යුද්ධයෙන් මියගිය ඥාතීන් ස්මරණය කිරීම: මහජන ආරක්ෂක ඇමති පැවසුවේ කුමක් ද?

0
53
whatsapp sharing button
messenger sharing button
 ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේදී මිය ගිය සිය ඥාතීන් ස්මරණය කිරීම වාර්ෂිකව නොවැම්බර් මාසයේදී උතුරේ සහ නැගෙනහිර දමිළ

ජනතාව විසින් සිදු කරනු ලබන්නේ වසර කිහිපයක සිට ය.

ඒ සම්බන්ධයෙන් සෑම වසරක ම පාහේ විවිධ මතවාද ඉදිරිපත් වන අතර, මෙවර ද එය කතාබහට ලක්වූයේ, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල විසින් කරනු ලැබූ බවට ඇතැම් මාධ්‍ය පළ කළ වාර්තා පදනම් කරගෙන ය.

නොවැම්බර් 26 දින උදෑසන ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ, මෙවර එම ස්මරණයන් කිරීමේදී තහනම් කර ඇති ලාංඡන සහ කොඩි ප්‍රදර්ශනය කිරීමට ඉඩ දෙන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළ බව ය.

කැබිනට් ප්‍රකාශකගේ පැහැදිලි කිරීම

නොවැම්බර් 26 වන දින උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසන ලදී.

එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මහජන ආරක්ෂක අමාත්‍යවරයා එවැනි කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව ය.

ඔහු ප්‍රකාශ කර තිබුණේ, පවතින නීතිරීතිවලට යටත්ව ඥාතීන් ස්මරණයට පමණක් ජනතාවට අවසර තිබෙන බව ය.

“මිය ගිය ඥාතීන් සමරන්න ජනතාවට අයිතියක් තියෙනවා. නමුත් එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීම හෝ ලාංඡන ප්‍රදර්ශනය කිරීම සිදු කරන්න දෙන්නේ නෑ. මේ සම්බන්ධයෙන් 2011 අගෝස්තු 29 නිකුත් කරපු ගැසට් පත්‍රයක් තියෙනවා ඒ අනුව තමයි කටයුතු කරන්නේ,” කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

ගැසට් පත්‍රයේ ඇත්තේ කුමක් ද?2011 අගෝස්තු 29 දින නිකුත් කළ අංක 1721/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධනයක් ලෙස නම් කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදී එහි සාමාජිකයෙකු වීම, ක්‍රියාකාරකම් සංවිධානය, ප්‍රවර්ධනය, ලාංඡන සන්තකයේ තබා ගැනීම හෝ ප්‍රදර්ශනය, යම් කටයුත්තක නිරත වීම ආදි කරුණු ගණනාවක් තහනම් කර තිබේ.

එහි 4 වන වගන්තියේ සඳහන් වන්නේ එම නියෝග කඩකළ බවට බස්නාහිර පළාත් මහාධිකරණය විසින් තීන්දු කරනු ලැබුවහොත් අවුරුදු 20ක් දක්වා බන්ධනාගාරගත කිරීමකට යටත් වන බව ය.

එවැනි වරදක් කිරීම සඳහා අනුබල දෙන, තැත් කරන අයෙකුට වසර 10ක් දක්වා සිර දඬුවම් පැමිණ විය හැකි බව එහි වැඩිදුරටත් සඳහන් ය.

මහජන ආරක්ෂක ඇමති පැවසුවේ කුමක් ද?

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසා ඇත්තේ, උතුරේ හෝ නැගෙනහිර ජනතාවට සිය ඥාතීන් ස්මරණය කිරීමේ අවස්ථාව තිබෙන බව ය.

“නීත්‍යනුකූලව තමන්ගේ මිය ගිය ඥාතීන් සමරන්න අවස්ථාව තියෙනවා. ඒත් උතුරේ මහවිරු සැමරුම් කරන්න බෑ. එල්ටීටීඊ ලාංඡන හෝ නිල ඇඳුම් පෙන්වමින් කරන්න බෑ. රටේ නීතියක් තියෙනවා. ඒ අනුව එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක්. නමුත් උතුර වේවා, නැගෙනහිර වේවා, කඳුරට වේවා, තමන්ගේ දරුවෙක් මිය ගියා නම් ඒ දරුවා සිහි කිරීමේ අයිතිය තියෙනවා. එයින් සමාජයට යන්න අවශ්‍ය නෑ තහනම් සංවිධාන ස්මරණය කිරීමක් කියලා,” මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ ය.

