මතට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කර නැවත සමාජගත කරන “සුවසාර කැඳැල්ල”

0
270

මීගමුව-කුරන ප්‍රදේශයේ මනරම් පරිසරයක මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ.

මේ අනුව මීගමුව සහ කොච්චිකඩේ පොලිස් වසම් වලට අයත් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් සඳහා ප්‍රතිකාර කිරීම සහ පුනරුත්ථාපනය කිරීම මෙම ප්‍රජා මධ්‍යස්ථානය මඟින් සිදුවේ.මීගමුව ප්‍රජා පොලිස් ඒකකය මගින් රජයේ ප්‍රතිපාදන කිසිවක් වැය නොකර මෙම මධ්‍යස්ථානය පවත්වාගෙනයාම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි. ප්‍රජා පොලිසියේ මෙහෙයවීමෙන් ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතන ඇතුළු සම්පත් දායකයන්ගෙන් ලැබෙන ප්‍රදානයන් මගින් මෙම මධ්‍යස්ථානයේ සියළු කටයුතු පවත්වාගෙන යාම සිදු වේ.
මෙම මධ්‍යස්ථානය මෙහෙයවනු ලබන්නේ මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂක තල්වත්ත මහතාගේ සහ කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ශ්‍රීනික ජයකොඩි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානය කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි නාලක සේනානායක මහතාගේ මෙන්ම කොට්ඨාස භාර පොලිස් අධිකාරි රත්නායක මහතාගේ මුලිකත්වයෙන් ඇරඹුණු අතර මෙහි සමස්ත මෙහෙයුම් කටයුතු

කොට්ඨාශභාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකරනු ලබයි.

මධ්‍යස්ථාන භාර නිලධාරී, ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ ද සිල්වා මහතා සහ රාජකාරියේදී සිටි තවත් පොලිස් නිලධාරීන් කීහිපදෙනෙක්

මේ වන විට මෙම මධ්‍යස්ථානයේ කොච්චිකඩේ පොලිස් වසමේ මතට ඇබ්බැහිවූවන් 25 දෙනෙකු සහ මීගමුව පොලිස් වසමේ මතට ඇබ්බැහිවූවන් 28 දෙනෙකු ඇතුළුව 50 දෙනෙකුට වැඩි මත් ලෝලීන් ප්‍රමාණයක් මෙහි ප්‍රථම අදියර යටතේ පුනරුත්ථාපනය කෙරේ.

මෙම පිරිස පුනරුත්ථාපනය කිරීමේදී ප්‍රථමයෙන්ම විශේෂ වෛද්‍ය පරීක්ෂණයට ලක් කෙරේ. ඒ සඳහා මීගමුව මහා රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාගේ අනුමැතියෙන් මීගමුව රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ රෝහලේ කාර්ය මණ්ඩලයේ දායකත්වය හිමි වේ. එහිදී මෙම මධ්‍යස්ථානය තුළ පුනරුත්ථාපනය වන පිරිසට මත්ද්‍රව්‍ය භාවිතයේදී ඇති වූ ශාරීරික රෝග පීඩාවලට නිසි වෛද්‍ය ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් ලබාදීම සිදු කෙරේ.

එමෙන්ම මෙම මධ්‍යස්ථානය තුළ පුනරුත්ථාපනය වන පිරිසට උදෑසන, දහවල් සහ රාත්‍රී ප්‍රධාන ආහාර වේල් සහ උදේ , සවස තේ පානයද නොමිලේම ලබාදීමට මෙම මධ්‍යස්ථානය මඟින් කටයුතු සම්පාදනය කර තිබේ.

එලෙසම මේ මධ්‍යස්ථානය තුළ පුනරුත්ථාපනය වන පිරිසට දිනපතා පාහේ හරවත් දේශන වලට සහභාගි වීමට අවස්ථාව සලසා ඇත. මේ සදහා මිගමු රෝහලේ අදාල විෂය ප්‍රගුණ කළ වෛද්‍යවරුන් ,ඇතුළු සම්පත් දායකයන් මේ සදහා එක්ව සිටිති.

එමෙන්ම අන්තරාදායක මත්ද්‍රව්‍ය නාශක අංශයේ දේශකයන් මේ කටයුත්තට එක්ව සිටිති. ඒ මෙන්ම මෙලෙස පුනරුත්ථාපන වන පිරිස්වල දක්ෂතා හඳුනාගෙන ඒ අයව විවිධ රැකියාවන්වලට යොමු කිරීමට කටයුතු සංවිධානය කර තිබේ.

මෙම මධ්‍යස්ථානය භාරව කටයුතු කරන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ ද සිල්වා මහතායි. ඊට අමතරව තවත් පොලිස් නිලධාරීන් 10 දෙනෙකු පමණ මේ මධ්‍යස්ථානයේ විවිධ කටයුතු සහ වගකීම් දරමින් සේවයේදී සිටි.

එලෙසම මේ මධ්‍යස්ථානයේ කටයුතුවලට සහායවීම සඳහා ” සිලවම් “නමැති පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩලයේ පිරිසක්ද ස්විච්ඡාවෙන් මෙහි සේවයේදී සිටී. විශේෂයෙන්ම මෙම මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන පිරිසට ආහාර පිසීමේ කටයුතු සහ මධ්‍යස්ථානයේ ආරක්ෂක කටයුතු “සිලවම්” පුරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය විසින් සිදු කරනු ලබයි.

