අහනාෆ්ගේ කවිය සහ අපගේ මිලිටරි මනස: රාමසාන් රචනාවක් – ලියනගේ අමරකීර්ති

0
194

 දෙමළ බසින් ලියන ශ්‍රී ලාංකික කවියෙකු වන අහනාෆ් ජසීම් තවමත් ඉන්නේ අත්අඩංගුවේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2020 මැයි 17 වෙනිදා ඔහු අත්අඩංගුවට ගනු ලැබිණි. මේ කවියාට විඳින්නට සිදු වී ඇති වධ බන්ධනය පිටුපස ඇති දේශපාලනය ඉතා පැහැදිලි එකකි. 

එහෙත් ඔහු උසාවියට ඉදිරිපත් කළ විට දිගටම රඳවා තබා ගන්නට කෙරුණු නියෝගය පිටුපස අප කාගේත් සැලකිල්ලට ලක් විය යුතු කරුණු රැසක් තිබේ. කවිය යනු බහුවිධ අර්ථ ඇත්තකි. කවිය යනු අනිශ්චිතාර්ථවත්භාවය සම්පතක් සේ සලකන භාෂා භාවිතයකි. කවිය යනු වක්මගින් කීමක් බව සිංහල අප කවදත් දැන සිටි දෙයකි. අහ්නාෆ්ගේ අත්අඩංගුවත්, ඔහු දිගටම රඳවා තබා ගැනීමත් පදනම් වන්නේ ඔහුගේ කවිය පිළිබඳ රාජ්‍ය බුද්ධි අංශ සහ රාජ්‍යයෙහි අනුමැතිය ලද පරිවර්තකයන් විසින් කරන ලද ඉතා වාච්‍යාර්ථවත් පරිවර්තන මත බව තතු දත්තෝ කියති. 

   අප කාගේත් අවධානයට ලක් විය යුතු කරුණක් මෙහි තිබේ. රාජ්‍යයට අවශ්‍ය ආකාරයට සාහිත්යික රචනා අර්ථකථනය කොට ඒවා ලියූ පුද්ගලයන් දඟගෙයි ලෑම නිර්ප්‍රභූ මුස්ලිම් තරුණයෙකු වෙත පමණක් එල්ල වන තර්ජනයක් නොවීමට ඉඩ තිබේ. දවසෙන් දවස අවුලෙන් අවුලට යන රාජ්‍ය යාන්ත්‍රණයක නීතිය මෙලෙස ක්‍රියා කිරීම ගැන අප වඩාත් සාවධාන විය යුතුය.

  මේ මුස්ලිම් තරුණයා සිරගත කරනු ලැබ තිබීමට විරෝධය පෑම පළමු ක්‍රියාවය. ඔහු මුස්ලිම් නිසා එසේ විරෝධය පෑමට තරම් කැක්කුමක් නැති අය ඔහු සිරගත කිරීම සඳහා භාවිත කර ඇති ක්‍රමවේදයට හෝ විරෝධය පළ කළ යුතුය. ඒ ක්‍රමවේදය වෙත රාජ්‍ය බලය ලැබී ඇත්තේ, රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඒ ක්‍රමවේදය සුජාත වී ඇත්තේ හුදෙකලා මුස්ලිම් තරුණයෙකු දඟගෙයි ලෑමෙන් නවතින්නට යැයි සිතීම දරුණු මුලාවකි.

                                                               විකාර අර්ථ කථන

    ඊටත් වඩා හාස්‍යජනක කාරණය වන්නේ අහනාෆ්ගේ කවි නිසා යෞවන පාඨකයන් මත ඇති කළ හැකි මනෝවිද්‍යාත්මක බලපෑම ගැනද ඊනියා මනෝ විශ්ලේෂකයෙකුගේ විවරණයක්ද රාජ්‍යය විසින් භාවිත කරනු ලැබීමය. අහනාෆ්ගේ කවි තරුණ පිරිසගේ මනස විවිධ ආකාරවලින් දූෂණය කරන්නට ඉඩ ඇතැයි “මනෝවිද්‍යාඥයෙකු” කියා ඇත.

