩල පනත වහා අහෝසි කළ යුතුය.