රට රැකියා 35,000ක් අනතුරේ; රටගිය අය ගේන්න ඩොලර් මිලියන 05කට වැඩි වැයක්

0
94

හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මායිල් හානියේ ඝාතනය කිරීමත් සමග මැදපෙරදිග කලාපයේ ඇති වේ යැයි අනුමාන කර ඇති යුද ගැටුම් නිසා රටවල් හතරක සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තිස්පන්දහසකට වැඩි සංඛ්‍යාවකගේ රැකියා අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි දත්තවලට අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දොළොස් දහසක් ඊශ්‍රායලයේද, ජෝර්දානයේ පහළොස් දහසක්ද, ලෙබනන් රාජ්‍යයේ හත්දහස් පන්සීයක්ද, ඊජිප්තුවේ පන්සීයක්ද රැකියාවේ නිරතව සිටින බව පැවසේ.

මේ අතර, මැද පෙරදිග කලාපයේ යුද ගැටුම් වර්ධනය වුවහොත් එම රටවල රැකියාවේ නිරත සියලු ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍ය මනූෂ නානායක්කාර කියා සිටියි.

එවැනි තත්ත්වයක් නිර්මාණය වුවහොත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගන්නාතුරු ආරක්ෂිත ස්ථානවල තබමින් ඔවුන්ට සියලු පහසුකම් දීමට සැලසුම් කර ඇති බව මනූෂ කියයි.

මේ පිරිස් ගෙන්වා ගැනීමට මේ වන විටත් ඩොලර් මිලියන 05 කට වැඩි මුදලක් වෙන්කර ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටී.

හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනය හමුවේ මෙරටට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට පූර්ව සූදානමක් ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ කමිටුවක් ආර්ථිකය පිළිබඳ කමිටුවක් මෙන්ම එම කමිටු දෙකෙහි කටයුතු අධීක්ෂණයට ඉහළ මට්ටමේ කමිටුවක්ද ජනාධිපතිවරයා විසින් ඉකුත් දා පත් කෙරිණි.

ඉස්මායිල් හානියේ ඝාතනය….

හමාස් නායක ඉස්මායිල් හානි ඊශ්‍රායලය විසින් මරා දැමුවේ ඉරානයේ තෙහෙරාන් අගනුවර ඔහු සිය නිවසේ සිටියදීය.

ඊශ්‍රායල ආරක්ෂක අංශ මෙම වික්‍රමය සිදු කළේ ඇමෙරිකාවේ ද සහාය ඇතිව යැයි නිල නොවන මාධ්‍ය වාර්තා කියා සිටී.

ඉස්මායිල් හානියේ යනු ගාසා තීරයේ හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයාය.

හමාස් සංවිධානය දේශපාලන අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විතය.

ගාසා තීරයේ සටන් විරාමයක් පැවැත්වීම සම්බන්ධයෙන් දිගින් දිගටම ඊශ්‍රායල බලධාරීන් ද සමඟ සාකච්ඡා පැවැත්වීම කළේ ද හානියේය.

හමාස් නායක ඉස්මායිල් හානියේට ඉරානයේත්, ලෙබනනයේත් නිවාස ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

ඔහු ඉරානයේ තෙහෙරාන් බලා ගොස් තෙහෙරාන් නිවසේ රැඳී සිටියේ ඉරාන ජනාධිපති ධුරයට පත් වුණු මසූඩ් පෙසෙෂ්කියන්ග් දිවුරුම් දීමේ උළෙලට සහභාගී වීම සඳහාය.

මූලාශ්‍රය – සති අග අරුණ/ ශ්‍රිලංකා මිරර්