       සාහිත්‍ය කෘතියක මනෝමය බලපෑම ගැන එසේ ඒකරේඛීය විවරණයක් දිය හැකිද? ඔතෙලෝ නාට්‍ය කියවන සහ නරඹන සියලු පිරිමින් තම බිරින්දෑවරුන් ඝාතනය කරන්නට ඉඩ තිබෙන බැවින් ශේක්ෂ්පියර් සිරගත කළ යුතු යැයි එකල නියම වී නම්? මඩොල් දූවේ එන පුංචි පුංචි කොලුකම් නිසා යෞවන මනස් දූෂණය වේ යැයි මාර්ටින් වික්‍රමසිංහ දඟගෙයි ලූවේ නම්? පුරුෂ ලිංගයක් සේ නැගෙන්නට ඉඩ දියෝ කී පරාක්‍රම කොඩිතුවක්කුගේ කවිය සියලු පුරුෂ ලිංගවල කැරලිකාරී නැගීමට තුඩු දෙන්නේ යැයි සිතා ඒ කවියා හිරේ දැම්මේ නම්?

අහනාෆ්ගේ කවි හිංසනය ප්‍රවර්ධනය කරන බව කියවුණද ඒ කවි හොඳින් දන්නා අය පවසන්නේ ඔහුගේ කවි සැබැවින්ම හිංසනයට විරුද්ධ බවය. මා මිතුරු මහාචාර්ය එම්. ඒ. නුහ්මාන් විසින් දෙන ලද දිවුරුම් ප්‍රකාශයකින් කියවෙන්නේද අහනාෆ්ගේ කවි හිංසනය ප්‍රවර්ධනය කරන නොකරන බවය. ලංකාවේ මුස්ලිම් ප්‍රජාව අතර සිටින ජ්‍යෙෂ්ඨම කවියෙකුද ප්‍රගතිශීලියෙකුද වන ඔහුගේ දිවුරුම් ප්‍රකාශය පමණක් වුවද ඉතා හොඳ විනිශ්චයකි. 

ඔහුගේ ඇතැම් ඉතා අහිංසක උපදේශ කවි වැනිය. ඒවා දෙමළ බසින් පවා කලාත්මක වශයෙන් උසස් කවි නොවන බව ඒ ගැන දන්නා අය කියති.

මේ එක කවියක එන කොටසකි.

මත කුමටද 

හානියකි එය අපට

දුරාචාරය කුමට

හානියකි එය අපට

නුඹේ ඉන්ද්‍රියන් පාලනය කරනු

නුඹේ ගර්වය පාලනය කරනු

නුඹේ අහංකාරය පාලනය කරනු

නුඹේ නැමෙන දිව පාලනය කරනු

ගැටුම් ඇත්නම්

ප්‍රමාද කරනු

අවි ගත්තා අවියෙන්ම නැසේ

දැවෙන අපට යුද්දයක් ඇත

අවි නැත

අක්ෂරය අපේ අවියයි

  මේවා උසස් කවි යැයි මම නොසිතමි. මේ රචනය ලියන මේ රාමසාන් දවසේත් මගේ පසෙකින් හිස් වෙමින් පවත්නා බ්‍රැන්ඩි වීදුරුවක් තිබේ. එහෙත් මේ කවියා දෙන සදූපදේශවලට සවන් දීමට මා සූදානම්ය. එසේම ඒ කවියෙහි අවසන් කොටස සමග මමද එකඟ වෙමි. සැබෑ වශයෙන්ම නිදහස් ලංකාවක් පතන අපට යුද්දයක් ඇත. ඒ දූෂිත, අමනෝඥ පාලකයන් සමගය. ඔවුන්ගේ නායකයන් වන අධිරාජ්‍යවාදී බලවේග සමගය. එහෙත් අපට ඇති ආයුධය අක්ෂරයයි. මමද අක්ෂරය නමැති අවිය භාවිත කරන්නෙක් වෙමි. ඒ නිසා අහනාෆ් සිරගත වී ඇත් නම් මාද සිටිය යුත්තේ එහිය.

මේ ඔහුගේ තවත් කවියකින් කොටසකි.

ලේ ගැලීම්

ජල ගැලීම්

ගං ගැලීම් ආදියෙන් පීඩා විඳින

මිනිසාට දන්පින්දී අසල්වැසියන් සමග

සහයෝගයෙන් ජීවත් වන්නට පුරුදු වව්

මේවා උසස් කවි නොවේ. උසස් අදහස්ය. මේ අදහස් ප්‍රකාශ වී ඇති දෙමළ කවිතාවද කිවයුතු තරම් උසස් නැතැයි දෙමළ විශේෂඥයෝ කියති. එහෙත් උසස් නැති කවි ලියන ආධුනික කවීන් සිරගේ ලන්නේ නම් සිංහල බසින් සාහිත්‍යකරණයෙහි යෙදෙන මාද ගෙයි සිටින්නට ඉඩ තිබේ. මටත් කලින් සිරගෙදර යා යුතු අය සිටිති.

