වෙඩි කන්ද….

0
218

මුන්නක්කරයේ තියෙන වෙඩිකන්ද කියන දුපතේ ඉතිහාසය කොයි වගේ ද ?
ඕලන්දක්කාරයෝ තමයි මේකේ ඉදලා තියෙන්නේ. ඒ ගොල්ලන් වෙඩි තියන්න පුහුණු වෙන්නත්, ආරක්ෂක ස්ථානයක් හැටියටත් මේක යොදාගෙන තියෙනවා. ඒ වෙඩි තියපු ඒවායේ ඉතුරු කෑලී තවම අපි ළග තියෙනවා. ඒ අය මේකේ ජීවත්වෙලා ඉදලා තියෙනවා.
ඒවායේ අත්තිවාරම් අපිට හම්බවෙලා තියෙනවා. තව යකඩ තහඩුත් අපිට හම්බවුනා. මේක ඒ දවස්වල හද්ද කැලේ.
අපේ මාමණ්ඩියගේ තාත්තා (එව්ජින් පෙරේරා) මේක එයාගේ පුතාට භාර දීලා අලූත්කූරුවට ගියා. එයාගේ පුතා තමයි .. රොමෙල් පෙරේරා. එයා ඉපදුණේ 1924. එයා තමයි ඊට පස්සේ මේක බලා කියාගෙන හිටියේ. එයා මේ දුපතට හරි ආදරෙයි. මේක වටේට කඩොල් ගස් වවලා. මේක ලස්සනට තියාගෙන හිටියා.
ඊට අමතරව වෙන ඵෙයිතිහාසික සිදුවීම් මොනවද ?
මේක ඕලන්දක්කාරයෝ  හිටපු එක කියලා තමයි අපි දන්නේ. ඊට පස්සේ වෙච්ච සිදුවීම් මොනවාවත් අපේ තාත්තා අපිට කියලා නෑ.
දුව හැටියට ඔයාට තාත්තා ගැන තියෙන මතකයන් මොනවාද ?
තාත්තගේ බාප්පලා, මහප්පලා කටිටියම මේ කන්දට එහා තිියෙන කන්දේ තමයි ජිවත් වුනේ. මේ වෙඩිකන්දේ ඉදන් දැන් තියෙන මොනාකෝගම දක්වා කදු හතක් තිබිලා තියෙනවා. මේ එක එක කදුවලට තමයි වෙඩි තියලා තියෙන්නේ.
රොමෙල් පෙරේරා ඒ දවස්වල බලාගත්ත විදිහ ගැන කථා කළහොත්….
මෙයාලගේ තාත්තා මෙහෙ ඉන්න ඇවිල්ලා මේවා ඔක්කෝම ප්‍රතිසංවිධාන කළා. ඒ දවස්වල මේ ඔක්කෝම තිබුණේ කෑලෑව. ඒවා ඔක්කෝම කපලා දාලා මේවායේ කඩොලාන වැවුවා. කඩොලාන මස් අතු වලට ගත්තත් හානියක් නැති විදිහට තමයි අරන් තියෙන්නේ. අපිත් එහෙම තමයි. රජයෙන් සෑහෙන්න අනුකම්පාවක් දක්වනවා අපි මේ කරලා තියෙන වැඩපිළිවෙලට .
රොමෙල් පෙරේරා මේ දුපතේ පදිංචි වෙන්න රජයෙන් නිළ ප්‍රකාශනයක් කරලා තියෙනවද ?
ඔව්. එගොල්ලෝ සෑහෙන්න කාලයක් වරිපනම් ගෙවලා තියෙනවා. අපි ආවට පස්සේ වරිපනම් දැන් ගෙවන්නේ නෑ. මොකද අපි වනජීවි එකට සම්බන්ධ වුනානේ.  අපිට මෙහෙ ඉන්ඩ පුළුවන්. අපේ මාමණ්ඩියා ඉන්න කාලේ  එයා ළග බලපත්‍ර තියෙන තුවක්කු 2ක් තිබුණා. මේක ආරක්ෂා කරන්න. ඒවාට මොනවා වුනාද කියලා දන්නේ නෑ.
=– ඊට පස්සේ රොමෙල් පෙරේරාට මොකද වුනේ ?
එයා රාගම ඉස්පිරිතලේට ඛෙහෙත් ගන්න ගිය ගමන් තාමත් නෑ. මොනවා වුනාද කියලා අපි දන්නේ නෑ. අපි මිනි කාමරවලත් බැලූවා. හැමතැනම බැලූවා. අපිට හොයා ගන්න බැරි වුණා.
ඒ කාලේ වෙච්ච සිදුවීම් මොනවාද ?
ඒ කාලේ මේ වත්තට කිඹුල්ලූ ආවා. ඉත්තෑවෝ ආවා. ඊට පස්සේ මොනවා වුනාද කියලා දන්නේ නෑ. මෙයාලගේ තාත්තා කිඹුල්ලූන්ට වෙඩිත් කියලා තියෙනවා.
මේ දුපතේ ඉඩ ප්‍රමාණය කොච්චර වගේ ද ?
අක්කර දෙකයි. ඉස්සර තිබුණාට වැඩියෙන් දැන් පස් හේදීලා ගිහිල්ලා ටික ටික අඩු වෙලා.
මේ දුපතේ පදිංචියට ඔයාලගේ දරුවෝ එන්නේ නැද්ද ?
මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. ඒ අයටත්  දරුවෝ ඉන්නවා. ඒ අය ඉදලා හිටලා මෙහාට එනවා. පදිංචියට ඇවිත් නෑ. එයාලාට මේ ළග ම තමයි ගෙවල් තිියෙන්නේ. අපි දෙන්න මේක බලා කියාගෙන ඉන්නවා. මස් අතු ටිකක් දාගෙන කීයක් හරි හොයාගෙන අපි ජීවත් වෙනවා. වෙන කිසිම උදවුවක් අපිට නෑ.
මේක ඵෙයිතිහාසික දූපතක්. මේක ඔයාලා ආරක්ෂා කරගෙන ඉන්නවානේ. එතකොට එකට ගමෙන්  ලැබුණු දායදය මොකක්ද ?
අපිට හොදත් ලැඛෙනවා. නරකට තියෙන්නේ මෙච්චරයි. අපි මේකේ නැති දවස්වලට මේකේ තියෙන වගාවන්වලට අලාභ කරනවා. මේ කඩොලාන ගස් රජයෙන් පිළිගත්ත වගාවක් නේ. අපට හොරෙන් ගෙවල් හදන්න, විකුණන්න, මේවා කපලා කොටලා දානවා. හැමෝමත් නෙවෙයි. එක්තරා කොටසක් විතරයි. අපි කඩේකට, රස්සාවකට ගියා ම මේකේ තියෙන කුරුම්බා ටිකයි, පොල් ටිකයි හොරෙන් කඩාගෙන යනවා.
– පහුගිය සුනාමි අත්දැකිම කොයි වගේ ද ?
සුනාමිය අපු  දවස්වල කලපුවේ මේ හරියේ වතුර ඔක්කෝම හිදිලා ගියා. පොඩ්ඩක් වත් පෙනෙන්න තිබුන්නෑ. අපි මේක ගනන් ගත්තේ නෑ. පස්සේ අපේ බෑනා ඇව්ත් තමයි අපිව එක්කන් ගියේ.  අපි උයපු බත් එකත් දාලා දිවුවේ. ඊට පස්සේ දවස් කීහිපයක් ම මේකේ හිටියේ නෑ. ඒ ඉදලා එනකොට මෙහෙ තිබුණු ගස් ඔක්කෝම පාළු කරලා. අපේ ගෙදර තිබුණු පිහිය, පොරව, උදලූ ඔක්කෝම අරගෙන ගිහින් තිබුණා. අපේ ගන්න ගොඩාක් බඩුමුට්ටු අපි මෙහෙ තියලා නෑ. ඒවා ඔක්කෝම අපේ දුවලාගේ ගෙදර තියලා තියෙනවා. අපි දන්නවනේ මෙහේ තත්තවය. අපි රැටත් ඉන්නේ මෙහේ තමයි. අපේ මාමණ්ඩියා ඉන්න කාලේ ඉදන් මෙහේ ඉන්නවා. දැන් අපිට පුරුදුයි. හොරු රැට නම් එන්නේ නෑ. දවල් තමයි ඔක්කෝම සෙල්ලම් තියෙන්නේ. දැන් අපි මඤ්ඤොක්කා වගා කරන්නේ නෑ. මොකද ඒවා ගලවගෙන යනවා. ඉස්සර අපි කොච්චර වගා කෙරුවද ?
මේ දූපතට යම් ඵෙතිහාසිකත්වයක් තියෙනවා. මේක ගැන ලිවීමක් කරලා තියෙනවද ?
අපි ලියලා නම් නෑ. අපි දන්න වචන මෙහෙම කියාගෙන යනකොට ලියවෙලා වගේ තමා. ඒ කියන්නේ මේකට එක එක ආයතන එනවානේ. වනජීවී එකේන් එනවා. නාරා ආයතනයෙන් එනවා. ඒ අයගේ පොත්වල ලියැවෙලා ඇති. අපි නම් ලියලා නෑ. කොහොමහරි මේක ගැන ලියැවුනා නම් හොදයි.
– දුපතේ ඉන්නකොට රටේ ලෝකේ වෙන දේවල් ගැන කොහොමද දැනගන්නේ ?
මම ඉස්කෝලේ යන කාලේ ඉදන් පොත්, පත්තර බලන පුරුද්ද තිබුණා. ඒක මට අත්හරින්න බැරි පුරුද්දක්.
කොයිවෙලේ හරි ගොඩබිමට ගියොත් පත්තරයක් ගෙන්න ගන්නවා. රටේ ලොකේ වෙන්නේ මොනවාද කියලා අනිත් අයට වැඩියෙන් කැලේ ඉන්න මම දන්නවා. මේ ගමේ ගෙවල් සීයයකින් පත්තර බලන ගෙවල් ඇත්තේ 5ක් නැත්තම් 10ක් තමයි. මම වතුරේ පාවෙලා එන පත්තර කෑල්ලක් හම්බවුනොත් ඒක අරන් ඇවිත් වේලලා මම කියවනවා.
– ඔයාල බොන්න වතුර කොහෙන්ද අරගන්නේ ?
අපි ගොඩබිමට ගිහිල්ල වතුර අරන් එනවා. ධීවර අමාත්‍යාංශයට කියලා බොහෝම අමාරුවෙන් පරණ ඔරුවක් හම්බවුනා. ඒක පැච් දාලා අරගෙන තමයි දැන් පාවිච්චි කරන්නේ. අපිට හරිහමන් ඔරුවක් වත් නෑ. අපි බොහෝම අමාරුවෙන් ජීවත් වෙනවා.

මේරි ජෙනට් – ඇන්ටනි ප්‍රනාන්දු අයත් සමගින් කරන සාකච්ජාවක් ඇසුරින් සැකසුණි.උපුටා ගැනිම මීපුර පුවත්පත