දශක හතරක් ,මීගමුවට ඇඳුම් මැසු , රාගම, ඇන්ටනී

0
158

අද අපේ කතා නායකයා වෙන්නේ, පුරා දශක හතරක් එනම් වසර හතළිහක පමණ කාලයක සිට මීගමු නගරයේ ඇඳුම් මැසීමේ කාර්යයේ නිරත වෙන එහෙම නැත්නම් ටේලර් කෙනෙක් විදිහට තාමත් වැඩ කරන ඒ වගේම මීගමු නගරයට පැමිණෙන බොහෝ දෙනකුගේ මතකයේ රැඳෙන අපූරු සුවිශේෂී පුද්ගලයෙක්. ඔහු නමින් ඇන්ටනී ප්‍රනාන්දු. කවුරුත් ඔහුට ආදරේට නමි කියන්නේ ඇන්ටනි අංකල් කියලා. ඉතාම ජනප්‍රිය , තත්ත්වයෙන් උසස් යැයි සම්මත ටේලර් ⁣ෂොප් එහෙම නැත්නම් ඇඳුම් මහන ස්ථාන සුලබව දක්නට ලැබෙන මීගමුව නගරයේ තමන්ගෙම කියලා ස්ථිර තැනක් නොමැතිව, පාර අයිනක වෙනත් කෙනෙකුගේ කඩයක ඇඳුම් මහන මැෂින් එකකුත් තියාගෙන ඇඳුම් මහන අය එහෙම නැත්නම් ටේලර්ලා අද මීගමුවටම ඉන්නේ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි. ඇන්ටනි අන්කල් ඒ අතින් තවත් සුවිශේෂයි. මොකද ඔහු මීගමු නගරය තුළම වසර හතළිහකට වැඩි කාලයක් මේ රැකියාව තුළම නිරත වෙනවා .අන්න ඒ හේතුව නිසයි ඇන්ටනි අන්කල් මීගමු නගරයේ සුවිශේෂී පුද්ගලයෙක් ලෙස හඳුන්වන්නේ.
ඇන්ටනි අන්කල් මේ විදිහට වසර 40ක් මීගමුවේ නගරයේ සිට මේ වාගේ ටේලර් කෙනෙක් විදිහට වැඩ කෙරුවට ඔහුගේ පදිංචිය, රාගම, කුරුකුලාව ප්‍රදේශයේ. හැමදාම මීගමුවට එන්නේ යන්නේ දුම්රි⁣යෙන්. ඔහුගේ පියා රජයේ නිලධාරියෙක්. ඒ කියන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ. ඔහුගේ මව නම් රැකියාවක් කරේ නැතිලු. දරුවෝ හය දෙනෙකුගෙන් යුත් පවුලක ඇන්ටනි අන්කල් තමයි වැඩිමල්ම දරුවා . ඔහුට බාල සහෝදරයෝ තුන්දෙනෙකුයි බාල සහෝදරියෝ දෙන්නෙකුයි ඉන්නවා. මේ බාල සහෝදරයින්ගෙන් දෙන්නෙක් මේ වෙද්දි මිය ගිහිල්ලා.  ඇන්ටනි අන්කල් අධ්‍යාපනය ලබලා තියෙන්නේ ජාඇල දඬුගම ප්‍රදේශයේ තිබුණු ලංකා ක්‍රිස්තියානි සභාවට අයත් පාසලක.‍
ඒක නම් කරලා තිබුනේ ඒ කාලේ “ලංකා සභා පාසල” කියලාලු. ඉන් පස්සේ ඔහු සාමාන්‍ය පෙළ වෙනකම් අධ්‍යාපනය ලබලා තියෙන්නේ, ජාඇල තුඩැල්ලේ ක්‍රිස්තු රාජ පාසලෙන්. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඔහු වැඩ හයක් සම්මාන සහිතව සමත් වෙලා තියෙනවාලු . සාමාන්‍ය පෙළින් පස්සේ රජයේ රැකියාවකට යොමුවෙන්න කොතරම් උත්සාහ කළද අවුරුදු ගණනාවක් ගතවුණත් ඔහුට රජයේ රැකියාවක් හොයාගන්න නොහැකි වෙලා තියෙනවා. ඔහු ඒ ගැන කිව්වෙත් බොහොම කලකිරුණු ස්වභාවයකින්. ඒකට හේතු වෙලා තිබුණේ ඔහු එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වී එහි ක්‍රියාකාරී සාමාජිකයකු බවට පත්වෙලා ඉදලා තියෙනවා. නමුත් ඔහුගේ අධ්‍යාපනය හමාරනවාත් සමඟම බලයට පත්වෙලා තියෙන්නේ යු ඇන් පී හෙවත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්. මෙන්න මේ පක්ෂ දේශපාලන ප්‍රශ්නය නිසා තමයිලු , ඇන්ටනි අන්කල්ට රජයේ රැකියාවක් නොලැබෙන්න හේතුවුණේ. හමුදාවේ රැකියාවල් වලට, ග්‍රාම සේවක රැකියාවල් වලට වගේ රජයේ බොහෝ රැකියාවල් වලට ඔහු කොතරම් ඉල්ලුම්පත් යොමු කලත් මේ එකදු රැකියාවකට හෝ ඔහුව තෝරාගෙන නැත්තේ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වීම නිසා කියලයි ඔහු වැඩිදුරටත් ඒ ගැන කියන්නේ. ජේ. ආර්. ජයවර්ධන සහ ආර් ප්‍රේමදාස යන යූ ඇන් පී පාලකයන්ගෙන් පසුව චන්ද්‍රිකා ජනාධිපතිනියගේ නායකත්වයෙන් යුතුව නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි වුණත් ඒ වන විට ඔහුට වයස අවුරුදු 50 ඉක්මවා තිබීම හේතුවෙන් රජයේ රැකියාවකට යොමු වෙන්න අවස්ථාවක් ලැබුණේ ම නැහැ කියලත් ඔහු කියනවා.

