82 වන ලෙයිටන් කුසලාන බොක්සින්  තරගාවලියේ අවසන් මහා තරඟ  මීගමුවේදී ඇරඹෙයි

0
54
      මෙරට ප්‍රථම වතාවට වෙරළ තීරයක එළිමහනේ පවත්වන 82 වන
  ලෙයිටන් කුසලාන (LAYTON CUP) බොක්සින් තරඟාවලියේ අර්ධ අවසන් සහ අවසාන මහා තරඟය ඊයේ  (2024/10/04) දින  සවස  මිගමුව වෙරළ උද්‍යානයේදී  ආරම්භ විය.
ඒ අනුව මෙහි ආරම්භක දිනය වූ ඊයේ මෙම තරගාවලියේ  තරග 27 කින් සමන්විත වන කාන්තා සහ පිරිමි  සියළුම අර්ධ අවසන් අද  දින පවත්වන ලදී. එමෙන්ම මෙම තරගාවලියේ තරග 24 ක් වූ කාන්තා සහ පිරිමි සියලුම අවසන් මහා තරඟ හෙට  දින (2024/10/05 වැනි සෙනසුරාදා)   සවස 4.00 සිට පැවැත්වීමට නියමිතව ඇත..
 වසරක් පාසා පවත්වනු ලබන ලෙයිටන් කුසලාන බොක්සින් තරගාවලි⁣ය යනු මෙරට ජාතික සහ ජාත්‍යන්තර බොක්සින් තරඟ වලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ මූලික සහ ප්‍රධානතම තරගාවලියක් ලෙසද හැඳින්විය හැක.
              බොක්සින් ක්‍රීඩාව පොදු ජනතාව අතර ජනප්‍රිය කිරීමේ සහ ප්‍රචලිත කිරීමේ අරමුණින් යුතුව  මීගමුව කලාප භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ සංකල්පනාවකට අනුව මෙම තරගාවලියේ අර්ධ අවසන් සහ අවසාන මහා තරග මීගමුවේ පැවැත්වීමට කටයුතු සංවිධානය විය. ඒ අනුව මීගමුව කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා පවසන්නේ මෙවැනි බොක්සින් තරගාවලියක් මෙරට වෙරළ තීරයක එළිමහනේ  පවත්වන පළමු අවස්ථාව මෙය වන බවයි. පොදු ජනතාව සහ විශේෂයෙන්ම පාසල් දරුවන්ට බොක්සින් ක්‍රීඩාවට පිවිසීමට යම් පන්නරයක් ලබාදීම පිණිස මෙය මීගමුව වෙරළ උද්‍යානයේ පැවැත්වීමට තමන් මූලිකව කටයුතු කළ බවද එරික් පෙරේරා මහතා පැවසීය. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදේශකත්වයෙන් මෙම තරගාවලියේ ප්‍රධාන කටයුතු  සංවිධානය කර තිබිණි.
                  ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ජිනදාස නැමැති ක්‍රීඩකයා සහ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පී.කේ.යු. සිල්වා නැමැති ක්‍රීඩකයා අතර අද දිනයේ ආරම්භක තරඟය පැවැත්විනි. ඒ අනුව, පොලිස්  සහ ත්‍රිවිධ හමුදා බොක්සින් කණ්ඩායම් ඇතුළු මෙරට ප්‍රමුඛ පෙළේ බොක්සින් කණ්ඩායම් 28 ක  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 184 දෙනෙකු පමණ මෙම තරගාවලියට  සහභාගි වුහ. මෙහි මූලික තරග කොළඹ රාජකීය විද්‍යාල ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පසුගිය දිනවල පවත්වනු ලැබීය.
               අද දින ආරම්භ වූ අර්ධ අවසන් තරග  සඳහා ශ්‍රී ලංකා බොක්සින් සංගමයේ සභාපති, ආචාර්ය අනුරුද්ධ ශානක බණ්ඩාර, එහි ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පති සමන් ගුණරත්න  එලෙසම මෙම තරගාවලිය සඳහා ප්‍රධානතම අනුග්‍රහයා වන  ත්‍රී.ආර්. ඉන්ටර්නැෂනල් ආයතනයේ අධිපති එමිල් ප්‍රනාන්දුපුල්ලේ යන මහත්වරුන්ද එලෙසම බස්නාහිර පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂිකා ධම්මිකා කුලතුංග මහත්මියද ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වූහ.
                  ඒ වගේම මීගමුව කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා සහ තවත් උසස් පොලිස් නිලධාරින් මෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරීන්  පිරිසක් ද මෙම තරඟ නැරඹීම සඳහා සහභාගි වූහ.
        මෙම බොක්සින් තරඟ වලට සමගාමීව මේ දෙදින තුල ඩී ජේ සංගීතය ඇතුළු සංගීතමය වැඩසටහන් සහ නර්තනාංග කිහිපයක්ද වෙරළ උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා ඇත.
      මෙම තරගාවලිය සඳහා  ප්‍රකට වෙළඳ ව්‍යාපාර කිහිපයක්ම අනුග්‍රහකත්වය සපයා තිබිණි.
  ලෙයිටන් කුසලාන බොක්සින් තරඟාවලියේ හෙට දින පැවැත්වෙන අවසන් මහා තරග නැරඹීම සඳහාද  කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. කලකින් දක්නට නොලැබෙන අධි උද්වේගකර බොක්සින් තරගාවලියක අවසන් මහා තරඟ  නැරඹීම සඳහා මෙම තරඟාවලිය සංවිධායකයින් ඔබ සැමටම ආරාධනය කර සිටී.