හැදුනොත් ජලභීතිකාව ..sorry ම තමයි…

0
3062

(මෙම ලිපිය 2009 වසරේ මීපුර පුවත් පතේ පළවුවකි. එහෙත් මෙහි අන්තර්ගතය එදාටත් වඩා අදට වඩා වැදගත් නිසා මෙසේ පළ කිරිමට තිරණය කළෙමු.මෙහි ඇති සංඛ්‍යාලේඛන ඇතුළු තවත් තොරුතුරු ඉදිරියේදි වෙබ් අඩවියට අපි එක්කරන්නෙමු.මීගමුව රෝහලේ ජලභිතිකා අංශයේ කාර්ය මණ්ඩලය හා පැවැති සාකච්ජාවන් ඇසුරින් මෙය සැකසුණි.)
2009 වසරේ පසුවූ මාස හතරක කාලය තුළ මීගමුව රෝහලෙන් ජලභීතිකාව වෙනුවෙන් එන්නත ලබාගැනීම සඳහා පැමිණි සංඛ්‍යාව 3900 ඉක්මවා තිබේ. ඒ 2009 ජනවාරියේ දී 964ක්, පෙබරවාරි මාසයේ 910 ක්, මාර්තු 1145, අප්‍රියෙල් මාසයේ 942 ක් ලෙස ය.
මේ අනුව බලන කල මෙය සමාජයේ අවධානයට ලක්නොවුණ එහෙත් බරපතල සමාජ ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ.
මීගමුව රෝහල ඇසුරු කොටගෙන අප විසින් අරඹන්නට යෙදුණ විශේෂාංග ලිපි මාලාවෙන් අප වරක් තවත් බරපතල සමාජ ප්‍රශ්නයක් කෙරෙහි පාඨක අවධානය යොමුකරවන්නට මහන්සි ගතිමු.
ඒ මීගමුව තුළ ලාදුරු රෝගයේ සීඝ්‍ර පැතිරීම පිළිබඳව ය.
එය එතෙක් කිසිදු සමාජ සංවාදයකට බදුන්ව තිබුණේ නැත.
අද අපි ජලභීතිකාව, සමාජ භීතිකාවක් ලෙසින් තේරුම් ගෙන සංවාදයක් මෙන්ම නිසි පිළියම් කෙරෙහි අදාළ සැමගේ අවධානය යොමුකරවන්නට උත්සාහ ගනිමු.
මේ සඳහා මීගමුව මූලික රෝහලේ ජලභීතිකා අංශය භාරව කටයුතු කරන වෛද්‍ය සේනානායක මහතා සහ එහි සේවයේ නියුතු හෙද හෙදි කාර්යමණ්ඩලයේ දායකත්වය අපි ඉතා අගේ කොට සලකමු.
පහත ගොනුකරනු ලබන්නේ ඒ සැමගේ දැනුම අත්දැකීම් පොදුජනතාව වෙත ගෙනයන්නට අප ගත් උත්සාහයයි.
ජලභීතිකා රෝගය වැළඳිය හැකි මාර්ග

සුනඛයින් තෙවර්ගයකි.
1.අයිතිකරුවෙක් නැති පාරේ ජීවත් වෙන සුුනඛයින්
2. අයිතිකරුවෙක් නැති එහෙත් නිදහසේ හැසිරෙන සුනඛයින්
3. නිවෙස් තුළ සිටින සුනඛයින්

