මීගමුව, කට්ටුවේ ජල ගැලීම් තත්වය මීගමුව ප්‍රාදේශීය ලේකම්වරියගේ නිරීක්ෂණයට. …

0
73

මීගමුව, කට්ටුව දෙපා ඇල ප්‍රදේශයේ වෙසෙන ජනතාවට දැඩි පීඩාවක් සහ  දුෂ්කරතාවන් රැසකට පත් කරමින් ඇති වී තිබෙන ජල ගැලීම් තත්වය නිරීක්ෂණය කිරීම සඳහා මීගමුව ප්‍රාදේශීය⁣ ලේකම්වරිය අද (2024/11/27):පෙරවරුවේදී එම ස්ථානයට පැමිණ තිබේ.

දුම්රිය ද්විත්ව මාර්ග ව්‍යාපෘතියක් හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් පසුගිය කාලයේ මීගමුව, කට්ටුව ප්‍රදේශයේ දෙපා ඇල හරහා ඉදිකර ඇති පාලම නිසා එම අවහිර කළ ස්ථානයේ  නිසි ලෙස ජලය බැස යාමට  බාධා වන ලෙස යොදා තිබු තහඩු, සිමෙන්ති බැමි සහ වැලි කොට්ට ආදිය දැනට මාස කිහිපයකට පෙර  තාවකාලිකව ඉවත් කරන ලදී.
      එසේ ඉවත් කළද නැවතත් එම ස්ථානය දැඩි ලෙස අවහිර වන ලෙස ඉදිකර ඇති එම පාලම නිසා ක්‍රමවත්ව ජලය බැසයාම  සිදු නොවන තත්ත්වයක් ඇති වී තිබේ.

           මේ අනුව පසුගිය දිනවල ඇද හැලුණු  වර්ෂාවෙන් කට්ටුව ප්‍රදේශයේ මෙම කළු පාලම  පිහිටි  ප්‍රදේශය මේ වන විට විශාල ජලගැලීම් තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබේ. එම ප්‍රදේශයේ නිවාස 25 ක පමණ  වෙසෙන ජනතාව මෙම ජල ගැලීම් තත්වය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වීමෙන් දුෂ්කරතාවන් රැසකට මුහුණ පා සිටි .  මේ නිසා මේ ප්‍රදේශයේ ඇති නිවාස තුල අඩියකට වැඩි ප්‍රමාණයක ජල මට්ටමක් පවතින බවද වාර්තා වේ.  මෙම තත්ත්වය නිසා මේ නිවාස වල වෙසෙන ජනතාව දැඩි අසීරුතා රැසකට මුණ පා ඇතැයිද වාර්තාවේ. මේ හේතුවෙන් ඔවුන්ගේ දෛනික ජීවිතයේ වැඩ කටයුතු සියල්ලද  ඇනහිට අඩාල වී තිබේ.
              මේ පිළිබඳව එම ප්‍රදේශයේ වෙසෙන ප්‍රවීන් අල්මේදා මහතා පවසන්නේ දැනට  මාස කිහිපයකට පෙර සිටම මෙවැනි තත්ත්වයක් උද්ගත වීමට පෙර තාවකාලික නොවන ස්ථිරසාර විසඳුමක්  මේ සඳහා ලබා දෙන ලෙස වගකිවයුතු බලධාරීන්ට කොතෙකුත් දැනුම්දීම් කලද ඒ සියල්ලම නිෂ්ඵල වූ බවයි. මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරන නිලධාරිනියට මෙවැනි තත්ත්වයක් පිළිබඳව කොතෙක් දැනුවත් කලද ඒ සඳහා කිසිදු පියවරක් නොගත් බවද  ඔහු වැඩිදුරටත් පවසයි.
           කෙසේ වුවද අද දින පෙරවරුවේ මීගමුව ප්‍රාදේශීය ලේකම්වරිය හා අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය මේ ප්‍රදේශයට පැමිණ කරන ලද නිරීක්ෂණයෙන් පසුව ප්‍රාදේශීය ලේකම්වරිය විසින් මීගමුව නාගරික කොමසාරිස්වරිය ද  මේ පිළිබඳව දැනුවත් කර තිබේ.

           මේ සම්බන්ධයෙන් අප ප්‍රාදේශීය ලේකම්වරියගෙන් විමසු අවස්ථාවේදී ඇය ප්‍රකාශ කළේ මීට මාස කීහිපයකට පෙරද මෙම ප්‍රදේශයේ ඇතිවූ ජලගැලීම් හේතුවෙන් නිසි ලෙස ජලය බැස නොයාම නිසා දෙපා ඇලෙහි දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කරන ලද ඉදිකිරීමකට සම්බන්ධ  තහඩු සහ සිමෙන්ති බැමි ඇතුළු බාධක රාශියක් බැකෝ යන්ත්‍ර යොදා ඉවත් කළ බවයි. ඒ නිසා සුළු වැසි තත්වයක් යටතේ  එම ජලය මෙම ස්ථානයෙන් පහසුවෙන් ගලා ගිය ද මේ වන විට මේ ප්‍රදේශයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එම විශාල ජල ප්‍රමාණය බැස යාමට නම් දෙපා ඇලේ එම ස්ථානයේ අනෙක් පස  ඉතිරි වී ඇති තහඩු, සිමෙන්ති බැමි සහ වැලි කොට්ටා වැනි සියලු දේ එම ස්ථානයෙන්  ඉතා ඉක්මනින් ඉවත් කළ යුතු බව ප්‍රාදේශීය ලේකම්වරියගේ අදහසයි. ඒ අනුව තමන් නාගරික කොමසාරිස්වරියගේ ද සහාය ඇතිව බොහෝ විට අද සවස හෝ හෙට දිනයේ පෙරවරුවේදී නගර සභාවේ බැකෝ යන්ත්‍ර යොදා දැනට ජලය ගලා යාමට බාධා වී තිබෙන තහඩු, සිමෙන්ති බැමි වැනි සියලු දේ එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ප්‍රාදේශීය ලේකම්වරිය අප වෙත වැඩිදුරටත්  ප්‍රකාශ කලාය.