ඉන්ධන සහනාධාරයත් තාම නෑ ! භුමිතෙල් මිළ වැඩිකිරිම ගැනත් ධීවරයෝ නොසතුටින් ?

0
71
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

 

( 1.30 pm )  පසුගිය මැතිවරණ සමයන්හිදි කථාබහට ලක්වු පොරොන්දුව වු   ධීවර ප්‍රජාවට ලබා දුන් ඉන්ධන සහනාධාරය මීගමුව ප්‍රදේශයේ කිසිදු ධීවරයෙකුට මෙතෙක් ලැබී නොමැති බවට වාර්තා වේ.
                පසුගිය ජනාධිපතිවරණය ට කලින් සිටම  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධීවර  ප්‍රජාව වෙත ලබාදීමට යෝජනා කරන ලද ඉන්ධන සහනාධාරය සඳහා ඉල්ලුම්පත් කැඳවා තිබිණි.
ඒහෙත් මැතිවරණ කොමිෂන් කාර්යාලය ප්‍රකාශ කළේ ජනපතිවරණයක් අභියස එලෙස අයදුම්පත් කැඳවීම නීති විරෝධී බවයි. ඉන්පසුව ජනාධිපතිවරණය පැවැත්වූ අතර එයින් අනුර කුමාර දිසානායක මහතා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.

පසුව නව ජනාධිපතිවරයාද එම ඉන්ධන සහනාධාරය ලබාදීම සඳහා අයදුම්පත් කැඳවීම නැවත ආරම්භ කරනු ලැබීය. ඒ අනුව අයදුම්පත් භාරගත් ධීවර  දෙපාර්තමේන්තු කාර්යාල ප්‍රකාශ කලේ මේ වසරේ නොවැම්බර්  මස සිට ධීවර ප්‍රජාව වෙත එම ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කරන බවයි.

                අප ධීවර කාර්යලයේ  සහකාර අධ්‍යක්ෂවරයාගෙන් මේ පිළිබඳව විමසු අවස්ථාවේදී ඔහුද ප්‍රකාශ කළේ මේ වනතුරුම ඉන්ධන සහනාධාරය ලබාදීම සඳහා ආයදුම්පත් බාරගැනීම අවසන් කර නොමැති බවත් තවමත් සමහර ධීවරයින් ආයදුම්පත් තම කාර්යාලයට භාර දෙමින් සිටින බවයි. මේ ආකාරයෙන් සියලුම ධීවරයන්ගේ අයඳුම්පත්  ලබාගැනීම අවසන් වූ පසු අදාළ ලේඛනය සූදානම් කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

              මෙවැනි තත්ත්වයක් තුළ පෙරේදා මධ්‍යම රාත්‍රී සිට භූමිතල් මිල රුපියල් පහකින් (රු.05/=) සහ ඩීසල් මිල රුපියල් තුනකින් (රු.03/=) ඉහල දමන්නට රජය කටයුතු කළේය. මේ තත්ත්වය තුළ ද ධීවර ජනතාව යම් ආකාරයක අපහසුතාවයට ලක්ව ඇත.

               මෙම තත්ත්වය සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ මීගමුව වැල්ලවීදිය, ඒකාබද්ධ ධීවර සංවිධානයේ සභාපති රොඩ්නි ප්‍රනාන්දු මහතා පැවසුවේ ඉන්ධන සහනාධාරය ලැබෙනවා යැයි කීවත් මෙතෙක් එය ලැබී නොමැති බවයි. ඔහු පවසන්නේ  දිනකට භූමිතෙල්  ලීටර් 15 කට රුපියල් 25 බැගින් මසකට දින 25 ඉන්ධන සහනාධාරය ලැබීමට නියමිත බවයි. ඒ අනුව නිසි ලෙස  ඉන්ධන සහනාධාරය ලැබුණත්  දිනකට භූමිතෙල්  ලීටර 15 බැගින් මසකට දින 25 කට රු 5.00/= මිල වැඩිවීම ද ගණනය කළ පසු මසකට 1875/=  පාඩුවක් දරන්නට සිදුවන  බවයි.

භූමිතෙල් භාවිතා කරන  කුඩා බෝට්ටු ඇති සුළුපන්න ධීවර රැකියාවේ යෙදෙන ධීවරයන්ට මේ ආකාරයෙන් මෙම ඉන්ධන මිල වැඩිවීම බලපාන විට ඩීසල් භාවිතා කරන මහ බෝට්ටු හිමියන්ටද ඩීසල් මිල වැඩිවීම ද යම් ආකාරයක බලපෑමක් එල්ල කර ඇති බවද වාර්තාවේ.

          මේ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ මීගමුව වැල්ලවිදිය සාන්ත පීතර ග්‍රාමීය ධීවර සංවිධානයේ හිටපු  සභාපති නිව්ටන් තමෙල් මහතා ප්‍රකාශ කළේ ඉන්ධන  සහනාධාරය පසුගිය නොවැම්බර් මාසයේ සිට ලැබීමට නියමිතව ඇති බවත් එය මේ දෙසැම්බර්  මාසයේ සිට ලබාගැනීමට හැකි බවට ධීවර කාර්යාලයෙන් ප්‍රකාශ කළ බවත්ය

කෙසේ වෙතත් පොදුවේ ගෙන බලන කළ පසුගිය කාලයන් තුල සිදුවු  ඉන්ධන මිළ සංශෝධයන්හිදි ධිවර ජනයාට සහනයක් ලැබෙන ආකාරයේ වෙනසක්  සිදුව තිබුනේ නැත