මෙම රෝගය ප්‍රධාන වශයෙන්ම පැතිරෙන්නේ සුනඛයින්ගෙනි. මේ නිසාම වසරක් පාසා ඔවුන්ට ජලභීතිකා රෝගය සඳහා වන එන්නත ලබාදීම අවශ්‍යයෙන්ම කළ යුත්තක්. සාමාන්‍යයෙන් අවම තරමින් ළඟ ළඟ අවුරුදු 2ක් වත් එන්නත් විදීම අත්‍යවශ්‍ය වන අතර එන්නතක බලය පවත්නා කාලය වන්නේ එක් වසරකි.
මෙසේ එන්නත් ලබාදීම පමණක් ප්‍රමාණවත් නොවන්නේ මේ බල්ලන් නිදහසේ සරන්නේ නම් ජලභීතිකාවෙන් පසුවන බල්ලන් හෝ පූසන්ගේ සපාකෑම් වලට ලක්වන්නට ඉඩ ඇත. මේ නිසාම එන්නත ලබාදී ආරක්ෂා සහිතව නිවසේ තබාගැනීමට ප්‍රධාන අවධානයක් යොමුකළ යුතුව තිබේ. දඩාවතේ යන බල්ලෙක් සපා කෑමෙන්, පමණක් නොව සංසර්ගයේ යෙදීමෙන්, වුවත් මේ අනාරක්ෂිත තත්ත්වය තම සුරතලාට ඇතිවිය හැක.
බල්ලාට වඩා පූසන් භායනක විය හැක්කේ ඇයි…?
පූසෙකු සීරීම හෝ සපාකෑම එක සේ අනතුරුදායක ය. හේතුව පූසන් පුරුද්දක් ලෙසින් කටට අත දා ගැනීම නිසා නියපොතුවල ජලභීතිකා වෛරස් පහසුවෙන් රැෙඳන්නට තිඛෙන හැකියාවයි. මෙය වෛද්‍ය විද්‍යාත්මකව විමසීමේ දී ඉතා කුඩා සීරිමක් මාරාන්තික තත්ත්වයක් ඇතිකරන්නට සමත ්ය. එහෙත් මේ භායනක තත්ත්වය විද්‍යාව ඇසුරුකොට තේරුම් නොගන්නා මේ සමාජයේ අති බහුතරයක් පූසන් හට ඛෙහෙත් විදීම අනිවාර්යයක් සේ නොසලකති.
මේ නිසාම අප අතර ගැවසෙන පූසන් මාරාන්තික අවධානමක් අප වෙත කැඳවාලන්නන් බව නිතර මතකයේ තබාගැනීම අත්‍යවශ්‍ය වේ.
බලූ කුක්කන්, පූස් පැටවුන්ට පරෙස්සමෙන් ආදරය කරන්න –
අප බොහෝ විට දකින සුලබ කරුණක් වන්නේ සමහර කුඩා ළමුන් පාරේ ඉන්න බලූ පැටවුන්ව, පූස් පැටවුන් ලස්සන නිසා කිසිදු අවදානමක් ගැන නොසිතා නිදහසේ ඇසුරු කරන්නට පටන්ගැනීම හා ඔවුන්ව ගෙදරට ගෙන ඒමයි.
සාමාන්‍යයෙන් පැටවුන් හට එන්නත් ලබාදෙන්නට මාස 03ක්වත් ගතවිය යුතුයි. එහෙත් ඒ කාලය ඇතුළත ඒ පැටවුන් පිස්සු බලූ රෝගයට ගොදුරු වී ඇත්නම් තත්ත්වය භයානක ය. මෙහි බරක් පතලක් නොදත් දරුවන් මේ බලූපැටවුන්ගේ ලෙවකෑමටත් කුඩා සීරුම්වලටත් ලක්වන්නට පුළුවන්.

ජලභීතිකාව වැළදීමේ ඊළඟ අනතුර තිඛෙන්නේ ඌරු මීයන්ගෙනි.

එහෙත් දැනට හික් මීයා, කොස් ඇට මීයා නැත්නම් ගෙවල් ඇතුලේ ඉන්න මීයන්ගෙන් මේ රෝගය බෝවෙන බවට වාර්තාවීම් නැත. එමෙන්ම රිලවා, දලේනා, මුගටි, හෝතබුවන්, එළුවන්, හරකා යන සතුන් මෙන්ම වවුලාගෙන් පවා (මෙතෙක් වාර්තා වී නැතත්) බෝවීමේ ඉඩ ඇති බව වෛද්‍ය විද්‍යාව
විසින් අනාවරණය කොටගෙන තිබේ.

බල්ලෙක් සපා කෑ විට නිවසේ දී පිළිපැදිය යුතු මූලික ක්‍රියාමාර්ගය

පළමුවෙන් කළයුතුව ඇත්තේ සපා කෑ ස්ථානය සබන් දා හොදින් සෝදාලීමයි. ඊට හේතුව වන්නේ බල්ලන්ගේ කෙළ ඉවත්ව යන තෙක් එය නිසි ලෙසින් පිරිසිදු කරගැනීමයි.
ඉන් පසුව ප්‍රතිකාර සඳහා හැකි ඉක්මනින් රජයේ රෝහලක් වෙත පැමිණීම ගතයුතු වඩාත් නිවැරදි ක්‍රියාමාර්ගයයි.
වෙද මහත්තුරුන්ගෙන් බේත් ගැනීම හෝ පෞද්ගලික තැන් වලින් ප්‍රතිකාර ලබාගැනීමට ඇතුමුන් පෙළඹුන ද ජලභීතිකා රෝගයට ඇති බිය නිසාම සියයට අනූවක් පමණ දෙනා දැන් රජයේ රෝහලක් වෙත යෑමට පුරුදුව සිටිති.

