බල්සාක් කැෆේ : මට ජැක්සන්ගේ මරණය නොදැනුණේ ඇයි? – (මංජුල වෙඩිවර්ධන)

0
280
මට ජැක්සන්ගේ මරණය නො දැනුණේ ඇයි? නො දැනුණාමත් නොවේ.
කිසියම් නන්නාඳුන වේදනාවක් මා අභ්‍යන්තරය තුළ පැන නැඟුණා වන්නට පිළිවන. ඒත් මා මේ කියන්නේ, දැනිය යුතුව තිබුණු පරිමාණයෙන් එය නො දැනුණු බව ය.

2123අතිශය කුඩා කල සිට ම මා ජැක්සන් රසවතෙකි. කෙළ කෝටියක් වන නාඳුනන හිතවතුන් අතර සිටි හිතවතෙකි. ඔහු පය තබන ලෙස පය තියන්නටත්, ඔහු දඟලන ලෙස දඟලන්නටත්, ඔහු ගයන ලෙස ගයන්නටත් වරක් හෝ වෑයම් නො කළ කිසිවකු ගැන මට හිතා ගන්නට බැරි ය. ඔහු එබඳු පරිසමාප්ත කලාත්මක අයිකනයකි. තමන්ගේ විෂයෙහි පාරප්‍රාප්ත විසල් මානවයකි. තමන් ඉපදුණු මහපොළොව දෙස ද, පොදුවේ මානව වර්ගයා දෙස ද, ඉමහත් මානව දෘෂ්ටියක් හෙළූ කලාකරුවෙකි. ඔහු විසින් නිමැවුණු අවසාන නිර්මාණය දක්වාම අඛන්ඩව ඔහුගේ සමීපතම සහෘදයකු ව සිටිය ද, මට ජැක්සන්ගේ මරණය එතරම් තදට නො දැනුණේ ඇයි?  
ගුවන්තලය ද, සයිබරාවකාශය ද කලම්බමින් මතු වූ එම දුක්ඛදායක පුවත නිසා කණගාටුවක්, වේදනාවක්, දුකක් හදවත පුරා ඇතිරෙමින් තිබුණ ද ඒ නිශ්චිත වකවානුව පුරා ම හදවත උසුලාගෙන තිබුණේ පෙර නොවූ විරූ ගැඹුරුතර වේදනාවෙකිනි. ඔහුගේ මරණය එතරම් ම තදට නො දැනෙන්නට ඇත්තේ එ නිසාවෙන් බව නිශ්චිත ය.

merlin 149648529 edfe0607 937f 4d04 9358 e0fcb034482a articleLarge.jpg
මගේ කවිවලට, ගද්‍ය උපුටනවලට ස්වේච්ඡාවෙන් පින්තූර අමුණා රමණීය ආකෘති තනා දෙන පෘථිවි අයේශ්මන්ත නම් තා‍රුණ්‍යයෙන් ආඪ්‍ය කවියා ‘’මොකද මේ දවස්වල කරන්නෙ?’’ යැයි මා විමසයි. ගෙවී යමින් තිබෙන්නේ ඔක්තෝබර් 11 වැනිදා මධ්‍යම රාත්‍රිය යි. ඔහුට පාන්දර ය. ඔහු පාන්දරත් පාඩම් අතේ වැඩ ය. ඔහු තවමත් සරසවි ශිෂ්‍යයෙකි.

‘ජැක්සන්ගේ සිංදු අහනවා’ යැයි මා ඔහුට ලියා යවමි.

231011160810 08 israel gaza conflict 101123 restricted

සැබැවින් ම ජැක්සන් මෙනෙහි වී දවස පුරාම විටින් විට ඔහුගේ ගීත අසමින් උන්නෙමි. ගුවන් විදුලිය, රූපවාහිනිය පමණක් නොව කවර සමාජ මාධ්‍ය ජාලයක් විවෘත කෙරුව ද ඇසෙමින් තිබුණේ ගාසා තීරයේ ද ඉන් ඔබ්බේ ද පිපිරුම් හඬ හා මර ලතෝනි හඬ ය.

