භූමදාන අයිතිය ඉල්ලන පිය පුතු දෙදෙනාගේ පා ගමනට උසාවි තහංචි

0
75

messenger sharing button

 මහජන අයිතියට තවත් බාධාවක් පමුණුවමින් නැගෙනහිර පලාතේ පොලිසිය විසින් උසාවිය යොදවාගෙන මුස්ලිම් පිය පුතු දෙදෙනකුගේ සාමකාමී පා ගමනකට තහංචි දමා තිබේ.    එම තහංචිය පනවා ඇත්තේ මුස්ලිම් මළසිරුරු පිළිස්සීමට ආශිර්වාද කරමින් සංඝයා වහන්සේ ප්‍රමුඛ මහ පිරිසක් කොළඹ නගරයේ ඝෝෂාකාරී විරෝධයක් පැවැත්වීමට අවසර දී තිබියදීය.

  වසංගතයෙන් මියයන පුද්ගලයන් බලහත්කාරයෙන් ආදාහනයට විරුද්ධව මොහොමඩ් ෆවුස් සහ ඔහුගේ පුත්‍රයා සුදු වතින් සැරසී මුස්ලිම් මළ සිරුරු භුමදානයේ අයිතිය ඉල්ලා කල්මුනේ සිට අක්කරෙයිපත්තුව දක්වා දෙසැම්බර් 28 දා ආරම්භ කළ ගමන පොලිසිය විසින් සයින්දමරදු හිදී නවතා ඇත.   නිරෝධායන සීමා, මහජන දේපලට හානි පැමිණීමේ අවදානම සහ රථවාහන ගමනාගමනයට බාධා පැමිණීම හේතු කොට දක්වමින් කල්මුනේ පොලිසිය ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අධිකරණය විසින් පනවන ලද තහනම් නියෝගය ලබන අවුරුද්දේ නොවැම්බර් පළමුදා දක්වා වලංගු වෙයි.

  පාගමන අත්හිටුවන ලදුව ආගමික හා මානව හිමිකම් සුරකින ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින සන්දේශයක් ප්‍රසිද්ධියේ කියවීමෙන් අනතුරුව ප්‍රාදේශීය බලධාරීන්ට භාරදෙන ලදී.   මුස්ලිම් ජනතාවගේ භූමදාන අයිතිය ලබා නොදෙන ලෙස බල කරමින් සංඝයා වහන්සේගේ මූලිකත්වයෙන් එදිනම කොළඹ පවත්වන ලද පෙළපාලිය හා උද්ඝෝෂණයට පොලිසිය කිසිදු බාධාවක් කළේ නැත.  

ගෝලීය වසංගතයක් හමුවේ මුස්ලිම්වරුන් ප්‍රමුඛ සුළුතර ජාතීන්ගේ අයිතිවාසිකම් මර්දනය කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වල දෝෂ දර්ශනයට ලක්ව සිටී.  
theleader .lk

Kalmunai 28.12.2020 4