අපරාධකරුවන්ට දඬුවම් දෙන්නේ නැත්නම් , අපරාධ හැමදාම සිද්ධ වෙනවා. – සුනන්ද දේශප්‍රිය

0
165

මිට වසර 20 කට පෙර ඝාතනයට ලක්වු ජේෂ්ඨ ජනමාධ්‍යවේදි ඒ .නඩේසන්ගේ 20 වන සැමරුම මඩකලපුව ගාන්ධි උද්‍යානයේදි මැයි 31 වනදා සවස් වරුවේ පැවැත්වුණි.

නැගෙනහිර මාධ්‍යවේදි සංසදය, වෘත්තිය වෙබ්මාධ්‍යවේදින්ගේ සංගමය ඇතුළු මාධ්‍ය කණ්ඩායම් කිපයක් එක්ව මෙය සංවිධානය කර තිබුණි,
සමාජ හා දේශපාලන ක්‍රියාකාරින් රැසක් එක්ව සිටි මෙම සැමරුමට දකුණෙ නියෝජනය කරමින් ජේෂ්ඨ මාධ්‍යවේදි සුනන්ද දේශප්‍රිය ඇතුළු කිපදෙනකුද එක්ව සිටියහ

මෙම සැමරුමට එක්වෙමින් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ අපරාධකරුවන්ට දඬුවම් දෙන්නේ නැත්නම් , අපරාධ හැමදාම සිද්ධ වන බවය.

ඔහු තවදුරටත් මෙසේද අවධාරණය කර සිටියේය

අද මාධ්‍යවේදී නඩේෂන් සැමරීමට අප මෙහි එක් වෙලා ඉන්නවා. මට මතකයි අපේ නඩේෂන් සහෝදරයා අපේ ජනමාධ්‍යවේදියා ඝාතනය කරපු අවස්ථාවේ ඔහුගේ මෘත දේහය සමඟ යාපනයට ගිය සිංහල ජනමාධ්‍යවේදීන් දෙන්නාගෙන් එක්කෙනෙක් තමයි මම. මමත් ,බුද්ධිකත් තමයි ගියේ.

අපි දීර්ඝ කාලයක් එකට වැඩ කරලා තිබුණා.නමුත් අපි දන්න එක ප්‍රශ්නයක් තියෙනවා. නිමල රාජන්ගේ ඉඳලා ප්‍රගීත් එක්නැලිගොඩ දක්වා ඝාතනය කළ දෙමළ , සිංහල , මුස්ලිම් ජනමාධ්‍යවේදීන් සම්බන්ධයෙන් කිසිම සාධාරණයක් මේ රටේ ඉෂ්ට වෙලා නැහැ. කිසිම යුක්තියක් ඉෂ්ට වෙලා නැහැ.අපරාධකරුවෝ තාමත් රජකම් කරනවා.

නිදැල්ලේ ඉන්නවා.අපි දන්නවා සමහර ඝාතන කළේ කවුද කියලා. අපි අන්තර්ජාලයට ගියොත් , තියෙනවා නඩේෂන් ඝාතනය කළේ කරුණා කණ්ඩායම කියලා. අද අන්තර්ජාලය ලියලා තියෙනවා. එහෙම තිබුණත් ඒ ගැන කිසිම පරීක්ෂණයක් කරලා නැහැ.

ලංකාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි, අපරාධවලට දඩුවම් නොලැබීම කියන එක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා කිව්වා , මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය මේකයි කියලා. ජනමාධ්‍යවේදීන් පමණක් නෙවෙයි ඝාතනය වුණු දස දහස් ගණනක් දෙමළ ජනතාවට ඒවගේම සිංහල ජනතාවට කිසිම සාධාරණයක් මේ රටේ ඉෂ්ඨ වෙලා නෑ. ඉතින් අපි ජනමාධ්‍යවේදීන් වශයෙන් අපි හැමදාම කතා කරේ මේ ප්‍රශ්නය ගැන.

අපරාධකරුවන්ට දඬුවම් දෙන්නේ නැත්නම් , අපරාධ හැමදාම සිද්ධ වෙනවා. ඒක තමයි අදත් සිද්ධ වෙන්නේ. අදත් ජනමාධ්‍යවේදීන්ට විශේෂයෙන්ම දෙමළ ජනමාධ්‍යවේදීන්ට විශාල හිරිහැර වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.

ඒක සිද්ධ වෙන්නේ මොකද අපරාධකරුවන්ට දඩුවම් නොකළ නිසා . අපි හැමෝම මං හිතන්නේ මේ වගේ දවසක අධිෂ්ඨානයක් කරගන්න ඕනේ, ජනාධිපතිවරණය ලඟ එනවා. මහ මැතිවරණයත් ළඟ එනවා. අපි අහන්න ඕන ප්‍රශ්නේ තමයි, කවුද නඩේෂන් ඝාතනය කරපු මිනිස්සුන්ට දඩුවම් කරන්න කැමති. කවුද මේවා ගැන සොයන්නේ.

කවුද මේ ඝාතනය කළ ජනතාව ගැන දඬුවම් කරන්න කැමති. අන්න ඒ ප්‍රශ්නේ අපි , අපෙන් ඡන්දෙ ඉල්ලන්න එන කාගෙනුත් අහන්න ඕනේ කියලා මම හිතනවා. ඒවගෙන් විතරයි අපිට නඩේෂන් වගේ ඇත්තෙන්ම මඩකලපුවෙන් බිහිවුණු ඉතාමත් විශිෂ්ට ජනමාධ්‍යවේදීන්ට සාධාරණය ඉෂ්ට කරන්න පුළුවන් වෙන්නේ.

ඝාතනයට ලක්වු මාධ්‍යවේදින්  සෑම වසරකදිම මඩකලපුවේ ගාන්ධි උද්‍යානයේදි සැමැරුම් සංවිධානය කිරිමට නැගෙනහිර මාධ්‍යවේදින්ගේ සංසදය කටයුතු කර තිබුණ අතර මේ අවස්ථාවන් ගණනාවකදිම වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය  මේ සැමරුම් සදහා එක්ව සිටිම විශේෂත්වයකි.

මර්ධනයට එරෙහිව උතුරු නැගෙනහිර සහ දකුණේ මාධ්‍ය සංවිධාන හා මාධ්‍ය ක්‍රියාකාරින් එක්ව කටයුතු කිරිම අනිවාර්යෙන් සිදුවිය යුත්තක් වුවද ඇතැම් මාධ්‍ය සංවිධාන මෙය ගැන අවංකව උනන්දු නොවිම කණගාටුවට කරුණකි