ඒ අතරතුර සන්ධ්‍යාවේ, මිත්‍රයෙක්, ගාසා තීරයේ යුද ගින්දර අතරින් ලියැවුණු සාටන්කාමී ‘පෙරටුගාමීන්ගේ’ සටන් පාඨ පෝස්ටරය වැට්සැප් කර එවී ය.

එහි වූයේ මෙවන් අන්ධභූත අදහසකි.

‘’ඊශ්‍රායල, පලස්තීන සිවිල් වැසියන් ඝාතනය හෙළා දකිමු!

නිදහස් පලස්තීනය පිළිගනු!

ඇමරිකානු – ඊශ්‍රායල් ලේ වැකි යුදකාමයට, හමාස් අන්තවාදයට එරෙහි වෙමු! 

– පෙරටුගාමී සමාජවාදී පක්ෂය!’’

 63313470 007207483 1

ආක්‍රමණකාරී හමුදාවක් උතුරට යවා දෙමළ විමුක්ති අරගලය අවසන් කළ ගිරුවාපත්තුවෙන් පහළ වූ මහා වීරයාට ‘යුද චින්තනය’ සකසා දුන් චින්තන කමිටුවක සිටි පුබුදු ජයගොඩ සහෝදරයා වෙත මෙකී පෝස්ටරය අලලා, තිලක් කෝදාගොඩ සහෝදරයා විසින් ‘මහා ජාතිවාදයෙන් ගැළවෙන්න බැරිකම’ ගැන යවන ලද කොමෙන්ටුවක් වට්සැප් හරහා මා ඇස් අබියසට පතිත විය. එහි එක් තැනක මෙසේ ලියා තිබිණ,

‘’තුවක්කු කතා කරනකොට, හුදු ඒ තුවක්කු කටවල්වලින් නිකුත්වන මූණිස්සම් දිහා බලලා දේවල් ලියන එක අද විලාසිතාවක්’’

මම යළි ජැක්සන්ගේ ගීතාවලිය දෙසට හැරී එකක් තෝරා සවන්ලන්නට වෙමි.

තරුණ කවියා යළි මා අමතයි. ‘ඔයා මොකද අයියෙ හිතන්නෙ එයාගෙ මරණයයි දේශපාලනයයි ගැන?’’ යනුවෙන් ඔහු යළි මා විමසයි. කිසිත් උත්තර නොදී ජැක්සන්ගේ ගීතයක් යවමි. එය මේ මොහොතේ මා අසමින් සිටින ගීතයයි. මේ මොහොත වන විට  නිල වශයෙන් මිලියන 406ක් නරඹා ඇති ‘අර්ත් සෝංග්’ නමින් යුත්  ‘මහීමා’ ගීතයයි.

‘’What about sunrise?
What about rain?
What about all the things
That you said we were to gain?

What about killing fields?
Is there a time?
What about all the things
That you said was yours and mine?

Did you ever stop to notice
All the blood we’ve shed before?
Did you ever stop to notice
This crying Earth, these weeping shores?’’

‘මහීමා’ ගීතය අරඹන වදන් පෙළ නඟන අරුත දළ වශයෙන් සිංහලට නඟන්නේ නම් මෙ ලෙස ය.

’හිරු එළිය, වර්ෂාව
අපට ලබාගත හැකි’යැයි ඔබ කියූ
සියලු දේ ගැන ඔබ දැන් සිතන්නේ කුමක්ද?

ඔබෙයි මගෙයි කියා ඔබ කියූ සියලු දේ?

මේ සියල්ලට අදාල කාලය කුමක්ද?
ඇයි සමූල සංහාර භූමි?
අප කොපමණක් රුහිරු හෙළා ඇත්දැ’යි
ඔබ යන්තමින්වත් නැවතී හැරී බැලුවාද?
මේ වෙරළ වැළපෙන තරම්
මේ මහ පොළව කෑ ගසා හඬන තරම්
ඔබ යන්තමින්වත් නැවතී හැරී බැලුවාද?’’