” මගේ තාත්තා දේශපාලනය කළෙත් නෑ. නමුත් ඒ කාලේ හිටපු ඇන්ටනී. සී. පෙරේරා එක්ක තමයි මම දේශපාලනය කෙරුවේ . මම එයා නිසා තමයි දේශපාලනය කරන්න ගියේ . යූ ඇන් පී ආණ්ඩුව බලයේ හිටපු අවුරුදු 15 ක් ,17ක් වගේ කාලසීමාවේ අපිට කිසි දෙයක් කරගන්න බැරි වුණා. මම කවදාවත් දේශපාලන පක්ෂය මාරු කලේ නැහැ. අපි නිකන් මිරිඟුවක් පස්සේ ගියා වගේ වැඩක් වුනේ .හැබැයි අද ඉන්න අය එහෙම නෙමෙයි. වාසි තැනේදී හැරෙනවා. අපි එහෙම හැරුණේ නෑ” .

ඔහු සිනා මුසුව එහෙම කිව්වා. රජයේ රැකියාවක් නොලැබුනු ඇන්ටනි අන්කල් පසුව ඇඳුම් ඇසීමට එහෙම නැත්නම් ටේලරින් වැඩේට යොමු වෙනවා. ඔහුගේ ගම් පළාතේ දන්න කියන ටේලර් කෙනෙකුගෙන් මේ වැඩේ ඉගෙනගෙන තමයි ඔහු මීගමුවට පැමිණෙන්නේ. මීගමුවේ ග්‍රීන්ස් පාරේ තිබුණු ලුම්බිණි ටෙක්ස්ටයිල් කියන කඩේ ගාව ඇඳුම් මහන මැෂින් එකක් තියාගෙන මීගමුව නගරයේ ඔහු වැඩ කරන්න පටන් ගන්නවා . එදා කාලේ හිටපු බොහෝ දෙනෙක් ඇඳුම් මහගන්න ඔහු ගාවට ආවා. ඔහු මැහැව්වේ පිරිමි ඇඳුම් පමණයි. පිරිමින්ගේ අත් දිග අත් කොට ෂර්ට්. ඒ වගේම දිග කලිසම් කොට කලිසම් සහ නැෂනල් කිටි ඒ කියන්නේ ජාතික ඇඳුම ඔහුට හොඳට මහන්න පුළුවන්. මෙන්න මේ නිසා ඔහු මීගමුව නගරය තුල ඒ කාලේ ජනප්‍රිය ටේලර් කෙනෙක් වුනා. ලුම්බිණි ටෙක්ස්ටයිල් එක ලඟ වැඩ කරන්න පටන් අරන් අවුරුදු හයක් හතක් විතර ගියාට පස්සේ ඒ සමීපයේම තිබුණු ජයසිරි ටෙක්ස්ටයිල් එක ළඟත් ඔහු මේ ටේලරින් වැඩේ කරගෙන ගියා. ඉන් පස්සේ ඔහු ගියේ මී මරඩුම ගොඩනැගිල්ලේ තිබුණු තොම්සන් කඩේ කියලා හඳුන්වපු ඒ ෂොප් එක ඉස්සරහත් ඔහු මේ ටේලරින් වැඩේ කරගෙන ගියා. එතනින් පස්සේ තමයි ඔහු දැන් ටේලරින් වැඩේ කරන ග්‍රීන්ස් පාරේ ජී එස් වයින් ස්ටෝර්ස් එක ළඟට ආවේ. ඇන්ටනි අන්කල් දැන් මෙතනට ඇවිල්ලත් අවුරුදු 15ක් විතර වෙනවලු. ඔහු එක් අවස්ථාවක ටේලර් ෂොප් එකක මාසික වැටුපකට ඇඳුම් මසන්නෙක් විදිහට වැඩ කරලා තියෙනවාලු. ඒත් එහෙම ක්‍රමයකට අකමැති වුනු නිසාලු ඔහු මේ විදිහටම පෙර මෙන් පාරක් අයිනකට ඇවිල්ලා නිදහසේ කාටත් යටත් නොවී මේ ටේලරින් වැඩේ කරගෙන යන්න හිතුවේ.
ඔහු කියන විදිහට දැන් ඉන්න අලුත් පරම්පරාව, නියෝජනය කරන තරුණයෝ අලුතෙන් ඇඳුම් මහගන්න ඔහු ගාවට එන්නේ නැහැල්ලු. ඒ තරුණ අය සෑම විටම අලුතෙන් ඇඳුම් මහන්න යන්නේ නගරයේ හොඳ පෙනුමට තියෙන සහ ජනප්‍රිය ටෙිලර් ෂොප් වලටලු.අලුතෙන් ඇඳුමක් මහගන්න ඔහු ළඟට එන්නේ සෑහෙන කාලයක් තිස්සේ ඉඳලා ඔහුව දන්න කියන වයස අවුරුදු පනහ පමන ඉක්මවූ පැරණි පරම්පරාවෙි අය විතරයිලු. අනෙක් වෙලාවට එන බොහෝ අය එන්නේ එක්කෝ රෙඩිමේට් කලිසමක, ෂර්ට් එකක කොහේ හරි තැනක වැරදියට මහලා තිබුනොත් ඒක හදාගන්න හරි නැත්නම් ඉරුණු ,කැපුණු තැනක් වෙලාගෙන මහගන්න වගේ වැඩක් කරගන්න තමයිලු.

