වැලිකඩ සමුහඝාතන දිනයේ’ දකුණේ ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රහාරයක්

0
128
යුද හමුදාව විසින් යාපනයේ තිරුනෙල්වේලියෙන් ආරම්භ කර රාජ්‍ය අනුග්‍රහයෙන් රට පුරා හතලිස් එක් අවුරුද්දකට පෙර දියත් කළකළු ජූලියේ දී, වැලිකඩ බන්ධනාගාරය තුල දේශපාලන සිරකරුවන් පහනහට අධික පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ දිනවල උතුරට පැමිණෙමින් සිටින, ඉදිරි ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයන් අඩුම තරමේ සමාව හෝ ඉල්ලා නොමැති බවට දෙමළ දේශපාලනඥයෙක් කනස්සල්ල පළකර  තිබේ.

“අපි ජනාධිපතිවරණයකට මුහුණ දෙන මොහොතක වෙලාත්, දකුණේ සිට මෙහෙට එන අපේක්ෂකයන් සිදු වෙච්ච මේ වගේ ඝාතන වලට සමාව ඉල්ලලා තියනවාද කියලා බැලුවොත්, නැහැ. නැතිනම් මෙයාලාට මොනවාහරි යම් වන්දි හෝ ආධාරයක් දීලා තියනවාද කියලා බැලුවොත්, ඒකත් නැහැ.”

ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුනේ  (EPRLF)  නායක හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් එම චෝදනාව එල්ල කලේ 1983 කළු ජූලියේදී වැලිකඩ සිරගෙදර සහ 2000 දී බිඳුණුවැව පුනරුත්ථාපන කඳවුර ඇතුළු  දිවයිනේ වෙනත් බන්ධනාගාර හා රැඳවුම් ස්ථාන තුළදීත් ඝාතනය කරන ලද දෙමළ දේශපාලන සිරකරුවන්  සිහිකිරීම  කිරීම  සඳහා වෙන්කෙරුණු ජූලි 25 ‘වැලිකඩ සමුහඝාතන දිනයේ’ වින්දිතයන්ගේ ඥාතීන් සමග ආගමික නායකයන්, දේශපාලකයන් සහ සිවිල් ක්‍රියාධාරීන් කැටුව යාපනයේ තන්දෙයි සෙල්වා ශ්‍රවනාගාරයේ පැවැති අනුස්මරණයට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව තුළ ඝාතනයට ලක් වු සියලුම දෙමළ ජනතාව, ත්‍රස්තවාදීන් ලෙස මේ රටේ ආණ්ඩු විසින් දක්නා ලද බව පැවසු හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් තව දුරටත් සඳහන් කළේ දෙමළ ජනතාව සිය අයිතීන් වෙනුවෙන් කළ සටන සම්බන්ධයෙන් ඉදිරි පරම්පරාවට දැනුම්වත් කළ යුතු බවයි.

“මේ රටේ ඝාතනයට ලක් වූ සියලුම දෙමළ ජනතාව, මේ රටේ රජය ත්‍රස්තවාදීන් විදිහටයි දැක්කේ. ඉතින් මේ අරගලයෙන් අපිට දහස් ගණන් මිනිස්සු නැතිවෙලා. ඒ විතරක් නෙවෙයි හමුදාව, නාවික හමුදාව ඇතුළු විවිධ පාර්ශව විසින් දස දහස් ගණන් මිනිසුන් ඝාතනය කර තිබෙනවා. ඉතින් ඒ තත්වය තුළ ඝාතනයෙන් දිවි ගලවා ගත් අය වෙන අපි දෙමළ ජනතාව තම අයිතීන් වෙනුවෙන් කොපමණ දුරක් සටන් කළාද කියලා අපි ඊළඟ පරම්පරාවට ගෙනි යන්න ඕන.”

ජනාධිපතිවරණයට තරග කරන බැවින් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට 2024 ජුලි 29 වැනිදා කොළඹදී දැනුම් දීමට පෙර අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ ජුලි 23 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් 41 වසරකට ඉහත කළු ජූලිය සම්බන්ධයෙන් දෙමළ ජනයාගෙන් සමාව ඉල්ලා තිබුනේ රටේ අඳුරුම කාල පරිච්ඡේදය ලෙසින් එය හඳුන්වමිනි.

යාපනයේ තන්දෙයි සෙල්වා ශ්‍රවනාගාරයේ පැවැති අනුස්මරණය සදහා ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා, දෙමළ ජාතික හරිත ව්‍යාපාරයේ සභාපති සහ උතුරු පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය පොන්නුතුරෙයි අයින්ගරනේෂන්, යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පිඨාධිපති සී. රගුරාම්, ඥාතීන්, නිදහස ලැබු දේශපාලන සිරකරුවන්, සිව්ල් සංවිධාන ක්‍රියාකාරීන්, විශ්ව විද්‍යාල සිසුන්  එක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

මීට අමතරව ටෙලෝ, ප්ලොට්, ඊ.පී.ආර්.එල්.එෆ්, ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂය හා දෙමළ ජාතික පක්ෂය යන දේශපාලන පක්ෂ පහෙන් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය ( DTNA)  විසින් වැලිකඩ සංහාරයෙන් මියගියවුන් සිහිපත් කර සති අන්තයේ තන්දෙයි සෙල්වා ශ්‍රවනාගාරයේ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පවත්වා තිබේ.