රෝගියා ප්‍රතිකාර ගැනීමට යොමුවීමේ දී සැලකිව යුතු කාරණා …

සපා කෑ බල්ලාගේ සෞඛ්‍යමය තත්ත්වය හා අනෙක් තොරතුරු රැගෙන ඒම පිළිපැදිය යුතු එක් මූලික කොන්දේසියකි. තුවාලය තිඛෙන තැන, තුවාලයේ ස්වභාවය, බල්ලාට දී ඇති එන්නත් ගැන මේ සියල්ල, ගැන වෛද්‍යවරු දැනගත යුතුයි.
බල්ලෙක් සපා කෑ අයෙක්ගෙන් මුලින්ම විමසාලනු ඇත්තේ බල්ලාට එන්නත් ලබාදී ඇද්ද යනුවෙනි. බොහෝ විට ඔව්  කියා කෙනෙක් පවසනු ඇත.
එහෙත් මෙය එතරම් නිවැරදි නොවන්නේ සුනඛයන් හට එන්නත් ලබාදීම සිදුකරන්නේ ජලභීතිකාවට පමණක්ම නොවන නිසා ය. වෙනත් කාරණාවන් සඳහා ද එන්නත් ලබාදී තිඛෙන්නට පුළුවන්.
මේ නිසා සපා කෑ බල්ලාගේ කාඩ් එක රැගෙන එන ලෙසින් උපදෙස් දෙනු ලැබ තිබේ. ඒ අනුව රෝගියා ලැබිය යුතු ප්‍රතිකාරය තීරණය කෙරෙනු ඇත.
මේ තොරතුරු අනුව වෛද්‍යවරුන් නිගමනයකට පැමිණෙන්නේ ජලභීතිකා අවදානමකට විරුද්ධව ප්‍රතිශක්තීකරණ එන්නත දිය යුතු ද? නැද් ද ? යන්න ගැන ය. එපමණක් නොව මේ සියලු පසුබිම් විමර්ශනවල ආධාරයෙන් වෛද්‍යවරයා විසින් කළ යුත්ත තීරණ කරනු ලබන අතර ලබාදිය යුතු ලබාදිය යුතු එන්නත් වන Aඍී සහ Aඍඪ යන එන්නත් දෙකම ද එසේ නැත්නම් එකක් පමණක් ද යන්නත් මේ අනුව තීරණය කරනු ඇත.
ඇතම් අවස්ථාවන්හීදී ප්‍රතිකාර ගැන එක වෛද්‍යවරයෙක්ට පමණක් තීරණය කළ නොහැකි අවස්ථාවේ දී වෛද්‍යවරුන් දෙතුන් දෙනෙක් හෝ වඩාත් නිවැරදිම ප්‍රවේශය තෝරාගනු ඇත.
අවශ්‍ය නම් වෛද්‍යවරුන්ට පමණක් තීරණය කරන්නට බැරි අවස්ථාවන්හීදී කොළඹ ඵඍෂ එකේ සහය පවා ලබාගන්නා අවස්ථාවන් තිබේ.

බල්ලෙක් සපා කෑ පසු රෝගියා සැලකිලිමත් විය යුතු කාරණා –

රෝගියා එන්නත් හෝ ප්‍රතිකාර ලබා ගන්නා අතරතුර සපා කෑ බල්ලා ගැන අවධානයෙන් සිටිය යුතුයි. අසාමාන්‍ය හැසිරීම් තිඛෙන බල්ලෙක් සපා කෑවොත් බල්ලා ගැන වඩාත්ම හොඳ අවධානයෙන් සිටිය යුතුය. වෙනදාට වඩා එම බල්ලාගේ සැර ගතිය වැඩි නම්, වෙනදා මෙන් ආහාර ගැනීම සිදුනොකරන්නේ නම් පැත්ත වැටී සිටිනවා නම්, හති දානවා නම් හා සෙම වැක්කෙරෙනවා නම් අප වඩාත් සැලකිලිමත්විය යුත්තෙමු. එමෙන්ම හදිසියේ මේ බල්ලා මැරුණොත්, අතුරුදහන් වුවහොත්, එසේත් නැත්නම් සපා කෑ පසු ඒ බල්ලාව කිසිවෙකු විසින් මැරුවොත්, ඒ සියලූ දේ ගැන අවධානයෙන් සිටිය යුතුයි. ඒ සියල්ල වෛද්‍යවරයාට දැනුම්දිය යුතුයි. ඒ වගේම රෝගියාව සපා කෑ බල්ලාට ඒ කාලය තුළ එන්නත් ලබා දෙනවා නම් දවස් 14 ක් පසුවී එය සිදුකළ යුතුය.

