කතුන් දෙදෙනා නිරුවත් කිරීම : සැකකරුවන් 08 දෙනෙකු රිමාන්ඩ් !

0
190

නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළදී හිමිනමකට, තරුණියකට සහ කාන්තාවකට පහර දී ඔවුන් නිරුවත් කිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්  පුද්ගලයන් අට දෙනකු

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන බදාදා (ජුලි 12 දා)  දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ ඊට අදාල නියෝග ලබාදුන්නේය.

සැකකරුවන් අට දෙනා එදිනට හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ තම පාර්ශවයට අදාල පැමිණිලිකරු සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවයි.

එහිදී එම පැමිණිලි ද ලබන 12 වෙනි දිනට පෙර ඉදිරිපත් කරන ලෙසද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

”නරක පුර්වාදර්ශයක් වියහැකියි” – නාහිමිවරු බිය පළකරති  

බලහත්කාරයෙන් එම විහාරස්ථානයට ඇතුළු වූ ප්‍රදේශයේ තරුණයන් පිරිසක් තමන්ට සහ අනෙක් දෙදෙනාට පහර දී නිවසේ තිබූ ගෘහ භාණ්ඩවලට හානි සිදු කළ බවද එම හිමිනම විසින් සිදුකල පැමිණිල්ලක් මත මීට පෙර දිනකදී සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇපමත මුදා හැරිය බවද පොලිසිය පවසයි.

කෙසේවුවද මෙය නරක පුර්වාදර්ශයක් වියහැකි බැවින් මේ සම්බන්ධයෙන් නොපමාව කටයුතු කරන්නැයි නාහිමිවරුන් කිහිප නමක් රජයේ ප්‍රබලයින්ගෙන් ඉල්ලීම් කර තිබු අතර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, අදාල සැකකරුවන් වහාම අත් අඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක කරන ලෙස  පොලිසියට නියෝග කර තිබුණි.

ඒ අනුව, එක් සැකකරුවෙකු ඊයේ (07) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් 07 දෙනා අද (08) උදෑසන නවගමවු පොලිස් ස්ථානයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසීය.

අත් අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනා අද පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු රිමාන්ඩ් බාරයට පත්කර ඇත.

සමාජ මාධ්‍ය වෙත වීඩියෝ මුදාහරින්නේ ප්‍රවේසමෙන්

Cfw8RMTWcAAzvFZ

කාන්තාවන් සහ ළමුන් සම්බන්ධයෙන් සිදුවන ඇතැම් කාරණා වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහරින පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ,

“කාන්තාවන්ට පහරදී ඔවුන්ට ලිංගික හිරිහැර සිදුකිරීම වීඩියෝ කරලා ඒවා සමාජ මාධ්‍ය වෙත යොමුකර තිබෙනවා. ඒ යොමු කළ පුද්ගලයා බරපතළ වරදක් කරලා තියෙනවා. දඬුවම් ලබාදිය හැකි වරදක් ඔහු සිදුකරන්නේ. ඒ නිසා ඒ සම්බන්ධවත් විමර්ශන පවත්වනවා.”

නවගමවු පොලිස් වසමේ ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඔහු මේ බව පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළේ,

“දණ්ඩනීති සංග්‍රහයේ 365 ඈ 1 කියන වගන්තිය මතයි මේ සම්බන්ධව නීතිය සඳහන් කරලා තිබෙන්නේ. යම්කිසි පුද්ගලයෙක් මේ ආකාරයේ ප්‍රචාරයක් සිදු කළොත් වසර 2 දක්වා බරපතළ වැඩ ඇතිව හෝ නැතිව දඩුවම් ලබාදීමේ හැකියාවක් තිබෙනවා. දඩයක් නියම කිරීමේ හැකියාවත් තිබෙනවා. නමුත් නඩු විභාගයකින් ඔප්පු වෙන්න ඕනේ.”

“කාන්තාවන් සහ ළමුන් සම්බන්ධයෙන් තිබෙන කාරණා ප්‍රචාරය කිරීම විශේෂයෙන් නීතියෙන් තහනම් කරලා තිබෙන දේවල්.”

“සමාජ මාධ්‍ය ජාල හරහා මේවා යම් පුද්ගලයෙක් සමාජගත කිරීමේදී අනිවාර්යයෙන්ම ඔහු කරන්නේ බරපතළ වරදක්.”

“මේ නවගමුව සිද්ධියේදීත් අපි ඒ පුද්ගලයාව හඳුනාගෙන ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා.”

අපරාධ චෝදනාවලට ලක්වන පුද්ගලයින්ට පහර දිය හැකි ද?

අපරාධ චෝදනාවකට ලක්වන පුද්ගලයෙකුට අධිකරණයකින් දඬුවම් දිම හැර වෙනත් පුද්ගලයින්ට දඬුවම් දීමට කිසිදු අයිතියක් නොමැති බව ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා පවසයි.

නීතිය සියතට ගෙන එලෙස කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක වන බව ‘නෙත් නිවුස්’ කළ විමසීමකදී ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මෙසේ පැහැදිලි කළේය.

0000

එමෙන්ම, අපචාර හෝ දූෂණ චෝදනාවලට ලක්වන පිරිස්වල ඡායාරුප හෝ වීඩියෝ පට සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කරන පුද්ගලයින්ට මෙන්ම ඒවාට ප්‍රසිද්ධියක් ලබා දෙන පුද්ගලයින්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

අපචාර සහ දූෂණ චෝදනාවලට සම්බන්ධ වූ පුද්ගලයින්ට පහර දීමේ සිද්ධීන් කිහිපයක්ම ඉකුත් සමයේ වාර්තා විය.

එවැනි පහරදීම්වලට සම්බන්ධ පුද්ගලයින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන්ගෙන් ඇතැමුන් මේවනවිටත් පසු වන්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.

එමෙන්ම, අපචාර සහ දූෂණ චෝදනාවලට සම්බන්ධ වූ පුද්ගලයින්ගේ ඡායාරූප හා වීඩියෝපටද සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් ප්‍රසිද්ධ කර තිබූ අතර ඒවා සමාජ මාධ්‍ය හරහා හුවමාරු කළ පිරිස්ද දක්නට ලැබිණ.
theleader.lk