මේ රාණි ගැන කතාවක් නොවේ!

0
35

( 11.30 am ) මේ රාණි ගැන කතාවක් නොවේ!

බලය වෙනුවෙන් මනුෂ්‍යත්වය මිහිදන් කිරීම

“ආණ්ඩුව මානව හිමිකම් ලබා නොදෙන්නේ නම් අපි ජිනීවා විතරක් නෙමෙයි ලෝකෙ ඕනම තැනකට යෑමට සූදානම්. අපායට වුණත් ගිහින් මේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්න සූදානම්. මේ රටේ ඉන්න අහිංසකයින්ගේ හඬා වැලපීම් ඕන තැනකදී ඉස්මතු කරන්න අපි ලෑස්තියි.”

“ආධාර දෙන රටවලින් අපි ඇහුවා ඇයි ආධාර දෙද්දී කොන්දේසි දාන්න බැරි කියලා. ඒක තමයි අපි ඉල්ලා හිටියේ, ඒක තමයි අද ඉටු වෙලා තියෙන්නේ”

1990 ඔක්තෝම්බර් 25 වෙනිදා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව අනුව එවක විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ප්‍රේමදාස ජනාධිපති සමය තුළ සිදුවූ මානව හිමිකම් කඩවීම් හා පාලන තන්ත්‍රය අරඹයා කළ කතාවේදී කීවේ එලෙසය. කලින් කළට පත් වූ රජයන් හා පාලකයන් අතින් කොතෙකුත් මානව හිමිකම් කඩකෙරුණද, මනුෂ්‍ය ඝාතන කොතරම් කෙරුණද දේශපාලඥයින් හෝ පක්ෂ රටට ලැබෙන විදේශ ආධාර නතර කරන ලෙස නොඉල්ලන ලදි. රට පිළිබඳව සත්‍ය ආදරයක් නැතත්, එනයින් හානි වන්නේ ‍රටට හා එහි මහජනතාවට බව ඔවුන් සිතූ බව පෙනුණි. නමුත් අනූව දශකයේදී මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස එසේ සිතූ බවක් නොපෙනිණ. උතුරේ දේශපාලන ප්‍රශ්නය අරබයා විටින් විට මෙරටට සම්බාධක අවශ්‍ය බව පසුව දෙමළ දේශපාලන පක්ෂ හෝ පුද්ගලයින් සුළුතරයක් ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියද රටට ලැබෙන ආධාර නතර කරන්නැයි ඔවුන් ජාත්‍යන්තරයෙන් නොඉල්ලන ලදි. එදා මෙරට යුක්තිය වෙනුවෙන් හොඳ වූ ජිනීවාවලින් හා විදේශ රටවලින් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ අසරණ මහජනතාව වෙනුවෙන් දෙන ආධාර පවා නතර කරන ලෙසය.

එවකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති කුඩාහෙට්ටි එදිරිව මහින්ද රාජපක්ෂ නඩුව පැවරුණේ අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් ලියකියවිලි 533 ක් ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලය වෙත ගෙන යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්ය. එදා මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා දකුණේ බලහත්කාරයෙන් අතුරුදන් වූ පුද්ගලයන්ගේ මානව හිමිකම් වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කළේ ඉතා කඩිසරවය. වගවීම හා යුක්තිය ඉටු කිරීම සඳහා ජිනීවා නුවරට ගොස් මානව හිමිකම් සැසිවල සුවිසල් වැඩ කොටසක් ඉටුකළේ සැබෑම මානව හිතවාදියෙකු හා නීතිඥවරයෙකු ලෙස ප්‍රශස්තවය. ඒ පිළිබඳව ජිනීවා නුවරදී සිදුකළ එම විශාල කාර්යන් සඳහා එහි රැස්වීම් පැවැත්වෙන ශාලාවට ඇතුල් වීමට එකල ඔබට සහය ලබාදුන්නේ එල්.ටී.ටී.ඊ හිතවාදී ක්‍රියාකාරිනියක ලෙස එවකදී නම් කෙරුණු මානව හිමිකම් ක්‍රියාකාරිනී තමරා කුනනායගම් බව ඉතිහාසය දන්නා අයට නොරහසකි. 2005 දී ජනාධිපති පදවියට පත්වූ පසුව කෘතගුණ ලෙස ඇයට සැබවින්ම හිමි විය යුතු හා ඊට සුදුසුකම් ද තිබූ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුර දුන්නේය.