යම් කාල සීමාවක් තුළ දෙවරක් බල්ලෙක් සපා කෑමට ලක්වන පුද්ගලයෙක් අවධානය යොමු කළ යුතු කාරණා –
එම පුද්ගලයාට පළමු අවස්ථාවේදී විදින ලද ජලභීතිකාවට එරෙහි ප්‍රතිශක්තීකරණ එන්නත වලංගු කාලය තුළම නැවත බල්ලෙක් සපා කෑවොත් නැවත එන්නත ගැනීමේ අවශ්‍යතාවයක් නැතැයි යන සිතිවිල්ල රෝගියා තුළ තිබිය හැකිය. එහෙත් එය හැම අවස්ථාවක දීම ප්‍රායෝගික නොවනු ඇත. ඒ පිළිබඳව වෛද්‍යවරයාගෙන්ම තහවුරු කර ගැනීම අවශ්‍ය වේ. මන්ද දෙවන වර සපා කන බල්ලාට ජලභීතිකා රෝග කාරකය තිබිය හැකි නම් රෝගියා මුහුණ දෙන අවදානම් තත්ත්වය වෛද්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය යුතුම ය. ඒ අනුව රෝගියාට ප්‍රතිකාර කිරීමේ ස්වභාවය වෙනස් විය හැකියි.

සුනඛයන් ඇති කිරීම..

සුනඛයන් ඇති කිරීමේ දී මහජනතාවගේ පැත්තෙන් පරෙස්සම් විය යුතු ප්‍රධාන කරුණු කීපයකි. විශේෂයෙන් බල්ලෙක් ඇති කිරීම සඳහා ගන්නේ නම් දැනගතයුතුම එක ප්‍රධාන කරුණක් වන්නේ තමන් ඒ සතාව ගන්නේ කොහෙන්ද යන්නයි.
එමෙන්ම සුනඛයාගේ පරම්පරාව, රෝග සහ සෞඛ්‍ය දත්ත පිළිබඳව ද අවබෝධයක් ලැබීම මුලික වේ. එමෙන්ම බලූපැටියෙකු ගන්නේ නම් එම පැටවාගේ මව් සතාට ඛෙහෙත් විදලා ද නැද්ද යන්න, තහවුරුකර ගැනීම ද අවැසිම ය.
මහජන සෞඛ්‍ය නිලධාරීන් සහ පශු වෛද්‍යවරුන් හමුවී උපදෙස් ගත යුතුය. පශු වෛද්‍යවරයෙක් හමුව නියමානුකූල ප්‍රතිශක්තීකරණ ලබාදී බල්ලාගේ තොරතුරු ඇතුළත් වාර්තා අයිතිකරුවන් ළඟ තබා ගත යුතුය.

සුනඛයන් පිළිබඳව විශේෂයෙන් අවධානයෙන් සිටිය යුතු පුද්ගලයින් …

නිතර බල්ලන් පූසන් ආශ්‍රයේ සිටින අය, ඒ වගේම පූසන් බල්ලන් විකිණීමේ කටයුතුවල නිරත අය , විදුලි මීටර් ලිවීම සඳහා ගෙවල් වලට යන අය, බඩු වෙළදාම සඳහා සංචාරය කරන්නන්් , පශු වෛද්‍ය රැකියාවේ යෙදෙන අය, විශේෂ අවධානයක් යොමුකර යුතුව ඇත්තේ ඔවුන් මේ අවධානමට නිරාවරණය වීමට ඇති වැඩි ඉඩකඩ නිසා ය.
මේ අනුව බල්ලන් පූසන් එදිනෙදා ජීවිතයේ කොටසක් නම් ඒ පුද්ගලයන්ට හට කලින්ම එන්නතක් විදගැනීමට ද පුළුවන. එය හඳුන්වනු ලබන්නේ පූර්ව ප්‍රතිකාර ලබාගැනීම යනුවෙනි.