මේ මධ්‍යස්ථානය පිළිබඳවත් එහි පුනරුත්ථාපන කාර්යයන් පිළිබඳවත් අප වෙත අදහස් දැක්වූ මෙම මධ්‍යස්ථානය භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ ද සිල්වා මහතා පවසන්නේ මෙම මධ්‍යස්ථානය හරහා සිදුවන පුනරුත්ථාපන ක්‍රියාවලියෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉතා යහපත් පුරවැසියන් ලෙස නැවත සමාජය ගත කළ හැකි බවයි.

” සුවරසාර කදැල්ල ගරු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ විශේෂ සංකල්පයක්. දැන් මෙතැනදී මේ අයව වෛද්‍ය පරීක්ෂණයට ලක් කරලා ලෙඩ රෝග වලට ප්‍රතිකාර කරලා, මත්ද්‍රව්‍ය ගැන, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම ගැන හොඳින් වටහා දීලා, ඒත් එක්කම පවුලේ අනිත් අයට වෙන දේවල් ගැන එයාව දැනුවත් කරලා තමයි අපි මේ අයව මෙතනින් සමාජයට නැවත යවන්නේ.

ඒත් එක්කම මෙයාලට යම් දක්ෂතා නිපුණතා තියෙනවා නම් ඒ දක්ෂතා නිපුණතා වලට සරිලන රැකියා අවස්ථාවන් දැන් විශේෂයෙන්ම කියනවනම් සමහර අයට ජල නළ කාර්මික කාර්යයන් පිළිබඳව හොඳට දක්ෂතා තියෙන අය ඉන්න පුළුවන්., ඒ වගේම මේෂන් කර්මාන්තයේ වැඩ හොඳින් කරන අයත් ඉන්න පුළුවන් ඉතින් අන්න ඒ වගේ අයට එයාලට කරන්න පුළුවන් රැකියාවන් එහෙම සොයා දෙන්නත් අපි කටයුතු කරනවා. ඒ එක්කම ඒ අයව සමාජයෙන් යම් කොන් කිරීමට ලක්වෙලා තියෙනවා නම් අර “කුඩුකාරයා ” කියලා, ආන්න ඒ දේ ,ඒ නම නැති කර ගන්න අපි එයාලට සහතික පත්‍රයක් දීමටත් කටයුතු කරනවා. මේ පුනරුත්ථාපන කාලසීමාව නිමා වෙලා යන අයට ඒ සහතික පත්‍රය හිමිවෙනවා. අපි ඒ සහතික පත්‍රය දෙන්නේ මෙයාල දැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමෙන් පුනරුත්ථාපනය වෙලා ඉන්නේ කියන පණිවිඩය එහෙම නැත්නම් ඒ සහතිකය ,අපි සමාජයට දෙනවා. එතකොට මෙයාලට හොඳ අවස්ථාවක් ලැබෙනවා කිසිදු බියක් සැකක් චකිතයක් නොමැතිව සමාජයට ගිහින් ඒ රැකියා කටයුතු වාගේ දේවල් කරන්න. එහෙම සහතිකයක් දීලා, සමාජයට යවලා, අපි එතනින් එයාව අත්හරින්නේ නෑ. අපේ පොලිස් වසමේ ග්‍රාම සේවක කොට්ඨාශ වල සිටිනවා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු පිරිසක් මේ අය ගැන පසු විපරම් කරන්න. ඒ අයට අපි කියන්නේ “සමාජ මාතාවෝ කියලා. ඒ අය මෙයාලා ගැන පසු විපරම් කරනවා.මොකද මේ අය නැවත සමාජයට ගියොත් එහිදී සිදුවන දේවල් වාර්තා කරන එක තමයි මේ අයගේ මූලික කාර්යභාරය. ඉතින් මෙයාලටනැවත මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමට තියන හැම ඉඩකඩක්ම වාගේ වහලා තියෙන්නේ.. ඉතින් මේ මධ්‍යස්ථානයයේ සියලු කටයුතු කරගෙන යන්න ප්‍රදේශයේ ව්‍යාපාරිකන් ඇතුළු සම්පත් දායකයින් පිරිසක්ම අපිට විශාල සහයක් ලබා දෙනවා.විශේෂයෙන්ම මේ මධ්‍යස්ථානය මෙතන පටන් ගන්න ගොඩනැගිලි සහිත මේ භූමිය අපිට නොමිලේම ලබා දුන්නේ මේ ඉඩම සහ මේ ගොඩනැගිල්ල අයිතිකර මහත්මයා. ඒ මහත්මයා මේ දිනවල විදේශගත වෙලා ඉන්නේ. ඉතින් අපේ මේ කාර්ය පිළිබඳව අපි ඔහුට කිව්වාහම ඉතාම සතුටින් තමයි මේ ස්ථානය ලබා දුන්නේ. මෙතන තව අඩුපාඩු තියෙනවා. ඉතින් ඉදිරි කාලයේදී අපි බලාපොරොත්තු වෙනවා, ප්‍රදේශයේ වෙසෙන දානපතින්ගෙන් ව්‍යාපාරිකයන්ගෙන්, සහ සමාජ ක්‍රියාකාරිගෙන් ඒ සඳහා සහයෝගය ලැබෙයි කියලා”

ස්විච්ඡාවෙන් සේවය කරන ” සිලවම් ” පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වැඩසටහන් සම්බන්ධීකාරක දුමින්ද ජයකොඩි මහතා

සුවසාර කැදැල්ලට යම් ආකාරයකින් ආධාර උපකාර කිරීමට ඔබත් කැමතිනම් මේ පුනරුත්ථාපන මධ්‍යස්ථානය භාරව කටයුතු කරන පහත දුරකථන අංක වලට අමතන්න.
ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ ද සිල්වා – දුරකථන අංකය. 077-3970628

පො.සැ – ජානක මහතා 0773429238