ඉක්බිති ජැක්සන් වරනඟන ‘’ආ..ආ…ආ’ව ද ‘’ඕහ්…ඕහ්…ඕහ්’ව ද හුස්ම හිර කරවන සුළු ය. පීඩිතයන්ගේ සමස්ථ පීඩාවන් ස්වකීය සුස්මක රඳවන්නට ජැක්සන් සමත් ය. අහෝ! එවන් කම්පාවක් ගෙන දෙන ගීතයක්!

එවන් ජැක්සන්ගේ මරණය මට නො දැනුණේ ඇයි? බොහෝ විට ඒ, ඔහුගේ අමුතු මරණය සිදුවූයේ 2009 ජූනි මාසයේ වීම නිසා ය. හරියට ම කියන්නේ නම් ජූනි 25වැනිදාව ය.

war end 2

මට, ජැක්සන්ගේ මරණය බරට නොදැනුණේ, ඊට හරියටම මසකට පමණ පෙර මුල්ලිවයිකාල් අහස ගිනිබත් කරමින්, නන්දිකඩාල් කලපුව ලේබත් කරමින් දස දහස් සංඛ්‍යාත දෙමළ පීඩිතයන් මරා දමමින් ‘යුද්ධය අවසන් කළා’යැයි කෙරුණු සිංහල නිවේදනයෙන් ද, ඉන් නො නැවතී බැලූ බැලූ අත පත්තු වී ගිය උත්කර්ෂයේ රතිඤ්ඤා හඬින් ද, සංතුෂ්ටියේ රතු පෑ කිරිබත්වල දසුනින් ද කම්පා වූ හදවත අඛන්ඩ ව එකී වේදනාවෙන් බර ව තිබුණු නිසා වන්නට පිළිවන. ජැක්සන්ගේ මරණය පිළිබඳ කම්පාවක් ඇති නො වීම පිළිබඳ තර්කයක් එහි නැද්ද?
සැබැවින්ම නම් ජැක්සන්ගේ මරණය මට දැනිය යුතුව තිබිණ. ඔහුගේ ‘සඳගමන’ අත්හදා බැලූ අතීතය තුළ ඇත්තේ සිහිනමය සතුටකි. ‘බිලිජීන්’ සහ ‘බීට් ඉට්’’ සමඟ නැටූ නැටිලි කෙතරම් ද? විශ්වීය අරුත් රැගත් අරුත් පිරුණු ගීත සියල්ල අතර මා සදාකාලිකව බැඳුණේ උන්මාදකර වූ ‘අයි ජස්ට් කෑන්ට් ස්ටොප් ලවිං යූ’ සමඟ ය. මේ මතක සියල්ල ම තවමත් සජීවී සිහිනයන් ය.

එත්, එවන් ජැක්සන්ගේ මරණය මට නො දැනුණේ ඇයි?

ඉක්බිත්තේ නික්ම ගිය මා කැමති ම ගයුවන් ගැයුවියන් පිළිබඳ මා දුක් වූයේ නැද්ද?  විට්නි හූස්ටන්, ඩෝනා සමර්, අරීතා ෆ්‍රැන්ක්ලින්ගේ සිට ටීනා ටර්නර් දක්වා ගැයුවියන්ගේ ගී හා බැඳුණු අතීත සැමරුම් අතර සරමින් දුක්වන හිතක් මට තිබිණ. මා අතිශය කැමති වූ බී.බී. කිං, ජෝර්ජ් මයිකල් වෙනුවෙන් මම සමුගැන්මේ ලියවිලි පවා ලීවෙමි.

ඉදින් ජැක්සන් වෙනුවෙන් දුක් වන්නට මට මඟ හැරුණේ ඒ මොහොත වන විටත් මා වෙලාගෙන සිටි වේදනාව නිසා බැව් නිගමනය කිරීම වැරැද්දක් ද?

මාතලේ මහ පො‍ළොව සීතල ද ? - (මංජුල වෙඩිවර්ධන)(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී

mwediwardena@gmail.com