පිටිපන දියර පොහොර කම්හල වෙනුවෙන් ජනතාව ගොනාට අන්දවන බලධරයෝ….

0
51
පිටිපන ගමක් මැද මාළු අපද්‍රව්‍ය පල්කරමින් පොහොර නිපදවීමේ කම්හලක්  ආණ්ඩුවේ වුවමනාවට ක්‍රියාත්මක වෙමින් පවතී. ඒනිසා  පරිසරයට සහ ඒ අවට ජීවත්වන මිනිස්සුන්ට මේ මගින් හානියක් මිස  කිසිදු යහපතක් සිදු වන්නේ නැත.  මේ ගැන ජනතාව විසඳුමක් ඉල්ලා සිටිති.නමුත් ඒ සඳහා  විසඳුම දියයුතු අය විසින්ම ජනතාවට එරෙහිව කටයුතු කරති . ප්‍රදේශවාසීන්   රවටමින්, බොරු ඇදබාමින් , කෙසේ හෝ ආණ්ඩුවේ අරමුණ ඉටුකර ගැනීම සඳහා ඒ වෙනුවෙන් පෙනී සිටිති.

ජනතාවට පීඩාකාරීවූ මෙම වැඩසටහනට එරෙහිව ප්‍රදේශවාසීන් සටන් කරන අතර 21 දින පාරට බැස උද්⁣ගෝෂණය කිරීමට තීරණය ක⁣ළේ යම් වගකිවයුතු අයෙකු පැමිණ මෙයට විසඳුමක් ලබාගැනීම සඳහා මැදිහත් වේවියැයි යන බලාපොරොත්තුවද ඇතිවය. නමුත් මෙහිදී අදාල බලධාරීන් සහ ඉහළ නිලධාරීන් සියළු දෙනා කපටි අන්දමින් ජනතාව මගහැර කටයුතු කරන ලදී .
කිසිවක් කරකියා ගතනොහැකි පොලීසියේ මහත්තුරු කිහිප දෙනෙකු මැදිහත් කර ඔවුන් ලවා ප්‍රදේශවාසීන් නොමග යවමින්, චාටුබස් දොඩමින් සහ වරෙක තමන්ගේ නිල බලය පෙන්වා බියගැන්වීමටද උත්සාහ කරමින් අපූරු රංගනයක යෙදිණ. නමුත් කිසිදු ඉහළ වගකිවයුතු අයෙකු මේ සඳහා මැදිහත් නොවීය .
අවම තරමින් මීගමුව මහනගරසභාවේ නගරාධිපති හෝ ඉදිරිපත් නොවීය .

මෙම සිදුවීම විසින් සමාජයට දෙන පනිවිඩය සුළු පටු එකක් නොවේ. එය බරපතල එකකි. මන්ද ජනතාව රැකගත යුතු අය විසින්ම ජනතාව අපහසුතාවයට පත්කරමින්, පීඩාවට පත්කරමින් ක්‍රියාත්මක වීමයි. අපට මෙහිදී සිහිපත් වන්නේ අර පැරණි කියමනයි. එනම් “වැටත් , නියරත් ගොයම් කානම් කාට කියමිද ඒ අමාරුව ” යන ප්‍රසිද්ධ කියමනයි. එසේ තිබියදී ජනතාව තවමත් ඔවුන්ගේ පොරොන්දු ගැන විශ්වාසය තබා සිටින නමුත් විසඳුමක් ලැබෙන තුරු මෙම අරගලයද ඉදිරියට ඇදෙනු ඇත .

සැම්සන් ඥානසිරි