” කුට්ටිදූවේ සලමන් මුදලාලිගේ පුතා ” ට සුභ ගමන් ….

0
397

” මල්ලි අර අලුතෙන් ෆීල්ඩ් එකට ආපු මීගමුවේ ගායකයා ෂෙල්ටන් මුතුනමගේ ගැන ‘ සත්සර ‘ පත්තරේ විස්තරයක් දාන්න. හොඳ කොල්ලා… “
එච්.ආර්.ජෝතිපාලයන් 1985 දී පමණ එසේ මා සමඟ කීවේ මාලිගාවත්තේ මහල් නිවාසයේදීය. ජෝති අයියාගෙන් ‘ හොඳ ‘ නාමයක් ලැබුවා නම් ඔහු හෝ ඇය ‘ හොඳ ‘ කෙනෙකුම බව මගේ අත්දැකීමයි. ඉන්පසුව ජෝති අයියාට මා කීවේ ‘ සත්සර’ට ලිපියක් ලියන බවයි.

ඒ අනුව ජෝති අයියාගේ නිවසට දිනක් ෂෙල්ටන් ගෙන්වූ විට මම එම ලිපිය ලිව්වෙමි. ඊළඟට මා යා යුතු වූයේ බ්ලූමැන්ඩල් ‘හි අපේ ‘ සත්සර ‘ පත්‍ර කාර්යාලයටය. ෂෙල්ටන්ගේ මෝටර් බයිසිකලයෙන් ඔහු මා පංචිකාවත්ත පාරට ගෙන ගියේය. එදා සිට ඇරඹුණු අපේ සුමිතුරු ඇසුර ඔහුගේ මරණය දක්වා නොවෙනස්ව පැවතුණේය.


සංගීත ප්‍රසංග සංවිධායකයෙකු හා ගායකයෙකු ලෙස ඔහු ‘ බැබළෙන ගමනක් ‘ යද්දී ඔහුට මගේ පෑනෙන් උපරිම සහය පළ කළෙමි. අප දෙදෙනා අතර වූයේ වෘත්තීය වශයෙන් සමීපත්වයක්ම නොවේ. ‘බොක්කේ යාලු කමකි ‘. ඔහුගේ නිවසේ මා ගෙවූ කාලය අපමණය. ඔහු සමඟ රටපුරා ප්‍රසංග වලට ගොස් එකට කා බී ගෙවූ යුගය සිහිනයකි.

‘සත්සර’ පත්‍රය වෙනුවෙන් මා ලියූ දිගුම ලිපි පෙළ වූ ‘ මීගමු සවාරිය’ සඳහා සියලු මීගමු කලාකරුවන්ගේ නිවෙස් වෙත මා ගියේ ෂෙල්ටන් සමඟය. ඒ ගමන්වල සුන්දර මතකයන් සිතේ මැවේ. ” කුට්ටිදූවේ සලමන් මුදලාලිගේ පුතා ” ලෙස මුළු මීගමුවම හඳුනාගෙන සිටි ෂෙල්ටන් ලංකාවම හඳුනාගත්තේ සිහින් මියුරු හඬකින් ඉතා ලස්සන ගීත ගැයූ ගායකයෙකු ලෙසිනි.

ප්‍රසංග සංවිධායකයෙකු ලෙස ඔහු බොහෝ අයට අවශ්‍ය අවස්ථාවල සහයෝගය දුන්නේය. නිවසෙන් බාහිරව සුවපහසු කොටසක් ඉදිකළේ හිතමිතුරන්ට එහි නැවතී යා හැකි වන ලෙසය. මහ රෑ රට පුරා ප්‍රසංගවලට ගොස් පැමිණ ඇඳන් දෙකට වී තවත් සෑහෙන වේලා කතාකරමින් සිටීම අපගේ සිරිත විය. ඔහුගේ සිනහව හා මිත්‍රශීලී හදවත එවන් මතකයන් අතරින් මේ මොහොතේ මට සිහිවීම නොවැළැක්විය හැකිය. ෂෙල්ටන් සමඟ රෑ ගමන් වලදී ලද බියකරු අත්දැකීම්ද තිබේ.


1989 භීෂණ යුගයේ කුලියාපිටියේ උඩුබද්දාවේ ප්‍රසංගයකට යද්දී ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් තැනින් තැන පාර අවහිර කර තිබුණි. එවන් එක් තැනක ගස් කපා පාර වසා තිබූ අතර අයිනේ පඳුරු හා කැලෑව තුළින් අධිවේගයෙන් වාහනය ‘පන්නා ‘ යළි පාරට දමා ගත්තේය.
මහවැවෙන් බිහි වූ ‘ සන්ෆ්ලවර් ‘ සංගීත කණ්ඩායමට එම නම යොදා පෙරට ගෙනාවේ ක්ලැරන්ස් විජේවර්ධනයන්ය. එමෙන්ම ඔවුන් කොළඹට ගෙන ඒම සම්බන්ධ පූර්ණ ගෞරවය හිමිවන්නේ ෂෙල්ටන් මුතුනමගේ හා මොහාන් පෙරේරාටය.

