රට තුළ පවත්නා ලුණු හිඟය නිසා කරවල කර්මාන්තය මහා පරිමාණයෙන් සිදුවන පුරවරයක් ලෙස ප්‍රකට මීගමුව තුළ ගැටලුකාරි තත්ත්වයකට එහා ගොස් ලුණු හිඟය නිසා , මේ වන විට මහා අර්බුදයක් නිර්මාණය වී තිබේ
මීගමුව තුළ අලුතින්ම පැන නැගුණු මේ මහා අර්බුදය පිළිබඳව සොයා බලන්නට මීගමුව මාළු ලෙල්ලම අසල වෙරලාශ්‍රිත ප්‍රදේශයේ පසුගිය දිනක අප නිරීක්ෂණයක යෙදුනෙමු.
කරවල විකිණෙන්නෑ කියන්නේ අපේ ව්‍යාපාර කඩා වැටෙනවා.
![](https://www.meepura.com/storage/2025/02/WhatsApp-Image-2025-02-12-at-18.18.35_8f6e18b8-1024x768.jpg)
ශ්‍රියානි මහත්මිය- වැල්ලවිදිය ශා.සෙබස්තියන් කරවල සමිතිය.
” පහුගිය අවුරුද්දේ එක දිගට වැස්ස නිසයිලු මේ විදිහට ලුණු හිඟ වුණේ කියලා ආණ්ඩුව කියනවා. ඉතිං ඒහෙම ලුණු හිඟ නිසා තමයිලු තියෙන ලුණු මේ තරම් මිල වැඩි වුණේ. කොහොම වුණත් මේක අපිට සෑහෙන්න බලපානවා. මාළු කරවල කරද්දි අවශ්‍ය වෙන ප්‍රධානතම දී තමයි ලුණු. ඉතින් විශාල මිල ගණන් වලට ලුණු අරගෙන කරෝල වේලන්ඩ යොදාගන්න බෑ.එතකොට කරවල මිල වැඩි කරන්න වෙනවා. එහෙම වුනොත් මිනිස්සු කරවල මිල දීලා ගන්නේ නැති වෙනවා. කරවල විකිණෙන්නෑ කියන්නේ අපේ ව්‍යාපාර කඩා වැටෙනවා.”
රු 5000 ට ලුණු අරගෙන කොහොමද කරවල වේලන්නේ
නිහාල් මහතා – වැල්ලවීදියේ සා.සෙබස්තියන් කරවල සමිතිය
” රුපියල් 600ට ,700 ට තිබුණු ලුණු ගෝනිය. පසුව 1500 ට විතර වගේ ගියා. ඉන්පස්සේ තමයි මේ විදිහට රුපියල් 5000 සීමාවට වගේ දැන් මේ වෙද්දී ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ලුණු ගණන් නිසා අපි කරවල වේලන එක සීමා කරලා තියෙන්නේ. වැල්ලේ කොච්චර මාළු අහු වුනත්, ඒ මාළු කොච්චර අඩු මිලකට අපට ලැබුණොත් මේ ලුණු වල අධික මිල ගණන් හින්දා අපිට මේ වෙද්දි මාළු වේලීම අපි සීමා කරලා තියෙන්නේ. මේ වැල්ල පුරාම පසුගිය සති කිහිපයක් තිස්සේම හාල්මැස්සෝ සාලයෝ වගේ වෙනත් පොඩි මාළු කරවල වලට වේලපු ගොඩක් අය අද වෙද්දී ඒ වැඩේ අතඇරලා ගිහිල්ලා. මොකද රුපියල් 5000 කට විතර වගේ ලුණු අරගෙන ඒ විදිහට කරවල කරන්න බෑ. එහෙම වේලලා ඒ කරවල අධික මිල ගණන්වලට විකුණන්නත් බැහැ. ඔන්න ඔය නිසා තමයි ගොඩක් අය කරවල කරන එකෙන් අද වෙද්දි අයින් වෙලා ඉන්නේ. අද මීගමු වැල්ලේ කරවල වේලන තැන ගොඩාක් අඩුවෙලා තියෙනවා.
