ආණ්ඩු පක්ෂයට 116 යි ! විපක්ෂයට 108 යි ! පාර්ලිමේන්තුවේ අලුත්ම සංයුතිය…

0
153
lankaweb.lk
lankaweb.lk

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් , ඩලස් අලහප්පෙරුම ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීමත් සමග පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනසකට ලක්වී තිබේ.

අද පාර්ලිමේන්තුව ආරම්භයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තමා ඇතුළු මන්ත්‍රීවරු 13 දෙනෙකු විපක්ෂයේ අසුන් ගන්නා බව නිවේදනය කළේය.

ඒ අනුව ආණ්ඩුවට සහාය පළකරන මන්ත්‍රී සංඛ්‍යාව 116ක් වනවිට විපක්ෂය නියෝජනය කරන සංඛ්‍යාව 108ක් දක්වා ඉහළගොස් ඇත.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 51දෙනා සමග විමල් වීරවංශ ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායමේ 13 දෙනෙකු, ජී.එල්.පීරිස් ප්‍රමුඛ කණ්ඩායමේ 13 දෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 09 දෙනෙකු, දෙමළ ජාතික සන්ධානයේ 10 දෙනෙකු, අනුර ප්‍රියදර්ශන ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායමේ 6 දෙනෙකු හා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 03 දෙනා , අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනා සහ තමිල් මක්කල් තේසිය කුට්ටනි පක්ෂයේ මන්ත්‍රීවරයා ද සමගින් විපක්ෂයේ අසුන් ගෙන ඇති මන්ත්‍රී සංඛ්‍යාව 108ක් වෙයි.

ආණ්ඩු සහාය පළ කරන මන්ත්‍රී සංඛ්‍යාව 116ක් වන අතර ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 100 දෙනෙකු ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 05 දෙනෙකුද , සමගි ජන බලවේගයේ තිදෙනෙකුද, ලංකා කම්කරු කොංග්‍රසයේ දෙදෙනෙකුද, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ දෙදෙනෙකුද, ඒ.එල්.එම්.අතාවුල්ලා මන්ත්‍රීවරයා ද, ටිරාන් අලස් මන්ත්‍රීවරයාද, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මන්ත්‍රීවරයාද, එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන මන්ත්‍රීවරයාද ඇතුළත්ව ඇත.