රංජන්ට මන්ත්‍රීධූරයත් අහිමි වෙයි! – ජාත්‍යන්තර අවධානයක්!!

0
61

අධිකරණයට අපහස කිරීමේ චෝදනාවන්ට වරදකරු වී සිරදඩුවම් නියම වීමත් සමග හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වන බව නීතිපති දප්පුල ද ලිවේරා පවසයි.   නීතිපතිවරයා මේ පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක දැනුම් දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළ බව ‘නෙත් නිව්ස්’ වාර්තා කරයි.   අධිකරණයට අපහස කිරීමේ චෝදනාව මත හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට වසර 04ක බරපතල වැඩ සහිතව සිරදඩුවම් නියම වූයේ ඉකුත් 12වනදාය.    “යළිත් වරක් ‘පැරණි අඳුරු යුගයට’ පා තැබීම වැළැක්වීම පිණිස හැකි සියලු දේ කරන්න”  

 116524349 e9373682 e49c 4ad1 add8 0de20369e61c 1

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය සහ නීතියේ ආධිපත්‍යය “බිඳ වැටීම” ගිය සතිය තුළ, දෙස්, විදෙස් අවධානයට ලක්විය.   අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට බරපතල වැඩ සහිතව සිව් වසරක සිර දඬුවම් නියම වෙද්දී, මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) මන්ත්‍රීවරයාට එරෙහි චෝදනා නීතිපතිවරයා විසින් ඉවත් කරගනු ලැබීම සමාජ මාධ්‍ය ජාලවල ප්‍රබල අවධානයට ලක් වී තිබුණි.  

දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීම ‘පිල්ලෙයාන්’ මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වී තිබූ චෝදනාව විය.   2005 නත්තල් දින නත්තල් දේව මෙහෙයකට සහභාගි වෙමින් සිටියදී පරරාජසිංහම් හිටපු මන්ත්‍රීවරයා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ නඩුවෙන් පිල්ලෙයාන් මන්ත්‍රීවරයා ඇතුළු චුදිතයන් පස් දෙනාම නිදොස් කොට නිදහස් කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරන විනිසුරුවන් සහ නීතිවේදීන්ගෙන් සමන්විත ICJ නීති විශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම, යුද සමයේ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත්වීම දැඩිව හෙලා දැක තිබිණ.   

ICJ

    එම වෙඩි ප්‍රහාරයේදී ජෝසප් පරරාජසිංහම් ගේ බිරිඳ ඇතුළු අට දෙනෙකු තුවාල ලැබූහ.   චුදිතයන්ට එරෙහි චෝදනා ඉල්ලා අස්කර ගන්නේ මන්දැයි නීතිපතිවරයා හෙළි කර නොමැති බව පෙන්වාදෙන ICJ (International Commission of Jurists) සංවිධානය, වසර පහකට පසුව චෝදනා ඉල්ලා අස්කර ගැනීම හඳුන්වන්නේ ප්‍රහාරයේ වින්දිතයන්ට එල්ලකරන ලද බරපතල පහරක් ලෙසිනි.  

‘පිල්ලෙයාන්’ නිදොස්කොට නිදහස්කරන ලද්දේ, මේ ආකාරයටම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය පිළිබඳ චෝදනා ලබා සිටි නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු චුදිතයන් පස් දෙනා සිංහල පමණක් කතාකරන ජූරි සභාවක් විසින් නිදහස් කරනු ලැබීමෙන් වසර කිහිපයකට පසුව බවත් නීති විශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම සිහිපත් කරයි.

    ඇම්නස්ටි ජාත්‍යන්තරය  

ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසන්නේ, “ඓතිහාසික අපරාධ සම්බන්ධයෙන් රාජ්‍යයට සම්බන්ධ පුද්ගලයන්ට දිගින් දිගටම දණ්ඩ මුක්තිය හිමි නොවිය යුතු,” බවය.   “වගවීමෙන් තොරව, ශ්‍රී ලංකාවට කිසි දිනෙක මේ අඳුරු පරිච්ඡේදයේ පිටුව පෙරලීමට නොහැකිවනු ඇති,” බවද ඇම්නස්ටි ජාත්‍යන්තරයේ මහ ලේකම්වරයාගේ කාර්යාලයේ අධ්‍යක්ෂ ඩේවිඩ් ග්‍රිෆිත්ස් පැවසීය.   ජෝසප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා ඝාතනය සම්බන්ධ විමර්ශන යළි ආරම්භ කරන ලෙස ද නීති විශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම සහ ඇම්නස්ටි ජාත්‍යන්තරය (Amnesty International) නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියි.   අතීත අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමෙහිලා දේශීය යාන්ත්‍රණ දිගින් දිගටම අපොහොසත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ “දණ්ඩ මුක්ති චක්‍රය නිමා කිරීම සහ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගවීම ඉදිරියට ගෙනයාම පිණිස ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් විය යුතු” බව ද ඇම්නස්ටි ජාත්‍යන්තරය සඳහන් කරයි.  

(උපුටා ගැනීම් – BBC සිංහල සේවය)