ජල භීතිකාවේ රෝග ලක්ෂණ –

කල්පනාවේ වෙනසක්, ජලය බීමට අපහසුවක් හැසිරීමේ වෙනසක් , හති දැමීම, විදුලි පංකා වලට කැමති නැති ස්වභාවය, සුළං වදින්ඩ කැමති නැතිකම යන දෑ රෝගයේ උත්සන්න අවස්ථාවේ ලක්ෂණ ලෙසින් සඳහන් කළ හැක. මෙහි අවසනාවන්ත තත්ත්වය වනුයේ එය උත්සන්න වූ පසු දැනට කිසිදු නිත්‍ය ප්‍රතිකාර ක්‍රමයක් නොතිබීම ය.
ජලභීතිකාව සඳහා ප්‍රතිකාර ලබාදෙන අංශයේ හෙද නිලධාරිනියන් පවසා සිටින අන්දමට ඒ අංශය කරා පැමිණෙන අයට ජලභීතිකා රෝගය පිළිබඳව බියක් තිබුණ ද ඉන් වැලකී සිටීමට හෝ දරුවන් සුනඛයින්ගෙන් පරෙස්සම් කර ගැනීම ගැන ඇත්තේ ඉතාමත් අඩු අවබෝධයකි. සුනඛයින් සපා කෑම බහුලව සිදුවන ප්‍රදේශයන් ලෙස මීගමුවේ වැල්ලවීදිය, පළඟතුරය මෙන්ම මුහුද ආශ්‍රිත ප්‍රදේශ හඳුනාගෙන තිඛෙන අතර ඒත්තුකාලේ පිහිටා ඇති  බීච් පාර්ක්හි විශේෂයෙන්ම නිිවාඩු දිනයන්හි එහි යන පුද්ගලයින් ද බල්ලන් සපා කෑමට ලක්ව තිබීම නිතර වාර්තා වී ඇත.
මේ ඇතැම් අවස්ථාවන්හි එකම පවුලේ සියලූම සාමාජිකයින් එකම බල්ලා විසින් සපා කෑ පසු ප්‍රතිකාර ගැනීමට පැමිණි අවස්ථා ද වේ. එපමණක් නොව පාසල් වල එකම පන්තියක සිසුන් ප්‍රතිකාර ගැනීමට පැමිණි අවස්ථා ගැන ද සඳහන්.
සාමාන්‍ය ජනතාව ජලභීතිකාව ගැන උනන්දුවක් බියක් දක්වා සිටිය ද ප්‍රතිකාර දීමේ දී වෛද්‍යවරයා හෝ හෙද නිලධාරීන් ලබාදෙන ඊළඟ උපදෙස පිළිපැදීමට ඇති උනන්දුව සම්බන්ධයෙන් ඇත්තේ අඩු ප්‍රතිචාරයකි. නිදසුන් ලෙසින් ඊළඟ දවසේ ඛෙහෙත් විදීමට පැමිණෙන විට සපා කෑ බල්ලාගේ ඛෙහෙත් විඳපු කාඩ් එක රැගෙන එන ලෙස දන්වා සිටිය ද බොහෝ රෝගීන් එය අතපසු කරති. එපමණක් නොව තුවාලය හොඳ වූ පසු අර බල්ලා ගැන මහජන සෞඛ්‍ය වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ගැනීම හෝ අයිතිකාරයෙක් නැතිනම් ඒ බල්ලා ගැන අවට ජනතාව දැනුවත් කිරීම වගේ දේවල් මේ අය අතින් අතපසු වනු ඇත.
ජලභීතිකා අවදානම ගැන අප අතර කෙරුණ වැදගත් කථාබහේ අවසන් කොටසට අප පැමිණි අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලයේ විවිධ වූ අවධාරණයන්ගෙන් එය පිරුණි….
ඒ මේ ප්‍රදේශයේ ජනතාව ගැන ඔවුන් දක්වන ආදරයේ තරමයි ……..