කරවල බිස්නස් එකෙන් දැන් හුගක් අය අයින් වෙලා ඉන්නේ
ඇන්ටනී මහතා – කරවල රස්සාවේ යෙදෙන්නෙක්
![](https://www.meepura.com/storage/2025/02/geethanee-274x300.jpg)
ඉන්දියාවෙන් ලුණු ගෙනල්ලා දෙනවා කියන එක විසඳුමක් විදිහට හොඳයි.
ගීතානි ප්‍රනාන්දු මහත්මිය – සභාපති -ශාන්ත අන්තෝනි කරවල සමිතිය – මංකුලිය
” දැන් මේ රටේ පැන නැගිලා තියෙන මේ ලුණු ප්‍රශ්නය, ලුණු හිඟයක් නිසා ඇතිවුණ ප්‍රශ්නයක් නෙවෙයි කියලයි අපි නම් හිතන්නේ.මොකද ලුණු හිඟයක් තියනවනම් , ලුණු කොහොමටවත් වෙළඳපලට පැමිණෙන්න විදිහක් නෑ.නමුත් දැන් වැඩි ගානට මිලට ගන්න නම් ලුණු වෙළඳපොලේ තියෙනවා.;ඉතින් වැඩි ගානට හරි මිලදී ගන්න වෙළඳපොලේ ලුණු තියනවා කියලා කියන්නේ එතන හිඟයක් නෑ කියන එකයි.අපිට නම් හිතෙන්නේ මේ ලුණු හිඟයක් මවාපාලා තියෙන්නේ.මිල ගණන් වැඩි කරගන්න ඕන නිසා. මේකත් හරියට අර රටේ දැන් තියෙන හාල් ප්‍රශ්නය වගේ ප්‍රශ්නයක්. මිල ගණන් වැඩි කරගන්න අවශ්‍ය වුණහම නැති හිඟයක් තියෙනවා කියලා මවාපානවා. අපට මුලින්ම ලුණු කොට්ටයක් හම්බ වුණේ රුපියල් 600 ට. ලුනු කොට්ටයක සාමාන්‍යයෙන් කිලෝ ග්‍රෑම් 50 කට ආසන්න තියෙනවා. ඒ රුපියල් 600 මිල අපේ කර්මාන්තයට එච්චර ගානක් වුනේ නෑ. ඊට පස්සේ ඕක රුපියල් 1500 ට විතර ගියා. එතකොට කරවල වේලන අපි වාගේ අයට ඒ මිල දරාගෙන කරගෙන යන්න අමාරු වුනා. එහෙම අමාරු තත්ත්වයක කරගෙන යද්දි තමයි, ඒ මිල තවත් දෙගුණ තෙගුණ වෙලා තියෙන්නේ. මේ වෙද්දි ලුණු කොට්ටයක මිල රුපියල් 4700 ට රුපියල් 4800 විතර වැඩි වෙලා තියෙන්නේ. ඉතින් බලන්න ලුණු කොට්ටය රුපියල් 1500 ට තියෙද්දිත් අමාරුවෙන් කරගෙන ගිය අපට ඒක රුපියල් 4800 ට , 4900 ට වැඩි වෙද්දි එක කොහොමද කරගෙන යන්නේ කියලා කල්පනා කරලා බලන්නකෝ..අනිත් එක ඔය දැන් වෙළඳපොලේ විකුණන්න තියෙන හම්බන්තොට ලුණු කොට්ටේ පුත්තලම එකකට වඩා රුපියල් 500ක්,600ක් ගාන අඩුයි. නමුත් ඒකෙ වැලි කලවම් කරලා තියෙන්නේ. ඉතින් රුපියල් 500 ක් , 600 ක් අඩුවට හම්බවුනත් වැලි ටික ඇරලා ආපුවහම අපිට හම්බෙන ලුණු ප්‍රමාණය අඩුයි. එතනත් අපිට විශාල පාඩුවක් සිදුවෙනවා.සාමාන්‍යයෙන් මේ කරවල වේලෙනකොට මාළු කිලෝග්‍රෑම් 100ක් වේලන්න ,ලුණු කොට්ටයක් යනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ තත්වයෙන් අඩු එහෙත් මිල ගණනුත් වැඩි ලුණු ලැබුනහම අතිරේකව තවත් වියදමක් දරන්නත් වෙනවා. අනිත් එක අපි වේලන කරවල වල කොලිටියත් අඩුවෙනවා. මේ ප්‍රශ්න සහ ගැටලු නිසා, මේ වෙද්දි අපේ ව්‍යාපාර නිසි විදියට කරගෙන යන්න බැරිම තත්ත්වයකට තමයි අද වන විට පත්වෙලා තියෙන්නේ.