ඔවුන් කොළඹ ගෙනැවිත් ‘ සත්සර ‘ පත්‍රයේ ලිපිය හා සේයාරූ පළකරවූයේ ඒ දෙදෙනාගේ දායකත්වයෙනි. ඒ අනුව මුල්ම කොළඹ ප්‍රසංගය වූ මොරටුවේ අපේ ‘ සත්සර සංගීත ප්‍රසංගය ‘ සංගීතවත් කිරීමේ අවස්ථාව Sunflower ට හිමි විය.අතීතය ‘ මරා දැමිය නොහැකි නිසා නිවිහිල්ලේ සිතන විට නවක ගායකයෙකුව සිටි රන්ජන් රාමනායකට වුවද ෂෙල්ටන් මුතුනමගේ එදා තමන්ට දැක්වූ සහාය සිහිපත් වනු ඇත.
එච්.එම්. ජයවර්ධනයන් සංගීතවත් කළ ‘ තරු කතා කර අසයි ‘ ගීතය මා රචනා කළේ ෂෙල්ටන් වෙනුවෙනි. හේමසිරි හල්පිට සමඟ මා ලියූ ”ලොවේ සැමා ” ගීතයටද ෂෙල්ටන් ගායනයෙන් එක්විය. බර්ටි ගුණසේකරයන් ‘ ලොවේ සැමා ‘ පිරිස එක් කර ගත් සමූහ සේයාරුවේ මා පෙනී සිටියේද ෂෙල්ටන් සමඟය.


බිරිඳ කමලා සහ එකම දුව වයංගා සමඟ ඉතා හොඳින් ජීවිතය ගොඩ නගාගෙන සිටි ෂෙල්ටන්ගේ ‘ නරක කාලය ‘ උදා වූයේ නොසිතූ ලෙසය. ඔහු දියණියට දැඩිව ආදරය කළ පියෙකි. දරාගත නොහැකි තත්වයන් යටතේ සසලව කඩා වැටෙන්නට පවා පසුගිය කාලේ ඔහුට සිදුවිය.

එහෙත් පසුව ඔහු යළිත් පැහැදිලිව සංගීත කටයුතු කරමින් තමාගේම ගී ප්‍රසංගයක් සියලු කලාකරු සහභාගිත්වයෙන් මීගමුවේදී පැවැත්වූයේ හිතවන්ත ප්‍රේම් ප්‍රනාන්දුගේ සහයෝගයෙනි.

එහෙත් ‘ නරක වකවානුවේ ‘ රෝගී වූ සිරුර පූර්ණ ලෙසම සුවපත් නොවීමෙන් මෙසේ අපෙන් සදහටම සමුගන්නට ෂෙල්ටන්ට සිදුවිය.


ඔහුටම ආවේණික සිහින් හඬක් හා ශෛලියක් තිබූ ෂෙල්ටන් ‘ අනුකරණය කළ නොහැකි ‘ ගායකයෙකි. මිතුරු වෛද්‍ය ප්‍රභාත් යාපා මේ මොහොතේ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි සිටද එය සිහිපත් කළේය.

එමෙන්ම ඔහු ප්‍රතිපත්ති ගරුක බැතිමත් කිතුණුවෙකි. කාන්තා රසික ආකර්ෂණය උපරිමව ලැබූවද පවුල් ජීවිතය ඔහු හොඳින් ගත කළේය. එය බිඳ ගත්තේ නැත. ප්‍රවීණයන්ට ගරු කළේය. මුල අමතක නොකළේය. කොටින්ම තමා මුලදීම මිලදී ගත් ‘ ලාන්සර් ‘ මෝටර් රථය හැමදාම පාවිච්චි කළා මිස අලුත් රියක් ගැන සිතුවේවත් නැත. එසේම ඔහු සිය දේශපාලන මතය කිසිදා වාසියට වෙනස් නොකළේය.


දෙසැම්බර් 29 සුමිතුරු ගායක ග්‍රේෂන් ආනන්දයන් සමුගත් දිනයයි. එය මට අමතක නොවන දිනයකි. මින්මතු දෙසැම්බර් 28 ද අමතක නොවන දිනයක් වනු ඇත්තේ සුමිතුරු ෂෙල්ටන් ගිය දිනය නිසාය.

” උඹව ලේසියෙන් මරන්න බෑ. අපි උඹව මේ ලෝකෙ තවත් ඉතුරු කරන්නේ අපි ගැන ලියන්නයි..” කියා ග්‍රේෂන් මිය යන්නට සති තුනකට පමණ පෙර මට කීය.

සිදු වී ඇත්තේත් එයම නොවේද? මා ඉතිරිව සිටියදී මගේ මිතුරෝ කෙමෙන් කෙමෙන් නික්ම යති. ජීවිතය මෙසේය.හෙට කුමකින් කුමක් වේද ?
” ෂෙල්ටා. මචං. උඹත් එහෙනං පලයන්.කවදා හරි හමුවෙමු.. ” කියා ආදරණීය සුමිතුරාට සමුදෙනු මිස මා වෙන කුමක් කරන්නද?

                                                             - ආනන්ද පද්මසිරි.