වසර 30ක පමණ කාලයක් පිටිපන මාළු වෙළඳපලේ මාළු අදිමින් ජීවත්වූ අජිත් පුෂ්ප කුමාර අවුරුදු 48 ක් පමණ වන විවාහකයෙක්. වයස 46 ක් පමණ වන ඔහුගේ බිරිඳගේ නම රෝහිණී මල්කාන්ති නම් විය. මාළු ඇදීම සඳහා ඔහු සතුව ලෑන්ඩ් මාස්ටරයක් තිබින. ඔහු සතුව පුද්ගලික දේපලක් හෝ නිවසක් නොතිබුනු නමුත් මාළු ඇදීම නිසා අතට මුදලක් ලැබුනු හෙයින් කුලී නිවසක වුවත් සතුටින් තම බිරිඳ සමඟ ජීවන ගමන යාමේ අපහසුවක් නොතිබුනේ තමන් සතු ඉහතකී ලෑන්ඩ් මාස්ටරය නිසාවෙනි.
මෑතකදී දෑසෙහි සුද හට ගැනීම නිසා අජිත්ගේ දෑසම නොපෙනෙන තත්වයට පත්විය. මේ සඳහා කාචයක් දැමිය යුතු වුවත් , තමන්ට ඒ සඳහා මුදලක් නැති බවත්, මීගමු රෝහලේ අදාල සායනයට ද යන බවත් ඔහු පවසයි.
දෑසම නොපෙනෙන බැවින් අද ඔහුට රැකියාවක් කිරීමේ හැකියාවක් නැත. ඒ නිසාම කුලී නිවසක ජීවත්වීමේ හැකියාවක්ද නැත. ඒනිසා දැනට අබලන්ව ඇති තම ලෑන්ඩ් මාස්ටරය මහපාර අයිනේ රඳවා ගත් අජිත් සහ බිරිඳ එය රෙදි කැබලි ආදියෙන් ආවරණය කර නිවසක් මෙන් සකසා තමන් ගේ බල්ලාවද ආරක්ෂාවට යොදා ගනිමින් අළුත් ජීවිතයක් ආරම්භ කරන ලදී.
මේ පිටිපන දේවස්ථානය ආසන්නයේය. මෙහිදී උදව් කරන අය මෙන්ම සමච්චල් කරන සහ තමන්ට නොපෙනෙන නිසා බිරිඳට කරදර කරන මිනිසුන්ද සිටින බව අජිත් සහ ඔහුගේ බිරිඳ මල්කාන්ති පවසයි. තව දින දෙකකින් මෙම ස්ථානයෙන් ඉවත් වියයුතු බවට දුන්ගාල් පිටිය පොලීසියෙන් නියෝගයක් ලබාදී ඇත. නමුත් මේ අය අසන්නේ ඉන්න තැනක් නැත්නම් අපි යන්නේ කොහේටද කියාය.
පිටිපන යනු මානව හිතවාදීන් මෙන්ම දානපතියන් සෑහෙන ප්‍රමාණයක් සිටින ගමකි. එමෙන්ම ජනතා මුදල් නිතර හුවමාරුවන පිටිපන දේවස්ථානයට හෝ මේ පවුලේ අසරණ කම නොපෙනීම කණගාටුවට කාරණයකි. ඔහු ඉල්ලා සිටින්නේ ඉතා සරල දෙයකි. එනම් තමන්ට මුදල් නැති නිසා තම නේත්‍රා යුගලය සුව කරගැනීම සඳහා උදව්වක් කරන ලෙසයි. දෑස් පෙනුනේ නම් සුපුරුදු ලෙස තම රැකියාව කිරීමේ හැකියාවක් ලැබෙන බවද මේ අසරණවූ මිනිසා පවසයි. එබැවින් පිටිපන සිටින මානව හිතවාදියෙකුට හෝ දේවස්ථානයට හෝ වෙනත් දානපතියෙකුට මේ අසරණ වූ පවුලට උපකාර කිරීමට හිතක් පහළ වේවායි අපි පතමු….
සැම්සන් ඥානසිරි