සාගර විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවන් 6ක් සහ සහතික පත්‍ර පාඨමාලා 15ක්

0
130

සාගර විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවන් 6ක් සහ සහතික පත්‍ර පාඨමාලා 15ක් පවත්වනු ලබන අතර නිපුණතා සංවර්ධනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කෙරෙන බව එම  විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය වසන්ත රත්නායක මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය. 

2014 අංක 31 පාර්ලිමේන්තු පනතෙන් ආරම්භ කළ මෙම විශ්වවිද්‍යාලය ජාතික ධීවර හා නාවික පුහුණු ආයතනය ලෙස ආරම්භ කර ඇති අතර  2015 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන බවත් මෙම විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තරව පිළිගත් උපාධියක් ලබා ගැනීමට විද්‍යාර්ථින්ට හැකි වන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.එසේම උපාධියක් සහ වෘත්තීය පුහුණු සහතිකයක් ලබා දෙන ලංකාවේ එකම ආයතනය සාගර විශ්වවිද්‍යාලය බව පවසන ඒ මහතා සාගරය පිීළිබඳව පර්යේෂණයන් සිදු කිරීමට මෙන්ම නීලහරිත ආර්ථිකයක් බිහි කිරීමට මෙම විශ්වවිද්‍යාලය විශාල දායකත්වයක් ලබා දෙන බවත් පැවසීය.

වසරකට විද්‍යාර්ථීන් 300කට ආසන්න ප්‍රමාණයක් මෙම විශ්වවිද්‍යාලයෙන් පිටවන අතර ඔවුන්ට දෙස් විදෙස් රැකියා වෙළඳපොළතුළ විශාල ඉඩක් විවර වන බව පවසන ඒ මහතා කොරියානු රජය සමග  ගිවිසුම් අත්සන් කර ඇති බැවින් වසරකට සිසුන් 15කට පමණ අන්තර් පුහුණු කාලසීමාවකට එම රටේ අධ්‍යයන කටයුතු සිදු කළ හැකි බවද කීය.

ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මෙන්ම රැකියාවක නියුතු පුද්ගලයින්ටද මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යයන කටයුතු සිදු කළ හැකි අතර ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ද සහභාගී විය හැකි වීම මෙම පාඨමාලාවන්වල ඇති සුවිශේෂිත්වය වේ.

වසරකට සිසුන් 50-60 ආසන්න සංඛ්‍යාවක් මෙම විශ්වවිද්‍යාලය සඳහා ලියාපදිංචි කෙරෙන අතර අධ්‍යයන  පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව එම විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියෙන් සහ අදාළ කාලසීමාවේ පුවත්පත් දැන්වීම් මගින් ලියාපදිංචි වීමට හැකි බවද රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.