මුලතිව් වැල්ල හාරන්න ගොස් ඉන්දීය සමාගමක් හිස් අතින් එයි

0
42
  • linkedin sharing button
(  7.30 pm ) මුලතිව් හි ඛනිජ වැලි හෑරීම සදහා භුමියේ විමර්ශන කටයුතු සඳහා පැමිණි රාජ්‍ය නිලධාරීන් ප්‍රමුඛ ජාත්‍යන්තර ආයෝජකයන්ට ගම් වාසීන් සමග එක්ව විරෝධය දැක්වු ප්‍රදේශයේ දෙමළ ජනතා නියෝජිතයෙක් එම පිරිස පසු බස්වන්නට සමත්ව තිබේ.

ඛනිජ වැලි කැනීමේ බලපත්‍ර ලබාදීම සඳහා වර්තමාන ආණ්ඩුව යටතේ යුද පීඩිත වන්නි දිස්ත්‍රික්කයේ දරන ලද වෑයම මහජනතාව විසින් පසුබැස්වු බවට වාර්තාවන දෙවැනි අවස්ථාව මෙය වෙයි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ දෙසැම්බර් 13 වැනි සිකුරාදා මුලතිව් දිස්ත්‍රික්කයේ නයාරු සහ චෙම්මලෙයි මුහුදු තීරයේ ඛනිජ වැලි කැනීමේ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට රාජ්‍ය ආයතන කිහිපයකම නිලධාරීන් වාහන වලින් පැමිණි බවයි.

ප්‍රදේශවාසී ජනයා සමග ඔවුන් එන පෙරමගට ගිය ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් පැමිණි රාජ්‍ය නිලධාරීන්ට දැඩි විරෝධය පළ කර තිබුනේ ඛනිජ වැලි කැනීම නිසා මීට ඉහතදී ප්‍රදේශයේ සිදුවු දැවැන්ත පරිසර හානියද පෙන්වා දෙමිනි. ඛනිජ වැලි හැරීම සදහා භුමියේ විමර්ශන කටයුතු සඳහා පැමිණි රාජ්‍ය නිලධාරීන් සමග මිඩ්වෙස්ට් හෙවි සැන්ඩ් (Midwest Heavy Sands) පුද්ගලික සමාගමේ නියෝජිතයන්ද පැමිණ සිටි බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

 

හයිද්‍රාබාද් මුලස්ථාන කොටගත් ඉන්දීය පාලනාධිකාරියකින් යුත් එම සමාගම මේ වසරේ මාර්තු මාසයෙන් හමාර වූ අවුරුද්දේ ශ්‍රී ලංකාවේ ආයෝජනයෙන් උපයාගත් ආදායම ඉන්දීය රුපියල් විසිදෙලක්ෂයක් බව ආයතනික මුල්‍ය වාර්තාවල දැක්වේ.

ගෝඨාභය රාජපක්ෂ පාලනයේ පරිසර අමාත්‍යධූරය දැරූ නසීර් අහමඩ්ට සමීප බවට විශ්වාස කෙරෙන නිසා මිඩ්වෙස්ට් සමාගමට ඛනිජ වැලි කැනීමේ බලපත්‍රය කඩිනමින් ලබා ගැනීමට හැකිවූයේ දැයි පාර්ලිමේන්තුවේද ප්‍රශ්න කෙරිණි.

චෙම්මලෙයි බලා පැමිණ සිටි රාජ්‍ය නිලධාරීන් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන්ගේ විරෝධය හමුවේ පවසා තිබුනේ ප්‍රදේශයේ ජනතාවගේ අකැමැත්ත මධ්‍යයේ මෙම භුමිය කිසිවෙකුටත් පවරා නොදෙන බවයි. නමුත් රාජ්‍ය නිලධාරීන් ලෙස තමන්ට පැවරෙන රාජකාරිය සිදු කිරීමට වන බවත් ඔවුන් වැඩි දුරටත් පවසා තිබුනි.

“ඔයාලාගේ අනුමැතියෙන් තොරව අපි මේක කාටවත් දෙන්නේ නැ. මේක ආණ්ඩුවේ ක්‍රමවේදයක්. අපි රජයේ නිලධාරීන් අපිට ඉල්ලීමක් ආවොත් අපි මේක බලලා වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ.”

 

භුමියේ විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට දැනුම් දෙන බවට පැමිණ සිටි රාජ්‍ය නිලධාරීන් පවසද්දී, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් ඔවුන්ට දැනුම් දී තිබුනේ භුමියේ කැනීම් සිදු කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

චෙම්මලෙයි මුහුදු තීරයේ ඛනිජ වැලි ගොඩදැමීම සිදු කළහොත් මුහුද ජලය ගොඩබිමට පැමීනීමේ අවදානම ගැනත් ප්‍රදේශවාසීන් එහිදී අනතුරු අඟවා තිබේ.

ජනතාවගෙන් එල්ල වු දැඩි විරෝධය හමුවේ රාජ්‍ය නිලධාරීන් පිරිස ඔවුන්ගෙන් සමාව අයැද ආපසු ගිය බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

රාජ්‍ය නිලධාරීන් එම ස්ථානයෙන් පිටව යෑමෙන් පසු ප්‍රදේශයේ මාධ්‍යවේදීන් අමතා තුරෙයිරාසා රවිහරන් මන්ත්‍රීවරයා මීට ඉහතදී කෝකිලායි ප්‍රදේශයේ යුද බියෙන් පලාගිය දෙමළ ජනතාව සතු ඉඩම්වල ඛනිජ වැලි හෑරීම නිසා පරිසර විනාශය සිදුවු ආකාරයත් සිහිපත් කළේය.

