ජල තලයන් තුනම ජයගත් ශක්තිවන්තයා…. “මොදා”

0
877

ශ්‍රි ලංකාවේ මොදා හෝ කොඩුවා ලෙසත් අසල්වැසි ඉන්දියවේදී  “බෙග්ටි හෝ ඩන්ගාරා” වශයෙන්ද තායිලන්තයේදී “ප්ලා කපොං කාවෝ”  ලෙසත් මලයාසියාවේදී හා පිලිපීනයේදී පිලිවෙලින් “සයිකැප් හා බුල්ගන්”වශයෙන්ද ඉන්දුනීසියාවේදී “පිලක් හෝ ටෙලප්”වශයෙන්ද ඔස්ට්‍රේලියවේදී හා පැපුවානිවුගිනියාවේදී “බැරමුන්ඩි” ලෙසද නම් ලබා ඇති මේ සුවිශේෂී මත්ස්‍යයා ඉංග්‍රීසි භාෂාවෙන් “සී බාස් හා ජයන්ට් සී පර්ච්” වශයෙන් හදුන්වයි.විද්‍යාවේදී මෙම මත්ස්‍යයා පහත ආකාරයට වර්ගීකරණය කරනු ලබයි.

Phylum –chordata

Sub phylum- vertebrata

Class-pisces

Subclass- teleostomi

Order- percomorphi

Family- centropomidae

Genus- lates

Species- lates calcurifer (Block)

 

ඉතාමත් සිත්ගන්නා සුළු ජීවන රටාවකට හිමිකම් කියන මොදා මිරිදිය කිවුල් දිය හා කරදිය යන ජල තල තුනම ප්‍රයෝජනයට ගෙන ජීවත් වෙයි.එම නිසා ඉතා ශක්තිමත් මත්ස්‍යයෙකු වශයෙන් ජල ජීවී විද්වතුන් හදුන්වති.

 

භූගෝලීය පැතිරී ඇති ප්‍රදේශ

නිවර්තන හා අර්ධ නිවර්තන ඉන්දියන් සාගැය හා බටහිර පැසිපික් සාගර කලාපයත් උතුරැ ආසියාව හා බටහිර අප්‍රිකානු ප්‍රදේශත් ඔස්ට්‍රෙලියාවේ කුවින්ලන්ඩ් ප්‍රදේශත් වාසස්ථාන ලෙස භාවිතා කරමින් ජීවත් වන මෙම සත්වයා ජල ජීවී වගා කටයුතු සදහා යොදා ගන්නා ඉතා ඉහල ඉල්ලුමක් ඇති මත්ස්‍යයකි.

 

ජීවන රටාව.

ආහාර සොයා මිරිදිය පරිසරයට පැමිණෙන මෙම සතුන් ගේ ලිංගික පරිනථය කලපු හා ගංගා මෝය වලදී සිදුවී බිත්තර දැමීම සදහා මුහුදට ගමන් කරයි.ලවණතාවය 1000කට කොටස් 30 හෝ 32ට හා ගැඹුර මීටර 10 හා 15 අතර ප්‍රදේශ වලදී හඳ මෝරා ඇති රාත්‍රී වලදී බිත්තර දැමීම සිදුකරයි.දින 01කදී පමණ බිත්තර පිපිරී කුඩා පැටව් සාගරයට පිවිසෙයි.දින දෙකක් පමණ තම බිත්තරයේ ආහාර ප්‍රයෝජනයට ගන්නා මෙම පැටවු ඉන් පසු එක  සෛලීය හෝ බහු සෛලීය ශාක ප්ලවාංග ආඅහරයට ගනිමින් ජීවත් වෙයි‍.එනම් මුල් කාලය ශාක භක්ෂක වෙයි.ඉන්පසු සත්ව පුලවංගයද ආහාරයට ගන්නා මෙම පැටවු සර්ව භක්ෂක ජීවන රටාවනට හුරැවෙති.
අවසානයේදී සතා ක්‍රමයෙන් වැඩෙන විට සම්පූර්ණ මාංශ භක්ෂක වෙයි. පරිනත සතුන්ගේ ආමාශ පරික්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ සියයකට 70ක් ඉස්සන් සහ කකුළුවන්ද සියයකට 30ක් කුඩා මසුන්ද ආහාරයට ගෙන ඇති බවයි.

