මීගමු කලපුවේ අවිධිමත් සහ අනවසර ජැටි

0
171

. …..
………………………………………… මීගමුව කලපුව අද වන විට අනිතිකව සහ අවිධිමත්ව සිදුවන ක්‍රියාවලින් ගණනාවකට ලක් වෙමින් එහි කලපුවේ ජීව ගුණය දිනෙන් දිනම පිරිහී යමින් පවතී. පසුගිය සතියේදී අපට වාර්තා වූයේ මීගමුව-පිටිපන, අලුත්කූරුව ප්‍රදේශයේ ධීවරයකුට අයත් ඉඩමේ මායිම පිහිටි කලපු ඉවුරේ තිබූ ක⁣ඩොලාන ශාක කපා දමා විනාශ කර කලපු ඉවුරේ සිට මීටර් දහයකටත් වඩා වැඩි ප්‍රමාණයක් පස් දමා ගොඩ කර ඇති ආකාරයයි.

මෙම පුවත අප ප්‍රවෘත්ති වෙබ් අඩවියේද වාර්තා කළෙමු. මීගමුව කලපුව පිළිබඳව මෙලෙස සිදුවන අනීතික ක්‍රියාවලින් පිළිබඳව විමසීළිමත්වීමේදී මීගමුව කුරණ ප්‍රදේශයේදී කලපු ධීවරයින් පිරිසක් අප වෙත වාර්තා කළේ කුරණ ප්‍රදේශයේ කලපු ඉවුරේ දැනට කාලයක සිට අනීතිකව ජැටියක් ඉදිකර ඇති බවයි. මේ ස්ථානය හමුවන්නේ , මීගමුව කොළඹ පාරේ කුරණ හන්දියේ , සිට කලපුව දෙසට පිහිටි" පීටර් පැස්කුවල් ප්‍රනාන්දු මාවත " කෙළවරේය.එම ස්ථානය උද්‍යාන සැකසුම් කරන කොන්ක්‍රීට් ගල් අල්ලා ඇතිරූ හිස් ඉඩම් කොටසකට යාවෙන පරිදි කලපු ඉවුරේ සිට තවත් මීටර් කිහිපයක් ඉදිරියට කලපු ජල තීරුවේම කොන්ක්‍රීට් කණු ගසා මෙම ජැටිය ඉදිකර ඇති ආකාරය දැක ගත හැකිය.

මේ පිළිබඳව අපට විස්තර සැපයූ ධීවරයින් පිරිස කියා සිටියේ මෙම ජැටිය දැනට වසරක පමණ කාලයක සිට මෙම කලපු තීරුවේ ස්ථාපිත කර ඇති ජැටියක් බවයි. එමෙන්ම එලෙස තැනූ ජැටිය සමීපයේ ඇති ඉඩමට යාව අනෙක් ඉඩම් කොටස සමීපයේම උත්සව පවත්වන හෝටලයක් වැනි ව්‍යාපාරික ස්ථානයක් ද ඇති බව එම ධීවර පිරිස වැඩිදුරටත් ප්‍රකාශ කරයි. එමෙන්ම මේ ධීවර පිරිස වැඩිදුරටත් අවධාරණය කරන්නේ වගකිවයුතු නිලධාරීන්ට පසුගිය කාලයේ කීහිප වතාවක්ම දැනුම් දුන් නමුත් මෙම ජැටිය ස්ථිර ලෙස කලපු ඉවුරෙන් ඉවත් කරගන්නට එම නිලධාරීන් මෙතෙක් උත්සුක නොවූ බවයි.

මේ පිළිබඳව අප මීගමුව කලපු සංවර්ධන අධිකාරියේ සභාපති රමේෂ් නිලංග මහතාගෙන්ද විමසීමක් කලෙමු. එහිදී ඔහු කියා සිටියේ ,අනීතිකව ඉදිකර ඇති මෙම ජැටිය සම්බන්ධයෙන් දෙවන කුරණ ප්‍රදේශයේ ස්ථාපිත "ශාන්ත ආනා ග්‍රාමීය ධීවර සංවිධානය" මගින් මීට මාස නමයකට පමණ පෙර සිට එනම් "21/09/2023" දින කලපු ධීවරයන් පිරිසක් සමග එක්වී තමන් ඒ පිළිබඳව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුවත් කළ බවයි. ((එම ලිපියේ ඡායා පිටපතක් ද මෙහි පහතින් පලකර ඇත.)) එහෙත් ඔහු පවසන්නේ මෙම ජැටිය තනා ඇති එම ඉඩම් හිමිකරු එක් කාලයකට මේ ජැටිය ගලවා ඉවත් කරගන්නා අතර තවත් ටික කලකින් නැවතත් එම ජැටිය එම ස්ථානයේම ඉදි කරගන්නා බවයි.

