ජිවිතය සිතුවම් කළ කලාකරුවා

0
404

ඔහු  මීගමුව, පිටිපන පදිංචි   ඉතා දක්ෂ චිත‍්‍ර ශිල්පියෙකි. පිටිපන ශා. මරියා දෙව්මැදුරේ වාර්ෂික මංගල්‍යය නිමිත්තෙන් පැවැත්වෙන පෙරහැරේ තොරන නිර්මාණය වී තිබුනේ ඔහු අතිනි. පිටිපන දේවස්ථානය ඉදිරිපිට සිට බසියාවත්ත දක්වා සාදන තොරන වල චිත්‍ර ඇන්දේද ඔහුය.
ඔහු නමින් දෙහිවලගේ ඩේවිඩ් පෙරේරාය.
මේ වනවිට ජීවිතයෙන් සමුගෙන ඇති  මේ චිත්‍ර ශිල්පියා සමග 2007වසරේදී  මීපුර පුවත්පතට කළ සම්මුඛ සාකච්ඡාවක් සිදුකරන ලදී. මාරි ජීවනී ප්‍රනාන්දු විසින් කළ එම සටහන පහත පළවේ.

ඔබ චිත්‍ර ඇඳීම ගුරුවරයෙකු යටතේ ඉගෙන ගත්තාද ?
කිසිම කෙනෙකුගෙන් ඉගෙනගත්තේ නැහැ. මෙය මට සහජයෙන් පිහිටා තිබෙන දෙයක්. පාසැල් යන කාලේ පාඩමට අදාලව චිත්‍ර ඇන්දා ඒ හැර විශේෂයෙන් ඉගෙන ගත්තේ නැහැ.
ඔබ ඉගෙන ගත්තේ මොන පාසැලේද ?
මම ඉගෙන ගත්තේ පිටිපන මහ විද්‍යාලයේ, 9 වන ශ්‍රේණිය දක්වා පමණයි. ඒත් මම සිරිනස් එන් බන්ඩාර ගුරුතුමා යටතේ ඉගෙනුම ලබලා ප්‍රයිවෙට් ‘‘  ඕ ලෙවල් ’’ විභාගය ගත්තා. අද මම යම් තැනක ඉන්නවා නම් එහි ගෞරවය හිමිවිය යුත්තේ මගේ ආදරණීය ගුරුතුමා සිරිනස් එන්. බන්ඩාර ගුරුතුමාටයි.
ඔබ චිත්‍ර ප්‍රදර්ශන  පවත්වලා තියෙනවද….. ?
කවදාවත් නැහැ.

මොකද මම වැඩිපුරම ඇන්දෙ ආගම පැත්තට බර චිත්‍ර. තොරණ වාගේ දේවල්. ඊට අමතරව මට කෙනෙක් දිහා බලාගෙන ඔහුව හෝ ඇයව එ් අයුරින්ම ඇඳීමේ හැකියාව තිබෙනවා.
ඔබ පිටිපන ප්‍රදේශයේ පමණක්ද තොරණ ඇඳලා තියෙන්නේ ?
නැහැ. මම අනෙක් ප්‍රදේශ වලත් තොරණ ඇඳලා තිබෙනවා. පිටිපන, මහවැව, කුදිප්පාඩුව, දඵපත, වැල්ලවීදිය, කටුවපිටිය යන ප්‍රදේශවල තොරන නිර්මාණය කරලා තිබෙනවා. ඒ වගේම දේශපාලන පිළිගැනීම් වලදීත් මම සමහර අවස්ථාවල තොරන නිර්මාණය කළා.

වෙනත් ආගමීක තොරණ ඇඳලා තිබෙනවද ?
ඔව් මම බෞද්ධ තොරණ ඇඳලා තිබෙනවා. බෞද්ධ තොරණ ඇඳීමේදී වෙනස් වෙන්නේ සංස්කෘතික වෙනස්කම් හඳුණා ගැනීම පමණයි. වෙනත් විශේෂ දෙයක් නැහැ.