ඊට පසුදා යාපනය වෙළෙඳ සංගමය සහ සිවිල් සංවිධාන එකාබද්ධව පැවැත්වූ අනුස්මරණයට ආගමික නායකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් හා දෙමළ දේශපාලකයන් එක්ව සිටි බව පළාත්බද වාර්තාකරුවෝ පවසති.

1983 ජූලි 25 – 27


83 කළු ජූලි සංහාරයේදී  වැලිකඩ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි ටෙලෝ සංවිධානයේ නායකයා ඇතුළු දෙමළ දේශපාලන සිරකරුවන් පනස් හතර දෙනකු සිංහල සිරකරුවන් විසින් සිර මැදිරි තුළදීම කපා කොටා මරා දමන ලද්දේ රැකවලට කැඳවා සිටි ආරක්‍ෂක හමුදාවන්ගේ සහ බන්ධනාගාර අධිකාරීන්ගේ පූර්ණ අනුබලය සහ අනුග්‍රහය යටතේය.

ඇස් උගුල්වා  ඉතාමත් අමානුෂික ලෙස මරා දැමුණු කුට්ටමනි ඇතුළු 35 දෙනා 1983 ජූලි 25 වැනිදා ඝාතනය කළ සිංහල සිරකරුවෝ  බන්ධනාගාර අංගනයේ පිහිටුවා ඇති බුද්ධ ප්‍රතිමාව අභියස ගොඩගසන ලද සිරුරු අතර පණ ඇතිවුන් සොයා මියයන තුරු පහර දුන්හ.

අනතුරුව  ජූලි 27 වැනිදා යළිත් දෙමළ සිරකරුවන් රඳවා සිටි පළමු මහලේ තරුණ වාට්ටුවට කඩා වැදුණු සිංහල සිරකරුවන්  විසින්  ගාන්ධියම් ව්‍යාපාරයේ නායකයෙක් වූ  දොස්තර  රාජසුන්දරම් ඇතුළු තවත් 18 දෙනෙකු මරා දමන ලද මුත් ජිවිත ආරක්ෂාව  වෙනුවෙන් හැකි උපරිමයෙන් සටන් කිරීමෙන්  එහි දී දිවි ගළවා ගත්වුන් අතර  වත්මන් ධිවර ඇමති ඩග්ලස් දේවානන්ද, තම්බිපිල්ලේ මහේෂ්වරන් නොහොත් පනාගොඩ මහේෂ්වරන් , ඊරෝස්  සංවිධානයේ අන්තොනිපිල්ලේ අලගිරි, ගාන්ධියම් ව්‍යාපාරයේ  එස්. ඒ  ඩේවිඩ්  ඇතුළු කිහිප දෙනෙක් විය.

සිය අත්දැකීම් අළලා එස්.ඒ. ඩේවිඩ් විසින් පසු කලෙක ඒ පිළිබඳව ලියා ඇති අතර අන්තොනිපිල්ලේ අලගිරි වරක් ජේ ඩී එස්  වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර තිබුණේ වැලිකඩ අමානුෂික ප්‍රහාරය මෙහෙයවනු ලැබුවේ  ඉතාලියේ අලිතාලියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පැහැර ගැනීමේ වරදට වැලිකඩ සිරභාරයේ සිටි සේපාල ඒකනායක බවය.

ටෙලෝ නායක කුට්ටමනී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කිරීමට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ කටයුතු කළ ද ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා සිටින බැවින් මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට පාර්ලිමේන්තුවට රැගෙන ඒමත් එවකට කථානායක බාකීර් මාකර් ප්‍රතික්ෂේප කළේය.

 

2000 ඔක්තෝබර් 25 බිඳුණුවැව

දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන පසුව බණ්ඩාරවෙල බිඳුණුවැව පුනරුත්ථාපන කඳවුරේ රඳවා සිටි 41 දෙනකු අතරින් 27 දෙනෙකු 2000 ඔක්තෝබර් 25 වැනිදා අලුයම කපාකොටා මරා දමමින් තවත් 14 කට වැඩි සංඛ්‍යාවකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ පොලිසියට හා ගම්වාසීන්ටය.

බිදුනුවැව සංහාරය පිළිබඳ සැකයට අත්අඩංගුවට ගන්නා ලද 41 දෙනා අතරට  බණ්ඩාරවෙල හා දියතලාව පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනා ඇතුළු පොලිස් නිලධාරින් 19 දෙනෙක් වූහ. ඉතිරි පිරිස බිඳුණුවැව ගම්වාසීන්ය. 2003 ජුලි 01 වැනිදා අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම වූ පොලිස් නිලධාරින් දෙදෙනකු ඇතුළු වැරදිකරුවන් හතර දෙනාම 2005 වසරේ මැයි 17 වැනිදා නිදහස් කිරීමට අභියාචනාධිකරණය විසින් නියෝග කරන ලදී.

එසේ වුවත්, රැඳවියන් 27 දෙනකු කපා කොටා මරා දමා තවත් රැඳවියන් 14 කට වැඩි පිරිසකට තුවාල සිදුකල බිඳුණුවැව ඝාතනයට එරෙහිව විරෝධතා දැක් වූ කඳුකරයේ වතුකම්කරු තරුණයන්ට තවමත් සාක්ෂි ගොනු නොකළ නඩු විභාග පැවැත්වෙමින් තිබෙන බව JDS වාර්තා කරයි.
kjer5er

theleader.lk