දැන් ඔහුගේ වයස අවුරුදු 71. 1975 ඒ කියන්නේ ලුම්බිණි ටෙස්ටයිල් එක ගාව වැඩ කරන කාලේ , ඔහු විවාහ දිවියට ඇතුල් වෙලා තියෙනවා.ඔහු විවාහ වෙලා තියෙන්නේ ඔහුගේම ඥාති සම්බන්ධතාවයක් තිබුණු වත්තල , හුණුපිටිය ප්‍රදේශයේ කාන්තාවක් සමඟ. ඇයගේ නම පුෂ්පා.ඇන්ටනී අන්කල් ට දියණියන් තිදෙනෙක් ඉන්නවා. වැඩිමල් දියණිය කොළඹ ප්‍රදේශයේපාසලක ගුරුවරියක්. දියණියන් දෙදෙනෙක්ම මේ වෙද්දී විවාහ වෙලාලු ඉන්නේ.

මීට වසර 12 කට පමණ කලින් ඇන්ටනි අන් කල්ට ඇතිවුණු හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් බයිපාස් සැත්කමක් පවා සිදු කරලා තියෙන්නේ.දැන් ඔහුට තියෙන්නේ ඇසක පෙනීම සම්බන්ධ රෝගී තත්ත්වයක් පමණයි. තමාගේ දියණියන් තිදෙනා ඔහුවත් ඔහුගේ බිරිඳවත් ඉතාම ආදරයෙන් රැක බලා ගන්නවා කියලා ඔහු කියනවා. ඇන්ටනී අන්කල් කියන විදිහට ඔහුගේ දියණියන් තිදෙනාම එතරම් කැමැත්තක් නැහැල්ලු ඔහු මෙහෙම මහන්සිවෙලා මේ රැකියාව කරනවාට. ඒ අය කියන්නේ රැකියාවට යන්න එපා කියලාලු . ඒත් ඔහු කියන්නේ නිවසට වෙලා කිසිදු වැඩක් පොළක් නොකර ඉන්නවට වඩා දරුවන්ටත් කරදරයක් නොවී තමාගේත් බිරිඳගේ වැඩ කටයුතු වලටත් , ජීවත්වීමටත් , යම් මුදලක් මේ ඇඳුම් ඇසීමේ කාර්යයෙන් ලැබෙන නිසාලු ඔහු මේ ටේලරින් වැඩේ තවමත් මේ විදිහට කරගෙන යන්නේ.
උදේ 9.00 සිට සවස 4.30 දක්වා සතියේ ඉරිදා දින හැර එලෙසම සති මැද දිනයකත් හැරෙන්නට සෑම සතියකම දින පහක් ඔහු මීගමුව නගරයට පැමිණ ඔහු සොයා එන අය වෙනුවෙන් තම සේවව සලසන්නට ඔහු ඕනෑම අවස්ථාවක සැදී පැහැදී සිටිනවා.

සටහන සහ ඡායා – තුසාර රෙහාන්

Rephrase with Ginger (Ctrl+Alt+E)