ඉන්දියාවෙන් ලුණු ගෙනල්ලා දෙනවා කියන එක විසඳුමක් විදිහට හොඳයි. නමුත් අපි කියන්නේ අපිට කොහෙන් හරි කමක් නෑ හොඳ කොලිටි ලුණු මිල අඩුවට ලැබෙන්න ඕන. එතකොට තමයි අපිට මේ කර්මාන්තය කරගෙන යන්න පුළුවන් වෙන්නේ.මොකද මිල වැඩි ලුණු අරගෙන කරවල වේලලා, කරවල වල මිල ගණන් අපිට වැඩි කරගන්න විදිහක් නෑ. මොකද කරවල හුඟක් ආහාරයට ගන්නේ දුප්පත්ම සහ මධ්‍යම පාන්තිකව ඉන්න අය. ඉතින් කරවල වල මිල ගණන් වැඩි කරපුවාහම එයාලා ඒවා මිලට ගන්නේ නැතුව යනවා. එහෙම වුණොත් කොහොමටත් අපේ මේ කර්මාන්තය කරගෙන යන්නම බැරි තත්වයකට පත්වෙනවා. ඉතින් කොහොමටවත් අපිට මිල වැඩි කරගන්නත් බෑ. අනික තමයි අපි සෑම කෙනෙක්ම, ඒ කියන්නේ මහා පරිමාණයෙන් මධ්‍ය පරිමාණයෙන් සුළු පරිමාණයෙන් මේ කරෝල වේලීමේ බිස්නස් එකේ ඉන්න සෑම කෙනෙක් මගේ බැංකුලවන් අරගෙන,ඒ ලෝන් හරහා තමයි මේ ව්‍යාපාර කටයුතු හුඟක් අය කරගෙන යන්නේ. ඉතින් කරවල වේලන්න යන වියදම් වැඩි වෙද්දී , කරවල විකිණුවත් ඒ වලින් ලාභයක් නැත්නම් ඒ අය කොහොමද මේ ලෝන් වල වාරික මුදල් ගෙවා දමන්නේ. අනික මේ කර්මාන්තය තුළින් සෘජු හා වක්‍ර ලෙස රැකියා කරන අය කෙතරම් ප්‍රමාණයක් නම් ඉන්නවද . ඒ රැකියාවන් නිසා පවුල් සිය ගාණක් යැපෙනවා. මේ ලුණු ප්‍රශ්නය නිසා ඒ සියලුම පවුල්වල ජීවිකාවන්ට දැඩි තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. ඒ අයගේ ජීවිත පවත්වාගෙන යන්නට නොහැකි තත්ත්වයකට පත්වෙලා තියෙනවා අද වෙද්දි. අපි පෙනෙන්නට තියෙන විදිහට මීගමුව තුල මේ ප්‍රශ්නය විශාල ඛේදාන්තයක් බවට පත්වෙන්න බොහොම ඉඩකඩ තියෙනවා. ඉතින් අපි නම් හිතන්නේ මේකට වගකිව යුත්තන්ගේ ඉක්මන් මැදිහත්වීමක් අවශ්‍යයි කියලයි.
![](https://www.meepura.com/storage/2025/02/WhatsApp-Image-2025-02-12-at-18.20.25_03a7e11f-1024x768.jpg)
![](https://www.meepura.com/storage/2025/02/WhatsApp-Image-2025-02-12-at-18.20.44_beb54525-1024x768.jpg)
![](https://www.meepura.com/storage/2025/02/WhatsApp-Image-2025-02-12-at-18.21.10_1a7e4a4e-1024x768.jpg)
![](https://www.meepura.com/storage/2025/02/WhatsApp-Image-2025-02-12-at-18.21.09_354b0c73-1-1024x768.jpg)