සජිත්ගේ මඩ ව්‍යාපාරය ඔහුටම පරාවල්ලක් වෙමින් පවති.

0
80

 

දියුණු යැයි සම්මත බොහෝ රටවල දේශපාලකයෝ තමන්ගේ ජනතාවගෙන් ආණ්ඩුකරණය සඳහා බලය ඉල්ලා සිටින්නේ තමන් සම්බන්ධ වී සිටින දේශපාලන පක්ෂයේ මතවාද සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල ඡන්ද දායකයින් වෙත වෙත ඉදිරිපත් කරමින්ය.

එම ඉදිරිපත් කරන වැඩපිළිවෙලට අමතරව් මැතිවරණ ව්‍යාපාර වලදී එකිනෙකාට චෝදනා කර ගැනීම සාමාන්‍ය දෙයකි. එහෙත් එම චෝදනා කර ගැනීම් කිසියම් සීමාවක් තුළ සිදුවේ.

2024 ජනාධිපතිවරණය සඳහා මේ වන විට ප්‍රධාන අපේක්ෂකයන් හතර  දෙනෙක් ඉදිරිපත්ව සිටියත් ජනතාව ඉදිරියේ තීරණාත්මක අපේක්ෂකයින් ලෙස පෙනී සිටින්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන වත්මන් අනුපාත්‍රික ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගොස් සමගි ජන බලවේගය නමින් පක්ෂයක් නිර්මාණය කරගත් සජිත් ප්‍රේමදාස සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සිවිල් සමාජ ගණනාවක එකතුවෙන් සැදුම්ලත් ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක යන තිදෙනාය.

මේ වන විට පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයක් ඇති රාජපක්ෂලාගේ පොහොට්ටුව කෑලි කෑලි වලට කැඩී ගොසින් ඔවුන්ගේම අපේක්ෂකයා වන නාමල් රාජපක්ෂටත් තවත් පිරිසක් රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාසටත් සහයෝගය පළකරමින් සිටිති.

සමස්ථයක් ලෙස බිමේ පවතින තත්ත්වය විමර්ශනය කිරීමේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මාලිමාව ලකුණෙන් තරග කරන අනුර කුමාර දිසානායකට මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ලබා ගැනීමට ඇති හැකියාවට වැඩි සම්භාවිතාවක් ඇත.

රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස හෝ නාමල් රාජපක්ෂ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේදී ඉදිරිපත් කරන කරුණු සහ ඔවුන්ගේ දේශපාලන භාවිතය දිහා බලන විට එම තිදෙනාම එකම කණ්ඩායමකට ලඝු කළ හැකිය. ඒ අනුව මේ තිදෙනාගේම ප්‍රධාන දේශපාලන එදිරිවාදියා වන්නේ අනුර කුමාර දිසානායකයි. 

එවන් තත්ත්වයක් තුළ අනුර කුමාර දිසානායක පරාජය කිරීම සඳහා එක්තරා තීරණාත්මක අවස්ථාවකදී මෙම අපේක්ෂකයන් තිදෙනාම එක කඳවුරකට එකතු වුවහොත් එය පුදුමයක් නොවේ. 

ඒත් මේ වෙන විට මෙම තිදෙනා අතර පවතින අතිශයින්ම පෞද්ගලික එදිරිවාදිකම් නිසා එවැනි එකතුවකට ඇති ප්‍රායෝගික තත්ත්වය සහ හැකියාව ඉතාමත් අවමය.

කෙසේ වෙතත් මෙම අපේක්ෂකයින් තිදෙනාම අනුර කුමාර දිසානායක ඉලක්ක කර ගනිමින් දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පටන් ගෙන ඇති අතර එම ප්‍රහාරයන් සදාචාරාත්මක සීමාවන් ඉක්මවා යන තත්ත්වයකට පත්ව තිබීම සැබවින්ම කණගාටුවකි. 

මෙහි අලුත්ම තත්ත්වය වන්නේ සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය විසින්  ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේදී අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේගය ජනතාව අතර ප්‍රතික්ෂේප කරවීම සඳහා අතිශයින්ම නින්දිත ආකාරයේ මඩ ව්‍යාපාරයකට අවතීර්ථ වී සිටීමයි. 

සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ මෙහෙයුම් කමිටුව විසින් එවන් මඩ ව්‍යාපාර දියත් කළ යුත්තේ කෙබඳු ආකාරයටද යන්න ලිඛිතවම තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටින්නන් වෙත ඉදිරිපත් කිරීම සැබැවින්ම සජිත් ප්‍රේමදාසට ඡන්දය දීමට අපේක්ෂාවෙන් සිටින ඡන්ද දායකයින්ට පවා කරනු ලබන නින්දාවකි.

ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකාරීන් විසින් සමගි ජන බලවේගය මේ නින්දිත මඩ ව්‍යාපෘතිය හෙළිදරව් කරගෙන මේ වනවිට එය ජනතාවට  දැනුවත් කරමින් සිටී.

බලය ලබා ගැනීම වෙනුවෙන් සමාජයේ පවතින ඕනෑම සදාචාරාත්මක තත්ත්වයක් කඩාබිඳ දැමීමට සූදානමින් සිටින සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස වැන්නෙකුගෙන් මේ රටේ ජනතාව කුමක් නම් බලාපොරොත්තු වෙන්න දැයි මධ්‍යස්ථ මතධාරී ඡන්දදායකයින් ආරංචිරාළ ගෙන් විමසා සිටිති.

ආරංචිරාළ