මේ පිළිබඳවද විස්තර සහිතව තමන් මීගමුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයාගේ සිට වගකිවයුතු සියලුම නිලධාරීන්ට වතා කිහිපයකදීම ලිඛිතව සහ වාචිකව දැනුවත් කළ ද ඒ සඳහා නීත්‍යානුකූලව පියවරක් ගෙන එම ජැටිය එම ස්ථානයෙන් ස්ථීරවම ඉවත් කර ගැනීමට මෙතෙක් කිසිවෙකු උත්සාහයක් හෝ ගෙන නොමැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙලෙස නීත්‍යානුකූල නොවන ලෙස ඉදිකර ඇති මේ ජැටිය පිළිබඳව මීගමුව කලපුව සම්බන්ධයෙන් නීත්‍යානුකූල වගකීම, ඇති මීගමුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරු ඉසුරු මහතාගෙන් අප විමසීමක් කළෙමු. ඔහු ප්‍රකාශ කළේ මෙම ජැටිය වසරක පමණ කාලයක සිට මෙම ස්ථානයේ ඉදිකර ඇති අතර එය ගලවා දමන ලෙස ප්‍රකාශ කළ විට එම ඉඩම් හිමියා විසින් එය ගලවා දමන බවත් මෙම ජැටිය පිහිටි එම ඉඩම සමීපයේ ම ඇති හෝටලයේ ප්‍රිය සම්භාෂණ සහ උත්සව පවතින අවස්ථාවල නැවතත් මෙම ජැටිය එම ස්ථානයේ ඉදිකරන බවයි.

එනිසා මේ වන විට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මීගමු කාර්යාලය මගින් ඉඩම් හිමියාට අවසාන වශයෙන් දැනුවත් කර ඇත්තේ මෙම ජැටිය ස්ථිර ලෙස ගලවා ඉවත් කර ගන්නා ලෙසයි. ඒ සඳහා සතියක පමණ කාලයක් අද (10) වැනිදා (10/06/2024) දක්වා ලබා දී ඇති අතර , එදිනට පෙර එම ජැටිය ගලවා ඉවත්කර නොගන්නේ නම් පොලිසියට පැමිණිලි කර අවශ්‍ය ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට, මේ වන විට ඉඩම් හිමියාව දැනුවත් කර ඇති බව ද වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු ඉසුරු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

අනවසරයෙන් ඉදිකළ මෙම ජැටිය පිළිබඳව විස්තර අප වෙත පැවසූ එම ධීවර පිරිස වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙවැනි ආකාරයෙන් කලපු ඉවුරේ සිට කලපුවේ ජල කොටසට විහිදී යන පරිදි කලපු ජලයේ කොන්ක්‍රීට් කණු ඉදිකර තාවකාලික හෝ ස්ථිර ලෙස ජැටි වැනි ඉදිකිරීම් කළ විට කලපුවේ ඉවුරුවල පවතින ස්වභාවික ජීව ගුණය විනාශ වී යන බවයි.

කලපු ඉවුරු තුළ ස්වභාවිකව වැවෙන තෘණ පඳුරු වැනි වෙනත් ජලජ ශාකයන් ආහාරයට ගෙන කලපුවේ මතුස්‍ය පැටවුන් පෝෂණය වන බවත්, එලෙසම එවැනි ශාක පද්ධතීන් තුළ මත්ස්‍ය .පැටවුන් අභිජනනය වීම බහුල ලෙස සිදුවන බවත් ,

එනිසා මෙවැනි ඉදිකිරීම් නිසා කලපුවේ ඉවුරු මායිම්වල එලෙස සෑදෙන ස්වභාවික ජලජ පැළෑටින් විනාශ වන බවත් ඔවුන් අවධාරණය කරයි. එලෙස කලපුව තුළ සහ කලපු ඉවුරු මායිම්වල ස්වභාවිකව හටගන්නා එවැනි ජලජ ශාකයන් විනාශ වුවහොත් එය කලපුවේ මත්ස්‍ය ගහනයට එනම් කලපුවෙන් ලැබෙන අස්වැන්නට සෘජුවම බලපෑ හැකි ප්‍රධානතම හේතුවක් වන බවද එම ධීවර පිරිසගේ අදහසයි.