‘කඩොල්කැලේ’ පරිසර කලාපය වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට තවත් ප්‍රමාද ඇයි ?

0
447

මීගමු පුරවරයේ , කඩොල්කැලේ ග්‍රාමයේ පිහිටි ක⁣ඩොලාන ශාක සපිරි අති සං⁣ව්දී පරිසර කලාපය මෙතෙක් වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කර නොමැති තත්ත්වයක් වාර්තා වෙි. මෙම අති සංවේදී පරිසර කලාපය මීගමු පුරවරයට පමණක් නොව, ගම්පහ දිස්ත්‍රික්කයටම ඇති ගොඩබිමකට මායිම්ව පිහිටි එකම කඩොලාන සපිරි අතිසංවේදී පරිසර කලාපය ලෙසද නම් කළ හැකිය. හෙක්ටයාර 14.5 ක වපසරියක් පුරා පැතිර ඇති මෙම අතිසංවේදී පරිසර කලාපය තුළ ශ්‍රී ලංකාවේ හමුවන කඩොලාන ශාක වර්ග 24 න් 19 ක් පමණ මෙම පාරිසරික කලාපය තුළ දැකගත හැකිය. ඒ නිසා මෙය පාරිසරික වශයෙන් විශාල වටිනාකමක් සහිත ජෛව විවිධත්වයෙන් අනූන වගුරු බිමක් ලෙසද හඳුන්වා දිය හැක. 2007 වසරේ දී පමණ එවකට නගරාධිපතිව සිටි නිමල් ලංසා අමාත්‍යවරයාගේ නගර සභා පාලනය තුළ මෙම අතිසංවේදී පරිසරික කලාපයේ ක⁣ඩොලාන ශාක සපිරි අතිසංවේදී අක්කර අටක පමණ ප්‍රමාණයක් අනීතිකව, බැකෝ යන්ත්‍ර යොදා ගෙන මුළුමනින්ම විනාශ කරන ලදී. ඒ සඳහා එවකට සිටි ප්‍රාදේශීය ලේකම් ශාන්ත මුහන්දිරම් ගේ සහායද නොමඳව ලැබී තිබුණු අතර එවකට මීගමුව මහා නගර සභාවේ සිටි නීල් ඩන්ස්ටන් හා බන්දුල නාඔටුන්න යන හිටපු නාගරික මන්ත්‍රීවරුන් විසින් මෙම සංහාරය සිදු කිරීමට මූලිකත්වය ගෙන තිබිණි. එහිදී ඔවුන් කියා සිටියේ කලපු ජලය පිරිපහදු කර පානීය ජලය බවට පත් කිරීමේ ජල පවිත්‍රාගාරයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය වන පර්චස් 100 ක බිම් ප්‍රමාණය මෙලෙස බැකෝ යන්ත්‍ර යොදා ගෙන කපා දැමූ බවයි. ඉන්පසුව ඔවුන් කියා සිටියේ මීගමුවේ නිවාස නොමැති පිරිස් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියකට මෙම භූමියේ අක්කර අටක පමන ප්‍රමාණයක් බැකෝ යන්ත්‍ර යොදාගෙන කඩොලාන කපා දැමු බවකි. එහෙත් ඊට පෙර ඉතා අවාසනාවන්ත ලෙස මෙරටට බලපෑ සුනාමි ව්‍යසනයෙන් පසුව මෙම පාරිසරික කලාපයේ නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා කරන ලද පරීක්ෂණවලදී මෙම භූමිය නිරීක්ෂණයට පැමිණි රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඒකමතිකව නිර්දේශ කර තිබුණේ මෙවැනි අති සංවේදී පරිසර කලාපයක් නිවාස ව්‍යාපෘතියක් සඳහා කෙසේ වත් සුදුසු නොවන අතර එවැනි අතිසංවේදී පරිසර කලාපයක් නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් යොදා නොගත යුතු බවයි. එමෙන්ම එම රාජ්‍ය නිලධාරින් කණ්ඩායම අවධාරණය කර තිබුණේ මෙම අධිසංවේදී පරිසර කලාපය තුළ නිවාස ඉදි කළහොත් එය මෙම පරිසර කලාපයට එක් පැත්තකින් මායිම්ව පිහිටි මීගමු කලපුවේ යහ පැවැත්මට එය ඉතා අහිතකර විය හැකි බවයි.

ඉන් පසුව වසර පහළොවක් පමණ ඉක්ම ගිය පසුත් එනම් මේ වන විටත් මෙම අතිසංවේදි පරිසර කලාපය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගනිමින් ” වන සංරක්ෂණ කලාපයක්” ලෙස මෙතෙක් නම් කර නොමැති වීම කණගාටුවට කරුණකි. එලෙසම දැනට වසර තුන හතරකට පමණ පෙර කාලයක් තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ පාරිසරික ප්‍රශ්නවලදී කැපී පෙනෙන මෙහෙයක් සිදුකළ ඉතා ආන්දෝලනාත්මක රාජ්‍ය නිලධාරිනියක් වූ ගම්පහ හිටපු වන අඩවි නිලධාරිනී “දේවානී” මහත්මියගේ මැදිහත්වීමෙන් මෙම අති සංවේදී පරිසර කලාපය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට එම කලාපයේ සීමාවන් සලකුණු කර මායිම් කනු ද සිටුවා තිබේ. එලෙස වෙන් කරගත් මෙම කඩොලාන භූමිය වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට මූලික විය යුතු මීට කලින් සිටි මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ හදිසි අභාවය නිසා, එම කාර්යය මෙතෙක් ඉටු වී නොමැත.


මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ, මීගමුව කඩොල් කැලේ ග්‍රාමයේම ජීවත් වන කලපු කළමනාකරණ සහ සංවර්ධන අධිකාරියේ සභාපති රමේෂ් නිලංග මහතා පවසන්නේ මේ කාර්යභාරය තුළ වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් ඉතා අකර්මණ්‍ය වී ඇති බවයි. ඔහු වැඩි දුරටත් පවසන්නේ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් පසු මීගමුවට පැමිණි නව ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් මූලික වී මෙම කාර්යභාරය සිදු කල යුතු බවයි. එනම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව කටයුතු කර ගම්පහ හිටපු වන අඩවි නිලධාරිනි දේවානී මහත්මියගේ මූලිකත්වයෙන් මායිම් සලකුණු යෙදූ මෙම අති සංවේදී පරිසර කලාපය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගෙන එය අතිසංවේදී පරිසර කලාපයක් ලෙස නීත්‍යානුකූලව නම් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කල යුතු බවයි. ඒ අනුව රමේෂ් නිලංග මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නේ එම කාර්යභාරය මීගමුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ යටතේ පවතින වගකීමක් බවයි.