වර්ධනය වන ආකාරය හා ජීවන ක්‍රමය       

මුලින් මි.මී 1.05 පමණ පැටවුන් පලමු මස තුල මි.මී 20ක් වර්ධනය වෙයි. මේ අවස්ථාව වන විට පැටවුන් සාගරයේ සිට වෙරළබඩ ප්‍රදේශ කරා පැමිණ ඉන්පසු කලපු වලට සහ ගංඟා මෝය තුලට ඇතුළු වී වෙනත් ජල ස්ථරයකට හුරැවී ජීවත් වීම අරභයි. පළමු වසර තුලදී මි.මී.300ක් පමණ වර්ධනය වන අතර මාංශ භක්ෂක භෝජන ක්‍රමයක් අනුගමනය කරති.ඉන්පසු වසර 3කින් පමණ උප පරිනත තත්වයකට පත්වන මෙම සත්වයින් ප්‍රමාණ‍යෙන් මි.මී.580ක් පමණ වේ.අවුරැදු 04කින් පමණ මි.මී.700ක් පමණ වෙති.අවුරැදු 06 සිට 09 දක්වා කාලයේදී මි.මී.850ත් 1000ත් අතර ප්‍රමාණයකට පත්වන සත්වයින් ප්‍රජනන අවධියට පත්වෙයි.මෙම කාලයේදී බිත්තර බෙදා හැරීම සදහා සාගරයට ගමන් කිරීම ඇරඹෙයි. සම්පූර්ණ ජීවිත කාලය අවුරැදු 25ක් හෝ ඊට වැඩි විය හැක.

සමහර සත්වයින් කුඩා කල මිරිදිය ජලාශ වලට පැමිණ මුළු ජීවිත කාලයම මිරිදිය තුල ජීවත් වෙති.මෙවැනි මසුන් දිගෙන් සෙන්ටි මීටර 70න් පමණද බරෙන් කිලෝ ග්රෑම් 20ක් පමණද වී ඇති බව වර්තා වේ.නමුත් මෙම පරිසරය තුල කිසිදා ලිංගික පරිණතභාවයකට  මෙම සත්වයින් පත් නොවෙති.

 

බිත්තර දමන ප්‍රමාණ බර අනුව වෙනස් වෙයි.

ශරීර බර                                         බිත්තර ප්‍රමාණය මිලියන         

12 kg                                                        7.5

19 kg                                                       8.5

22kg                                                        17.0

 

කරැණු මෙසේ වුවත් සාමාන්‍යයෙන් කි.ග්‍රෑ.06 හා 10බර පංතියේ ඇති මවු සතුන්ගේ බිත්තර වල ජීවත් වන පැටවුගේ සියයට ගණන වැඩිය.වෙනත් වචන වලින් කියතොත් නිරෝගී වැඩි පැටවුන් ලබා ගැනීම සදහා සුදුසු වන්නේ කි.ග්‍රෑ.06 හා 10 අතර මවු සතුන්ය.

 පිරිමි හා ගැහැණු සතුන් වෙන් කරවා හඳුනා ගැනීම

ලිංගික වෙනස හඳුනා ගැනීම ඉතා අපහසුය.මෙය නිවැරදිව සොයා ගැනීම සදහා ඔවුනගේ සිරැරැ තුල බටයක් ඇතුළු කර එළියට ඇඳ ගන්නා ශුක්‍රානු හා නොමේරෑ බිත්තර වලින් ලිංගිකත්වය නිවැරදිව සොයාගනු ලැබේ.එසේ වුවත් පමත දැකවෙන ලක්ෂණ අනුව පළපුරැදු කරැවන්ට බාහිර ලක්ෂණ මගින් ලිංගය නිර්ණය කර ගත හැක.