 මේ සියලු දේ අදහස් ප්‍රකාශනයෙහි නිදහස ඇති සිවිල් මහජන අවකාශයෙහි සංවාද කළ යුතු දේය. අහනාෆ් සිය සාහිත්යික රචනා තුළ හිංසනය අගය කරන්නේ නම්, එය පවා නිදහස් මහජන අවකාශයෙහි සංවාද කළ යුතු දෙයකි. අවි ගෙන නැගීම අගය කරමින් සිංහලයෙන් කවි ලියන අය සිටිති. 

                                           දෘෂ්ටිවාදී සීමා

    අහ්නාෆ් මෙසේ සිරගත කර සිටීමත්, එහිලා රාජ්‍ය භාවිත කරන ක්‍රමවේදත් පිළිබඳ මගේ විරෝධය පළ කරන අතරම ඔහුගේ කවියෙහි එන ඇතැම් දෘෂ්ටිවාද අතින් මා ඔහු මිතුරකු සේ සලකන්නේ නැත. දෙමළ භාෂාව සහ සාහිත්‍ය පිළිබඳ දන්නා මගේ ඉතා උගත් මිතුරන් හා කළ සංවාදයෙන් මා දැනගත් හැටියට අහනාෆ්ගේ ඇතැම් කවිවල , ස්ත්‍රීවිරෝධී අදහස් පිරී ඇත. ඒ අතින් ඔහු ලංකාවේ මුස්ලිම් ප්‍රජාව සහ මුස්ලිම් පිරිමියා තුළ ප්‍රගතිශීලි අදහස් ඇති කරන්නට දායක වන්නෙක් නොවේ. ලංකාවේ මුස්ලිම් ප්‍රජාව තුළ ආගම්වාදී ගතානුගතික ඉගැන්වීම් පමණක් පැවතීම ප්‍රමාණවත් නැත. මානව විමුක්තිය සම්බන්ධයෙන් පහළ වී තවත් නොයෙක් දැනුම් පද්ධති තිබේ. ඒ නිසා ඔහු වැනි පුරුෂෝත්තමවාදී සහ පුරුෂ කේන්ද්‍රීය චින්තකයන් සමග මා සිංහල සමාජයේ දී පවා පවත්වන්නේ ඉතා දුරස්ථ සම්බන්ධයකි. 

       එසේම ලංකාවේ රාජ්‍යය යනු ස්ත්‍රී විරෝධීන් අත්අඩංගුවට ගන්නා හෝ ස්ත්‍රී විරෝධීන්ට එරෙහිව නඩු පවරන හෝ රාජ්‍යයක් නොවේ. එසේ වූයේ නම් සිංහල ලේඛකයන් බොහෝ දෙනෙකුද සිටිය යුත්තේ හිරගෙදරය.  අනෙක, පුරුෂෝත්තමවාදය සමග කොයි සමාජයේත් පැවතිය යුත්තේ මතවාදී අරගලයක් මිස දඟගෙයි ලෑමක් නොවේ. එය රාජ්‍යයෙහි කාර්යක් නොව සිවිල් බුද්ධිමය අවකාශවල සිදු විය යුත්තකි. 

   එහෙයින් අහනාෆ්ට අත්වී ඇති ඉරණම මගේ විරෝධය මෙවැන්නකි. ඉතා ගතානුගතික අදහස් ඇති කවියෙකු පවා කවිය නමැති අඩවියෙහි පළ කරන අදහස් අතිසරල ලෙස නිර්වචනය කොට කවියා සිරගෙයි ලෑම වැරදිය. ඒ ක්‍රමයට කවීන් අත්අඩංගුවට ගැනීමෙන් ඇති වන පූර්වාදර්ශ ඉතා භයානකය.     ත්‍රස්තවාදය සමග කිසිදු සෘජු සම්බන්ධයක් නැති තරුණයෙකු ඔහුගේ කවියක එන වක්‍රෝක්තිමය ප්‍රකාශයකින් හිංසනයට දිරි දෙන්නේ යැයි මොහොතකට සලකමු. එවිට පවා ඔහු සිරගත කිරීම, රාජ්‍යයෙහි දණ්ඩනයට ලක්වීම ශිෂ්ට සමාජයක සිදු විය යුතු නොවේ.   කවරාකාර හෝ හිංසනයකට ඔහු සෘජුව සම්බන්ධ නම් විනිවිදභාවයෙන් යුතු නීතිමය ක්‍රියාවලියක ඔහුට මුහුණ දෙන්නට සැලැස්වීම වෙනම කාරණයකි
ලියනගේ අමරකීර්ති