( 3.00 pm ) පසුගිය 2024 වසරේ පැවැති “සමස්ත ලංකා පාසල් සංගීත” තරගාවලියේ ජේෂ්ඨ-දෙවන ඒකල පිරිමි හවායන් ගිටාර් වාදන අංශයේ ප්‍රථම ස්ථානය හිමිකර ගත් මීගමුව ,සාන්ත පීතර විද්‍යාලයේ ජී.කවීෂ රන්මල් ධර්මසිරි සිසුවා පිළිගැනීමේ සහ උපහාර දැක්වීමේ විශේෂ උත්සවයක් පසුගියදා එම විද්‍යාලයේදී පැවැත්විණි ශාන්ත පීතර විද්‍යාලීය පරිශ්‍රයේ පැවති එම උත්සවය සඳහා විදුහල්පති ආනන්ද ලේකම්ගේ මහතා ඇතුළු එම විද්‍යාලීය ගුරුභවතුන් මෙන්ම විද්‍යාලීය සිසු දරු දැරියන්ද සහභාගි වූහ. එහිදී විදුහල්පති ආනන්ද ලේකම්ගේ මහතා විසින් කවීෂ රන්මල් සිසුවාට ඔහු ලද මෙම ජයග්‍රහණය වෙනුවෙන් විශේෂ සමරු තිළිණ ප්‍රදානයක්ද සිදු කරන ලදී. ඔහුගේ මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමගින් ඔහු මීගමුව, ශාන්ත පීතර විද්‍යාලයට පමණක් නොව සමස්ත මීගමු පුරවරයටද විශාල කීර්තියක්, ගෞරවයක් රැගෙන ආවේය. මේ… ඔහු පිළිබඳව තැබෙන සටහනකි.




මීගමුව, දළුපත මන්ත්‍රීවන්ත ප්‍රදේශයේ වෘත්තියෙන් කාර්මිකයෙකු වූ අජන්ත ධර්මසිරි මහතාගේ සහ ඈන් කුමාරි මහත්මියගේ දරුවන් තිදෙනෙකින් යුත් පවුලේ බාලයා වූ කවීෂ රන්මල් ධර්මසිරි, බාලාංශ වසරේ සිට උසස් පෙළ දක්වාම අධ්‍යාපනය ලැබුවේ මීගමුව ශාන්ත පීතර විද්‍යාලයෙනි. පාසලේ අධ්‍යාපන කටයුතු සේම ක්‍රීඩා වලටද එලෙසම විද්‍යාලීය කලා කටයුතු වලටද ඔහු එකසේ දස්කම් දැක්වීය. ඔහු පාසලේ 15 න් පහළ සහ 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායම් වල දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවට පත් වී සුවිශේෂී දස්කම් දැක්වීය. එලෙසම කවීෂගේ වැඩිමහල් සහෝදරයා එකොස්ටික් ඩ්‍රම්ස් වාදකයෙකි. ඒ නිසාම ඔහු ද පසුකාලයේදී එකෝස්ටික් ඩ්‍රම්ස් වාදකයෙක් බවට පත්වු අතර අද වන විට ඔහුද එකොස්ටික් ඩ්‍රම්ස් වාදනය තුළ සුවිශේෂි දස්ෂයෙකි. ඩ්‍රමස් වාදනයට මෙන්ම බොක්ස් ගිටාර් වාදනයෙහිද ඔහු මනා දක්ෂතා පෙන්නුම් කරන වාදකයෙකි. අන්තර්ජාලය තුළ බොක්ස් ගිටාර් වාදනය සහිත වීඩියෝ පට නරඹමින් ඔහු බොක්ස් ගිටාර් වාදනය ස්වයංව අධ්‍යනය කරමින් වැඩිදුරටත් පුරුදු පුහුණු වන්නට විය. ඔහුගේ බොක්ස් ගිටාර් වාදනය එතරම්ම ආකර්ශනීය සහ ලගන්නා සුළු විය. මේ හේතුව නිසාම ඔහු අද වන විට
“රිමයින්ඩර්ස් ” නමැති සංගීත කණ්ඩායමේ වෘත්තීය වාදකයෙකු ලෙස ද කටයුතු කරයි. සංගීත කලාවට කෙතරම් දක්ෂතාවයක් ආකර්ෂණයක් ඔහු තුළ තිබුණත් ,ඔහු අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී කලා විෂය බවට පත්කර ගත්තේ චිත්‍ර කලාවයි. චිත්‍ර කලාවද ඇතුළුව ඔහු අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව අපොස උසස් පෙළ සඳහා වානිජ විෂය ධාරාව තෝරා ගත්තේය.