තොරන නිර්මාණයේදී සිදුව ඇති රසවත් සිද්ධි මොනවාද ?
කිහිපයක් තිබෙනවා එ්වා රසවත් වගේම සුවිශේෂි සිද්ධි. මම ඒ කාලේ සේවය කළේ සී. ටී. බී. එකේ අකුරු ලියන්නෙක් හා පේන්ටින් කෙනෙක් විදිහට. මම කවදාවත් මා තුළ තිබුණ හැකියාව පෙන්නන්න උත්සහා කළේ නෑ. මම උඩුබද්දාව ඩිපෝවේ වැඩකරන කාලේ උඩුබද්දාවට අල්ලපු ගමේ විද්‍යාලයක් විවෘත කිරීමකට තොරණක් ඇඳීමට අවශ්‍ය වෙලා තිබුණා. එතකොට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා තමයි උත්සවයේ ආරාධිත අමුත්තා. ඩිපොවෙන් තමයි තොරණ කරනන් යෙදුනේ. ලොකු මහත්තයට අපේ බාස් මම ගැන කියලා තිබුනා. ම මට අඳින්න බැහැ කිව්වම පිස්සුද ඔයාට පුඵවන් අඳින්න කිව්වා. තොකු රවුමක ජේ. ආර්. මහත්තයගේ  රූපය අඳින්නයි තිබුනේ. උදේ 8.00 ට අත්සන් කරලා මම චිත්‍රය අඳින්න ගත්තා. හරියටම දවල් 12.00 වෙද්දි මම චිත්‍රය ඇඳලා නිමකළා. පුදුමෙ එ්ක නෙමෙයි. ජේ. ආර්. මහත්තයගේ හිසේ එක පැත්තක ඉදුනු හිසකෙස් දෙකක් තිබෙනවා. ඒ හිසකේ මගේ චිත්‍රය හොඳින් ග්‍රහණය වී තිබීම හැමොටම හිතාගන්න බැරිවුණා. මට ගොඩක් ප්‍රශංසා ලැබුණා.
එ් චිත්‍රය ඊට පස්සේ ගම්මාන හයක පමණ තොරණට ගෙන ගියා. අවසානයට ගෙනාවේ මීගමුවට. මීගමුවේ යූනියන් එක ළඟ ජුකී මැෂින් අංශය විවෘත කිරීමේ උත්සවය සඳහා.
ඒ වගේ ම මම අඵත්කූරුවේ තොරණකට පිටිපන දේවස්ථානයේ අල්තාරය ඇන්දා එදා දවල් මිනිස්සු රැවටුණා. ඒක අඹපු නිර්මාණයක් කියලා. සමහරු අල්තාරේ උඩ මල් පෝච්චි තියන්න කතා වුණා. සමහරු සයිඞ් එකෙන් පෑෂ් ලයිට් එකක් ගහන්න කථා වුණා. මට අල්තාරයේ කටු සටහනට ගියේ පැය භාගයයි. අපේ පල්ලියේ සුවාමි පවා තොරණෙ දැකල පුදුම වෙලා තිබුණා. සමහරු එය චිත‍්‍රයක් කියලා පිලිගත්තෙම නෑ. ඉතිං එවැනි සිද්ධි නම්  ඕන තරම් මගේ ජීවිතේ තිබෙනවා. මා මා ගැන උදම් අනනවා නෙමෙයි. මෙය මට දෙවියන්ගෙන් ලැබුණ විශේෂ වරමක් කියලා මම සිතනවා.