“කෝකිලායි ප්‍රදේශයේ ජනතාව අවතැන් වූ වෙලාවේ ඔවුන්ගේ ඉඩම්වල ඛනිජ වැලි හැරුවා. ජනතාව ගං වතුර එයි කියලා අනතුරු ඇඟව්වා. මුහුදු වතුර ඇතුලට එයි කියලත් කිව්වා. කැනීම් කළ ප්‍රදේශය ආපහු වහන්නේ නෑ කියලත් මිනිස්සු චෝදනා කළා. අන්තිමට උනේ මිනිස්සු කියපු විදිහටමයි.  ”

මන්ත්‍රීවරයා එහිදී තව දුරටත් අවධාරණය කර තිබුනේ ඛනිජ වැලි කැනීම නිසා  මීට ඉහතදී කෝකිලායි ප්‍රදේශයේ සිදු කළ පරිසර විනාශයට විසදුම් ලබා දිය යුතු සේම ජනතා අනුමැතියකින් තොරව ප්‍රදේශයේ ඛනිජ වැලි කැනීම සදහා කිසිවෙකුටත්  ඉඩ ප්‍රස්තාව ලබා නොදෙන බවයි.

“ඛනිජ වැලි කනින්න මෙහෙ එන්න බැහැ. එහෙම එන්න ඕනනම් කෝකිලායි අක්කර 44 ක් කැනීම් කරපු එකට විසඳුමක් දෙන්න ඕනේ. ඊට පස්සේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ හෝ සුදුසු ස්ථාන වල ඒ ගැන සාකච්ඡා කරලා ජනතාවගේ මතය විමසන්න පුළුවන්. ඒ හැරෙන්න ජනතාව මේකට අනුමැතිය දෙන්නේ නැ. මේක ගැන ජනතාව පැහැදිලිව කියලා තියනවා.”

 

ඛණිජ සම්පත් පිහිටි ප්‍රදේශ ‘තිරසර ආර්ථික මෙහෙයුම් සඳහා සංරක්ෂණය කෙරෙන’ බව පවසන ජාතික ජන බලවේගය විසින් 2024 අගෝස්තුවේ ප්‍රකාශයට පත් කළ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ආයතනික සම්බන්ධීකරණය සහ මහජන සහභාගිත්වය පරිසර සංරක්ෂණයේ මූලධර්මයක් ලෙස හඳුනාගෙන තිබේ.

සංවර්ධන ව්‍යාපෘති ශක්‍යතා අධ්‍යයනයේදී මහජන මත විමසීම් අනිවාර්ය කරන බවට NPP යේ ‘පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්’ පොරොන්දු වෙයි.

කෝකිලායි අක්කර 44 ක ඉඩමක්

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ද වන වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් පවසන පරිදි පළාත් සභාව ක්‍රියාත්මක වූ කාලය තුළ පුද්ගලයන් 16 දෙනකුට අයත් අක්කර 44 ක භුමියක ඛනිජ වැලි ගොඩ දැමීමේ කටයුතු නතර කර ගැනීමට හැකිවු නමුත් පළාත් සභාවේ කාලය අවසන් වීමත් සමග කැනීම් කරුවන් එම භුමියේ වැලි ගොඩ දැමීම සිදු කර තිබේ.

“පළාත් සභාව තිබුන කාලය තුළ අපි කෝකිලායි ප්‍රදේශයේ අක්කර 44 ක ඉඩමක් ආරක්ෂා කළා. නමුත් පළාත් සභා කාලය අවසන් වූ පසු වැලි ගොඩ දැමීම සිදු වන්නේ වැටක් ගැසීමෙන් පසුවයි. 16 දෙනකුට අයත් පෞද්ගලික ඉඩම් ඒ තුළ තිබෙනවා. ඒ මිනිස්සු දැන් ඉඩම් නැති මිනිස්සු.”

එම ඉඩම් අහිමි වු ජනයා 2022 වසරේ පෙබරවාරි 12 වැනිදා කෝකිලායි රජයේ දෙමළ මිශ්‍ර පාසල ඉදිරිපිටින් විරෝධතා පෙළපාලියක් ආරම්භ කර ඒ වන විටත් ඉඩම් අක්කර 44 ක් අත්පත් කර ගනිමින් ආණ්ඩුව ඛනිජ වැලි ගොඩ ගසා තිබෙන මෝය කට දක්වා පැමිණ එහිදී  විරෝධතාවය දියත් කර තිබුනි.

ඛනිජ වැලි ටොන් ලක්ෂ ගණනක් හාරා ගැනීම සඳහා ඔරයන් මිනරල්ස් (පුද්ගලික) බහුජාතික සමාගමට බලපත්‍ර නිකුත් කිරීමට මන්නාරම් භුමියේ විමර්ශන කටයුතු සඳහා පැමිණි රාජ්‍ය නිලධාරීන් ප්‍රමුඛ ආයෝජකයන් මෙයින් මාසයකට ඉහතදී ගම් වැසියන් විසින් පසුබස්වා තිබුණි.

 

theleader.lkmulathiv 4567

mulathiv 4567

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here