පසුගිය දා ගල්ගමුව ප්‍රදේශයේදී පැවති වැඩසටහනකදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මාධ්‍ය වෙත ලබා දුන් ප්‍රකාශයේ අර්ථය වෙනස් කර මාධ්‍ය විසින් පළ කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කර තිබිණි.

එම නිවේදනය පහතින් දැක් වේ.

d43923f0 abf0 11ef bdf5 b7cb2fa86e10.png

මහවිරු සැමරුමේ ආරම්භය

1982 වසරේ නොවැම්බර් 27 වන දා ජීවිතක්ෂයට පත්වු පළමු එල්ටීටීඊ සාමාජිකයා ලෙස සැලකෙන සංකර් නමැත්තා සැමරීම මූලික කර ගනිමින් මහවිරු සැමරුම ආරම්භ කර ඇත.

1989 වසරේ නොවැම්බර් 27 වන දා මුලතිව්, නිත්තකෙයිකුලම ප්‍රදේශයේදී පළමු මහවිරු සැමරුම් වැඩසටහන පවත්වා තිබේ.

සෑම වසරක ම නොවැම්බර් මාසය මහවිරු මාසය ලෙස හඳුන්වන අතර, නොවැම්බර් 21 වන දා සිට නොවැම්බර් 27 වන දා දක්වා මහවිරු සතිය ලෙස නම් කරමින් මහවිරු සැමරීම පවත්වයි.

Amma t 2024.11.25             යුද වැදී මියගිය LTTE දස දහස් ගණනක නාම පුවරු ප්‍රදර්ශනයක්

සැමරුවේ කවුරුන් ද?

එල්ටීටීඊ සංවිධානය විසින් මහවිරුවන් ලෙස හඳුන්වනු ලැබුවේ, යුද්ධයේදී මියගිය සාමාජිකයින් ය.

සංවිධානයට බැඳීමෙන් අනතුරුව යුද්ධයෙන් දමිළ පවුලක පිරිමියෙකු හා කාන්තාවක ජීවිතක්ෂයට පත්වුවහොත් එම පවුල මහවිරු පවුලක් ලෙස සැලකිණි.

යුද්ධය පැවති සමයේ ඇතැම් පවුල්වල දරුවන් කිහිප දෙනෙකු යුද්ධයෙන් මියගියහොත් එවැනි පවුල්වල දෙමාපියන් වෙත සිය කැපකිරීම වෙනුවෙන් ගෞරව දැක්වීමක් ද සිදුකර තිබිණි.

මහවිරු සැමරුම සිදුකරන්නේ කොහොම ද?

WhatsApp Image 2022 11 28 at 10.02.47
මහවිරු සැමරුම උතුරු සහ නැගෙනහිර ජනතාවගේ කෝවිල් උත්සවයක් වැනි සැමරුම් උත්සවයකි.එල්ටීටීඊ සාමාජිකයින් කහ පැහැති හා රතු පැහැති කොඩිවලින් මහවිරු සැමරුම් ස්ථානය හා උතුරු පළාතේ නගර අංලකාර කර, එල්ටීටීඊ සංවිධානය විසින් නිර්මාණය කළ මහවිරු ගීත ප්‍රචාරය කරමින් යුද්ධයෙන් මියගිය සාමාජිකයින් සැමරීම අතීතයේදී සිදුකෙරිණි.

උතුරු පළාතේ කිලිනොච්චිය කනගපුරම්, මුලතිව් අලම්පිල්, මුලතිව් මුල්ලියාවේලි, වවුනියාව ඊච්චන්කුලම, මුලතිව් මුලංකාවිල් හා මන්නාරම ආදි ප්‍රදේශවල ස්ථාපිත මහවිරු සොහොන් ආශ්‍රිතව මහවිරු සැමරුම් එවක පැවති අතර, වර්තමානයේදී උතුරේ ජනතාව සාමාන්‍ය පරිදි අදාළ ස්ථානවල යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහිකරමින් පහන් දැල්වීම් සිදු කෙරේ.

මහවිරු සොහොන් කඩා ඉවත්කිරීම

යුද්ධය අවසන්වීමෙන් අනතුරුව යුද්ධ ස්මාරක ඉවත්කළ යුතු බවට එවක පාලනයේ සිටි රාජපක්ෂ ආණ්ඩුව විසින් 2010 දී තීරණය කරන ලදී.
ඒ අනුව උතුරු පළාතේ පැවති මහවිරු සොහොන් කොත් ඩෝසර් යොදා ඉවත් කළ අතර, ඒවා කඩා දැමීමෙන් පසු ඉතිරි වූ සුන්බුන් මත පහන් දැල්වීමෙන් වර්තමානයේදී සිය ඥාතීන් ස්මරණය කෙරේ.

BBC සිංහල සේවය)