තමන්ගේ තුවාලයට ඛෙහෙත් දාගෙන බොහෝ වෙලාවට සද්ද නැතිව ඉන්නවා. ඒ වගේම හේතුවක් නැතිව කුඩා දරුවන්ට සතුන් ළඟට කිට්ටු වීමට ඉඩ හරිනවා. බල්ලන් ඇති කිරීම ගැන අපේ සාමාන්‍ය ජනතාව අතරේ තිඛෙන ආකල්ප වල වෙනසක් ඇති විය යුතුයි කියලා අපි යෝජනා කරනවා. බල්ලන් මිනිස් ඇසුර ඉතාම සමීපයි. සංවේදීයි. ආදරේ හිතනවා. ඒ නිසාම ඒ අතරට ඔවුන් ගැන අවබෝධය ද එක්විය යුතුයි. දැනුමත් ඒවගේමයි.
බල්ලෙක්ගේ අයිතිකාරයෙක් වෙනවා කියන්නේ අප ඉබේටම අපටත් , සමාජයටත්, සුනඛයාටත් වගකිව යුතු පුද්ගලයෙක් බවට පත්වෙනවා. නමුත් ඒ ගැන දැනුවත්ව ඉන්නේ කීයෙන් කී දෙනා ද? ඒ නිසා තමයි , මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ.
උදාහරණයකට කිව්වොත් – වෛද්‍යවරයා අහනවා බල්ලා ඔයාලගෙ ද? –  ඔව්  , බල්ලා බැදලද තියෙන්නේ ? – නැහැ හැමදාම ලිහලා තියෙන්නේ  එහෙනම් බල්ලා ඔයාලගේ කිව්වේ ?
ඔව් අපේ තමයි
සමහරු මෙහෙමත් හිතනවා. අපි ජලභීතිකාවෙන් වැළකීමට බල්ලන්ට එන්නත් ලබාදෙන්නට ඕනා. ඒක නිවැරදියි. ඒ වගේම බල්ලන්ටත් ජලභීතිකාව වැළදීමෙන් වැලකී සිටීමට අයිතියක් තිඛෙනවා නොවේ ද? ඉතින් ඒ ගැන අපි වගකීමෙන් කටයුතු කළ යුතු වන්නේ බල්ලන්ට වඩා අපි වෙනස් නිසායි.
අනෙක් කාරණය තමයි අපට අයිති නැති වීදි බල්ලන් සම්බන්ධ ගැටළුව.
ඒ සම්බන්ධව ඔබට පුළුවන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හමුවී නැතිනම් තවත් වගකිව හැකි බලධාරීන් හමුවී ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට. ඒ සඳහා ඔබට තනිව ක්‍රියා කළ නොහැකි නම් තමන්ගේ පරිසරයේ සිටින අසල්වාසීන් ලෙස හෝ කණ්ඩායමක් ලෙස ක්‍රියා කළ හැකියි.
මීගමුව රෝහලේ ජලභීතිකා රෝගය සඳහා එන්නත් විඳීමේ අංශයේ අත්දැකීම් අනුව මෙම ක්‍රියාවලිය සඳහා දහස් ගණනින් මුදල් මෙන්ම ශ්‍රමය වැය වනවා.
රජයට වගේම රෝගියාටත් එසේමයි. ඒ නිසා මෙම ප්‍රශ්නය සමාජ ප්‍රශ්නයක් බවට පත්විමේදී එහි එක් වගකීමක් රජයට මෙන්ම මහජනතාවට ද පැවරෙනවා. ඒ සඳහා වෛද්‍යවරුන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් දෙන උපදෙස් පිළිපැදීම කාලෝචිත ක්‍රියාවක්.
එවැනි සරල ක්‍රියාමාර්ගයක් හෝ පිළිපැදීමට නොහැකි වීම ජලභීතිකා රෝගය තිඛෙන සමාජ වටපිටාවක දී අප අතින් සිදුවන මාරාන්තික අතපසුකිරීමකි. එය කොපමණ මාරාන්තික ද කියා අවබෝධකර ගැනීමට ඔබට ඔබේ දරුවා හෝ ඔබව එම රෝගයට ගොදුරු වන තෙක් සිටීමට අවශ්‍යම ද? එසේ නම් සාමාන්‍ය ජනතාව ජලභීතිකා රෝගයෙන් වැළඳීම වළක්වා ගැනීම සඳහා රජය දරන වියදම හා උත්සාහයෙහි කිසිදු ප්‍රතිඵලයක් තිබිය නොහැකි ය.

කුමාරි ප්‍රනාන්දු