ගැහැණු සතා පිරිමි සතාට වඩා බරින් වැඩි අතර පිරිමි සතාගේ සිරැර ගැහැණු සතාගේ සිරැරට වැඩිය තරමක් සිහින්ව පිහිටයි.ගැහැණු සතාගේ උදර ප්‍රදේශයේ පහළ කොටස දෙපැත්තෙන් එළියට නෙරා ඇති ස්වභාවයක් පෙන්නුම් කරයි.ගැහැණු සතාගේ හිසේ පෘෂ්ඨය ප්‍රදේශය ශරීරය තුළට (යට පැත්තට) ස්වල්පයක් ඇතුළු වී ඇති ආකාරයත් පෙන්නුම් කරයි. එසේම පිරිමි සතාගේ වලිගය ඉදිරියෙන් මදක් සිහින් වන අතර ගැහැණු සතාගේ එසේ නොවේ.

කෘතිමව මෙම සතුන් අභිජනනය කරන රටවල් අතර තායිලන්තය ඉන්දුනීසියාව මැලේසියාව හා ඕස්ට්‍රේලියාව ප්‍රධාන තැනක් ගනී.මෙම අභිජනන කිරීම සදහා හෝමෝන භාවිතා කරයි.මෙම හෝමෝන එන්නත් කර ඇති ගැහැණු හා පිරිමි සතුන් 01:03 අනුපාතයට ගැඹුරැ කරදිය ටැංකි වලට ඇතුළු කර රාත්‍රී කාලයේදී බිත්තර පිට කිරීමට සලස්වයි.මධ්‍යම රාත්‍රියේදී ගැහැණු සතෙකු පිටුපස පිරිමි සතුන් කීප දෙනෙකු ලුහුබැදීම කරන අතර බිත්තර හෙලන අවස්ථාවේදී පිරිමි සතුන් එම ජලයට ශුක්‍රානු මුදා හැර සංසේචනය වීමට සලස්වයි.එම බිත්තර වලින් පැටවුන් ලබාගැනීම කරති.මෙම පැටවුන් වර්ධනය සිදුවීමේ දී ඒකාකාරී  වර්ධනයක් දක්නට නොලැබේ.එම නිසා මෙම පැටවුන් අන්තර් වගා පොකුණු තුල මාස 2ක් පමණ වර්ධනය කර අල්ලා දිය අනුව ශ්‍රේණිගත කිරීම කරනු ලබයි. ඉන්පසු අපනයනය  හෝ වගා කටයුතු සදහා යොදා ගනී.සාමාන්‍යයෙන්ම පොකුණු තුළ හෝ කූඩු තුල වගාකරන මසුන් කිලෝ ග්රෑම් 01 හා 02ත් අතර ප්‍රමාණයේදී අල්ලා ගත හැක. මෙම මසුන් මිරිදිය පරිසර වල වගාකර අවසාන දින 30දී කරදිය ජලාශ වලට මාරැ කර අල්ලා ගන්නේ නම් අධික මිලක් ලබා ගත හැක. ශ්‍රීලංකාවේ කලපු හා දෝනි මෝයවල් තුල ඇති මුහුදු තෘණ බිම් වල මාර්තු හා අප්‍රේල් හා අගෝස්තු සැප්තැම්බර් කාල වලදී කුඩා පැටවුන් දක්නට ලැබේ. මෙම පැටවුන් පරිස්සමින් අල්ලා නියමිත සමාන ප්‍රමාණ පොකුණු හෝ කූඩු තුල වගා කරන්නේනම්  එයින් විදේශ විනිමය ලබා ගත හැක.