ඔබේ දරුවන්ට චිත්‍ර ඇඳීමේ හැකියාව තිබෙනවාද ?
ඇත්තෙන්ම ඔව්. මගේ දුවල තිදෙනාටම පුඵවන්. මගේ දෙවනි දුව ස්වර්ණ ලතා කවීෂ්වර මහත්මිය යටතේ සංගීතයත් හැදෑරුවා. ඇයට හොඳින් ගීත ගායනා කරන්නත් පුළුවන්. ඔවුන් දැන් විවාහකයි. ඔවුන්ගේ හැකියාත් එතැනින්ම ඉවර වුණා.
ඔබේ විනෝදාංශ සහ වෙනත් හැකියාවන් ?  
චිත්‍ර ඇඳීම තමයි ඉතින් විනෝදාංශය.මට හොඳින් ඩෝලක්කිය සහ බටනලාව වාදනය කරන්න පුඵවන්.
විශේෂ යමක් කියනවා නම් ඔබ ගැන ?
විශේෂයෙන් කියනවා නම් කලාකරුවෙක් අවංක විය යුතුයි නිහතමානී විය යුතුයි. ඒ වගේම ආගම දහමට ගරු කළ යුතුයි. හොඳ ඉවසීමක් තිබිය යුතුයි. මම උපතින්ම කතෝලිකයෙක් එ්ත් හැම ආගමකටම ගරු කරනවා. මම බුදුන් දෙසූ දහමට කැමැත්තක් දක්වනවා. මට ආගමට දක්වන ගරු බිය මට ආශිර්වාදයක් ලෙස මම දකිනවා. මම චිත‍්‍රයක් අඳින්නට පෙර පහන තියලා දේව ආශිර්වාදය ඉල්ලනවා. දැන් මගේ වයස අවුරුදු 63 යි. අදටත් චිත්‍ර අඳිද්දී මගේ අත වෙව්ලන්නේ නෑ. ඇස් පෙනිමේ අඩුවක් නෑ. මම ආශ්‍රය කළේ කලාකරුවෝ හොඳ හැකියාවන් තිබුණ අය. එ්ත් ඔවුන් ජීවිතයේ මැදි වියේදී නැතිවුණා. ඔවුන්ගේ හැකියාවන් වළින් ප්‍රයොජන ගන්න බැරිවුණා. ඒත් අදටත් මම ජිවත් වෙනවා. තව දෙයක් මට පාට සංකලනය කිරීමේ විශේෂ හැකියාවක් තිබෙනවා. වෙන කෙනෙකුගේ චිත්‍රයක වුනත් භාවිතා කර ඇති පාට කියන්න පුඵවනි.

මීට පෙර පුවත්පතකට ඔබේ තොරතුරු පලකර තිබෙනවාද ?
ඥානාර්ත පුවත්පතේ චිත්‍ර  අඳින පිංතූර   පළකර තිබුණත් මෙවැනි තෙරතුරු අරගෙන නැහැ. අප වැනි කළාකරුවන් ප්‍රසිද්ධ වනවට අකමැති අයත් ඉන්න පුඵවනි. මම කාටවත් දොස් කියන්නේ නෑ. හැම තැනම ඇති කැපිලි මටත් නැති වෙන්න බැහැ. ඒ වුනාට මගේ කිසිම කෙනෙක් එක්ක තරහක් නැහැ මට උදව් කරන පිරිසකුත් ඉන්න නිසා.

මෙම නිහඬ නිහතමානී කලාකරුවා ඉතා වටිනා වස්තුවක් සේ මම දකිමි. ඔහු මා හා කතා බහට එක්වුනේ පුදුම සතුටකිනි. ඔහුට ඇත්තටම එය ප්‍රීතිමත් අවස්ථාවක් වුණා. ඔහු ඔහුගේ  අත්දැකීම් බොහොමයක් මා හා පැවසුවා. එයින් විශේෂම අවස්තා මා මෙහි සටහන් තබමි. ඔහුට සුභ අනාගතයක් හා තවත් දිගුකලක් ජීවත් වීමට ආයුෂ ලැබේවායි මගේ ප්‍රාර්ථනාවයි.-
2007 නොවැම්බර්
සටහන-  ජීවනි ප්‍රනාන්දු.