මානව හිමිකම් කඩ වූ, අතුරුදන් වූ සුවහසක් පීඩිත මහජනතාවගේ පැත්තේ සිටිමින් අනූව දශකයේ අග වර්තමාන යහපාලන රජයේ අමාත්‍ය මංගල සමරවීරගේ මාතර නිවස තුළ ආරම්භ කෙරුණු “මව්වරුන්ගේ පෙරමුණ” පිහිටුවමින් හා එහි ආරම්භක කැඳවුම්කරු වූවේද මහින්ද රාජපක්ෂමය. ඒ එවක ප්‍රේමදාස භීෂණය විසින් ඝාතනය කළ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ මව වූ මනෝරාණිව පෙරටුකොටගෙනය. ඉන් නොනැවතී කොළඹ නව නගර ශාලාවේදී පැවති නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පළමු රැස්වීමටද එදා සිටි මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහභාගී විය. “පාද යාත්‍රා” ඇතුළු සාමය හා මානව හිමිකම් වෙනුවෙන් ක්‍රියාකාරී කටයුතු ගණනාවක් සිදුකරමින් කොළඹ සිට කතරගම දක්වා පා ගමනින් පැමිණ යුද්ධය එපා යැයි කීවේද මහින්ද රාජපක්ෂ තරුණ මන්ත්‍රීවරයාය.

1995 ජූලි 8 වෙනිදා සුදු නෙලුම් ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ එවක ජනාධිපතිනිව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසිනි. එහිදී රජය නිවේදනය කළේ සාම විරෝධී අන්තවාදයට එරෙහිව සුදු නෙලුම් ව්‍යාපෘතිය ආරම්භ කරන බවය. සාම විරෝධීන්ට එරෙහිව මතයක් ගොඩනැඟීම සඳහා ජනතාව දැනුවත් කිරීම ඇතුළු වැඩ සටහන් ගණනාවක් ආරම්භ කරන බව එවක සුදු නෙලුම් ව්‍යාපාරයේ කැඳවුම්කරු තැපැල් හා විදුලි සංදේශ ඇමැති මංගල සමරවීර ප්‍රකාශ කළේය. 1995 සැප්තැම්බර් 21 වෙනිදා මුල්කිරිගල පැවැති සුදු නෙලුම් පා ගමන වෙනුවෙන් එවක නියෝජ්‍ය ඇමැතිවරියකව සිටි නිරූපමා රාජපක්ෂ සහභාගී විය. සුදු නෙලුම් ව්‍යාපාරය හරහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සුබසාධන කටයුතු වෙනුවෙන් කොඩි හා ස්ටිකර් අලෙවි කිරීමේ වැඩෙසටහනක් 1995 දෙසැම්බර් 30 වෙනිදා ආරම්භ කළේ තිස්සමහාරාමය‍ෙදීය. ඒ මහින්ද රාජපක්ෂ වැඩිමහල් සහෝදරයා වූ චමල් රාජපක්ෂගේ ද සහභාගීත්වයෙනි.

මේ මහින්ද රාජපක්ෂ ‘මන්ත්‍රීවරයාව’ සිටි වකවානුවේ මානව හිමිකම් වෙනුවෙන් සහ උණ්ඩයට උණ්ඩයෙන් පිළිතුරු දීම වෙනුවට සාමය හා ජාත්‍යන්තරයෙන් මෙරටට අවශ්‍ය සහාය ලබාගැනීම වෙනුවෙන් සිදුකළ ක්‍රියාකාරකම්වලින් අල්පයකි. මහින්ද රාජපක්ෂ පළමුවරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර ‘මහින්ද චින්තන’ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් කියන්නේද උතුරේ ප්‍රශ්නය සඳහා එකම විසඳුම සාකච්චා මාර්ගයෙන් විසඳුමකට ඒම බවය. පසුව ජනතා විමුක්ති පෙරමුණේ සහායද, වෙනත් බලවේගවල සහාය හමුවේද උතුරේ ප්‍රශ්නයට අවියෙන්ම විසඳුම් දුන් මහින්ද ‍රාජපක්ෂ ජනාධිපතිවරයා 2013 මාර්තු 6 වෙනිදා නැවත සාම පාගමනක් ආරම්භ කරන්නේ කතරගම කිරි වෙහෙරේ සිට යාපනය නාගදීපය දක්වාය.

