වැඩ බලන පොලිස්පතිට එරෙහිව විනය පරික්ෂණයක් …

0
432

වැඩබලන පොලිස්පතිවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස් කොමිසමට නියෝග කරයි!

රංජිත් සුමංගල නැමත්තා විසින් තමාව අනීතික ලෙස අත් අඩංගුවට ගෙන වදහිංසා වට පත්කර තමාගේ මානව හිමිකම් කඩකල බවට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගොනු කරන ලද පෙත්සම විභාගයට ගනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණය වැඩබලන පොලිස්පතිවරයා වරදකරු කරමින් අද දින තම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදි.
වැඩබලන පොලිස්පති ඇතුළු තවත් දෙදෙනෙක් වැරදිකරුවන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ පෞද්ගලික ධනයෙන් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමට වන්දියක් ලෙස මිලියන දෙකක් ගෙවීමටද නියෝග කරන ලදී.

එසේම ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස් කොමිසමටද නියෝග කළේය.

මෑත කාලයේදී විවිධ නීතීවිරෝධී ක්‍රියාවන්ට සහ මානව හිමිකම් කඩකිරීම් වලට සම්බන්ධවී ඇතිබවට ඍජුව චෝදනා ලබා සිටින දේශබන්දු තෙන්නකෝන් පාස්කු ප්‍රහාරයේ විමර්ශනයන් පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් කතෝලික සභාවේ උදහසට ලක්වී සිටියි.
එසේම අරගල සමයේදී ඔහු මහා පාරේදී තරුණයන් කීපදෙනෙකුගේ පහරදීමකටද ලක්විය .
ඔහු පොලිස්පති ලෙස පත් නොකරන්නයි විවිධ පාර්ශවයන්ගෙන් රජයට බලපෑම් එල්ලවුද ඒ කිසිවක් තුට්ටුවකට හෝ මායිම් නොකර අනුපාත්ත්‍රික ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කලේය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දෙන ප්‍රකාශයට පත්කරන ලද තීන්දුව ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව ඔහුට එල්ල කළ කඹුල් පහරක්සේ සැලකිය හැක.

ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමයේදී ප්‍රේමදාස උඩුගම්පොළ නැමති පොලිස් නිළධාරීයකුට එරෙහිව මෙවැනිම නඩු තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් අතර ඔහු විසින් ගෙවියයුතු දඩ මුදල රජයෙන් ගෙවා උඩුගම්පොළට උසස්වීමක් ලබාදීමට ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා කටයුතු කලේය.
අද සිදුවන්නේ කුමක්දැයි ජනතාව විමසිලිමත්ව බලා සිටී.

අශානෝ
2023.12.14.