මීගමු කලපුව වනසන්නෝ වෙරළ සංරක්ෂණයේ දැලට කොටුවෙති.

0
97

    මීගමු කලපුව අනවසරයෙන් ගොඩ කිරීමේ වරදට මීගමුව  උසාවියේදී වැරදි කරුවන් වූ කරවල ව්‍යාපාරිකයින්  තිදෙනෙකුට  දඩ ගෙවීමටත් , ⁣තමන් ගොඩකළ  ප්‍රදේශ හාරා ඉවත් කිරීමටත්  නියෝග කරන ලදී . එසේ නොකළහොත් ඔවුන්ට බරපතල  වැඩ සහිතව සිර ගතවීමට සිදුවන බවත් උසාවිය තවදුරටත් තීරණය කර ඇත .
මෙම නඩු පැවරිම කර ඇත්තේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

මේ පිළිබඳව අදහස් දැක්වූ මීගමුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ නිලධාරී සමරසේකර මහතා ප්‍රකාශ කළේ කොවිඩ් වසංගත කාලය තුළ මෙම අනවසර ගොඩ නැගීම් සියල්ල සිදුකර ඇති බවයි. මෙහිදී ඔවුන් කර ඇත්තේ කලපු ජලය ගොඩනැගිලි අපද්‍රව්‍ය වලින් වසා ගොඩකරමින් මාර්ගයක් සැකසීමය. ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ කිසිදු නිලධාරියෙකුට ඊට එරෙහිව පියවරක් ගැනීමට ඉඩක් නැති තත්ත්වය දඩමීමා කර ගනිමින් මෙම ක්‍රියාව සිදුකළ බවය. එසේම ඔවුන් මාර්තු මස විමසා බලනවිට මෙවැනි ගොඩ කිරීමක් දක්නට නොවූ බවත්, මෙම ගොඩ කිරීම සිදුකර ඇත්තේ ජුනි, ජූලි යන මාසවල බවත්ය.
ගොඩ කිරීමේ වැරැද්ද පිළිගත් තිදෙනාගෙන් දෙදෙනෙකුට රු.10,000/බැගින් දඩ ගෙවීමට නියමවූ අතර ඔවුන් තමන් ගොඩකළ ප්‍රදේශයේ පස් ඉවත් කර ගැනීමට කැමැත්ත පළ කරන ලද නමුත් අනෙක් තැනැත්තා ඊට කැමති නොවූ බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අප සමඟ පැවසීය .ඔහුට නියමව තිබුණේ රු. 15000/ ක දඩ මුදලකි.
මේ අනුව අද හාරා ඉවත් කරන ලද්දේ ඔහු කලපුව ගොඩ කරමින් සකසා තිබුණු මාර්ගයයි.
මීගමුව , මංකුලිය ප්‍රදේශයේ මෙම ස්ථානය පිහිටා ඇත්තේ දරුවන් ක්‍රීඩාකරන පිට්ටනියකට යාබදවය. මේ ස්ථානය මාළු කපා ඉවතලන අපද්‍රව්‍ය නිසා සහ ඊට වැසි වතුර ද එකතුවී මිහිපිට අපායක් සේ දිස්වෙයි . ගොඩගසා ඇති අපද්‍රව්‍ය මළුවල පනුවන් දඟලන ආකාරයද දැකගත හැකිවිය . ඉදිරියේදී මෙවැනි ස්ථාන ගැන විමසා බලා නීතියෙන් දැඩි දඬුවම් ලබාදීමට කටයුතු යොදන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසීය .

මෙම මෙහෙයුම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ නිලධාරී සමරසේකර මහතා ඇතුළුව, කේෂේත්‍ර නිලධාරී ධනුෂ්ක රත්නායක සහ කසුන් සුසිල් චන්ද්‍ර යන මහත්වරුන් ද මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, ඉඩම් නිලධාරී මාධව මහතා , රාජිත මහත්මිය යන මහත්ම මහත්මීන් සහභාගි විය.
සැම්සන් ඥානසිරි