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සියලු රටවලට දීර්ඝ කාලීන සාමය පතා සිදුකෙරෙන තරුණ සාම පාද යාත්‍රාව ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ කෙරිණි. යුද්ධය නිමාකර රටට සාමය උදාකරවීම සඳහා ජීවිත පූජා කළ ‘රණවිරුවන් ඇතුළු සියලුදෙනා’ සිහිපත් කිරීම ද මෙම සාම පාද යාත්‍රාවේ ප්‍රධාන අරමුණක් විය. ඒ සඳහා තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය හා නාමල් රාජපක්ෂගේ තාරුණ්‍යයට හෙටක් යන සංවිධානයද එක්විය.

මෙකී මානුෂවාදී, ජාත්‍යන්තරවාදී මෙන්ම යුද්ධය වෙනුවට සාමය අවශ්‍ය බව කී මහින්ද ‍රාජපක්ෂ ප්‍රමුඛ ඔහුගේ පවුලේ උදවිය අද බලය අහිමි වීමත් සමඟ කියවන්නේ මෙරට නැවත යුද්ධයක් ඇතිවීමට නියමිත බවය. දකුණේ හා උතුරේ සිදුවීම්වලින් අතුරුදන් වුණ හා අහිමි වුණ ජීවිත වෙනුවෙන් පා ගමන් ගිය ඉතිහාසය අමතකව ඇත. එදා මහින්ද සමඟ සිටගත් වාසුදේව නානායක්කාර 2012 දී උතුරේ හමුදා ඉවත් නොකොට පළාත් පාලන ජන්දය පැවැත්වීමට එරෙහිව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂට ආණ්ඩුවේ ඉඳිමින්ම දොස් කීය. එදා ගෝඨාභය වාසුට පිස්සු කීවේය. ඒ වාසුම අද යුද්ධය හා යුද කාමය ඉල්ලන කඳවුරේය. එදා උතුරේ ඊලාම් කොඩිය ඔසවන්න මූලික වුණු හා සාමයෙන් තොර විසඳුමක් නොමැති බව මෑත රාජපක්ෂ රෙජීමයට නොබියව කී ආචාර්ය දයාන් ජයතිලක අද ඉන්නේද රාජපක්ෂ කඳවුරේම මහජනතාවට අනියත බියක් උපද්දවමින්ය. එදා එල්ටීටීඊ ලේබල් වැදුණු නමුත් මානව හිමිකම් වෙනුවෙන් සියල්ලෝම ගරු කළ තමරා කුනනායගම් අද ඉන්නේද හිටපු අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මිලිටරි හා ජාතිවාදී විපත් මගේ වීමද එතරම්ම අරුමයක් නොවේ. මෙවැනි කප්පරක් පරස්පර දෑ ලිවිය හැකිය. දයා මාස්ටර්, කේ.පී, කරුණා, පිල්ලයාන්ලා වැන්නවුන් දහස් ගණනක් අද ඉන්නා තැන් සහ නම් ගම් ලිවිය හැකිය.

එදා බලය වෙනුවෙන් සාමය හා මානව හිමිකම් හොඳ වූ මේ උදවියට බලය ලබාගැනීමෙන් පසුව ඒවා විදේශ පිල්ලි විය. ජාත්‍යන්තර කුමන්ත්‍රණ විය. අද නැවැත බලය ලබාගැනීමට ඒවාම වෙනතකින් රාජපක්ෂ කඳවුර සහ රාජපක්ෂවරුන් විකුණාගෙන කමින් ගොඩ යන්න දඟලන වුන් පාවිච්චි කරමින් සිටී. උතුරේ මියගිය මිනිසුන් සිහි කිරීම පසුගිය සතිය පුරාම කේවල් කරමින් මෙම කණ්ඩායම ජනමනස තුළ ඇති කළේ වෛරයකි. කිව යුත්තේ එක දෙයකි. යුද්ධයකදී පළමු උණ්ඩයෙන්ම සැමට පළමුව අහිමි වන්නේ මනුෂ්‍යත්වයයි. එනයින් බල ලෝභීන් වෙනුවෙන් උතුරේ හා දකුණේ මනුෂ්‍යත්වය මිහිදන් කළ යුතුද යන්න බුද්ධිමත් මහජනතාව ඉදිරියේදී තීරණය කළ යුතුය.

[කසුන් පුස්සෙවෙල]
රැස 25.05.2018

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here