මේ අනුව ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් වූ, ඒ සොඳුරු දිනය උදාවන්නට විය. එය 2022 වසරේ ගුරු සැමරුම් දිනය විය . සමස්ත ගුරු භවතුන් ස්මරණය කෙරෙන ඒ සුවිශේෂී දිනයේ ශාන්ත පීතර විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ පැවති එම ගුරු උපහාර උත්සවයේදී ගැයූනු ගීතයකට ඔහු විසින් ඉදිරිපත් කළ බොක්ස් ගිටාර් වාදනය කාගෙත් මතකයේ රැඳෙන ලගන්නා සුළු ආකර්ශනීය ගිටාර් වාදනයක් විය. එදින ඔහු ඉදිරිපත් කළ එම වාදනය මනා පලපුරුදු ගිටාර් වාදකයෙකුගේ වාදනයකට සමාන විය. ඒ අවස්ථාවේ මහත් ඕනෑකමකින් ඔහුගේ වාදනය රසවිඳිමින් ඔහු දෙස බලා සිටි විද්‍යාලීය සංගීත ගුරුවරයා වූ විශාරද මහේෂ් සිල්වා මහතා ඔහුට ඇරයුමක් කළේය. එම ඇරයුම පිළිබඳව ඔහු අප හා මෙසේ පැවසීය.
“”” එදා මහේෂ් සර් මට කිව්වා පාසල වෙනුවෙන් සංගීත තරඟ වලට සහභාගී වෙන්ඩ කැමතිද කියලා, මම ඒකට කැමැත්ත ප්‍රකාශ කෙරුවා. ඊට පස්සේ පාසල වෙනුවෙන් සංගීත තරඟ කිහිපයකටම මම සහභාගි වුණා. දවසක් සර් මට කිව්වා, වාණිජ අංශයෙන් උසස් පෙළ කරන එක නතර කරලා, උසස් පෙළට කලා අංශයෙන් සංගීතය තෝරාගෙන උසස් පෙල කලා නම් හොඳයි නේද කියලා. ඒ වෙද්දී මම වාණිජ අංශයෙන් අවුරුද්දක් විතර උසස් පෙළ කරමින් හිටියේ. මටත් හිතුනා මට සංගීතය තුළ යම් දක්ෂතාවයක් තියෙන නිසා සංගීත අංශයෙන් උසස් පෙළ කෙරුවොත් හොඳයි කියලා. ඉතින් සර්ගේ යෝජනාව මම පිළිඅරගෙන අම්මටයි තාත්තටයි කියලා නැවත මුල ඉඳලා මම සංගීත අංශයෙන් ඒ කියන්නේ කලා විෂය ධාරාව යටතේ උසස් පෙළට සූදානම් වුණා. ඉතින් මම ගිය අවුරුද්දේ උසස් පෙළට පෙනී හිටියා. ඒකේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් තමයි දැන් ඉන්නේ. ඒ අතරෙදි තමයි මම මේ සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ හවායන් ගිටාර් වාදන අංශයෙන් ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය දිනාගන්න හැකි වුනේ.””””.
බොක්ස් ගිටාර් වාදන ශිල්පියෙකුට හවායන් ගිටාර් වාදන ශිල්පයකු බවට පත්වීම විශාල අභියෝගයකි. මන්ද බොක්ස් ගිටාර් වාදනයකදී ඇසෙන හඬට වඩා හවායන් ගිටරයෙන් නික්මෙන හඬ ඉතා තියුණුය. එමෙන්ම ඒ හඬ හැඬුම් ස්වරයක් බඳුය. හවායන් ගිටාරයෙන් නික්මෙන හඬ ඉතා සංවේදීය. එලෙසම අප අසා ඇති පරිදි බොක්ස් ගිටාරයකට වඩා හවායන් ගිටාරයක් වාදනය කරන්නෙකුට මනා සංයමයක් සහ මනා ඉවසිලිවන්භාවයක් මෙන්ම මනා හික්මීමක් තිබිය යුතුමය. එලෙසම බොක්ස් ගිටාරයක් වාදනය කරන්නේ ” පික් ” (Guitar Pick) එකක් ආධාරයෙනි. එහෙත් හවායන් ගිටාරයක් වාදනය කළ යුත්තේ “ස්ලයිඩ්” (Guitar Slide) එකක් ආධාරයෙනි. ඒ නිසාවෙන්ම හවායන් ගිටාරයකින් නික්මෙන හඩ ඉතා තියුණු නැලවිලි ස්වරයක් ලෙස පුළුල් පරාසයක් පුරා විහිදී යයි. මේ නිසාම උත්තර භාරතීය රාගධාරී සංගීතය තුළ පවා හවායන් ගිටාරය යොදා ගැනීම මේ වන විට සුලභව දැකිය හැක. හවායන් ගිටාර් වාදනය තුල කවීෂ මුහුණ දුන් සියලු අභියෝග ජය ගන්නට ඔහුට යෝධ ශක්තියක් බවට පත්වී තිබුණේ ශාන්ත පීතර විද්‍යාලයේ වර්තමාන සංගීත ගුරුවරයා වු මහේෂ් සිල්වා මහතායි. සිය ගුරු පියා ගැන අදහස් දැක්වූ කවිෂ පැවසුවේ මෙවැන්නකි.
“” ඇත්තෙන්ම කියනවනම් මම සංගීතයට කුඩා කාලේ ඉඳලම ලොකු කැමැත්තක් ආශාවක් තිබුණත්, උසස් පෙළට සංගීත අංශයෙන් පෙනී සිටින්න කවදාවත් මගේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ. සංගීතයට සහ වාදනයට මගේ තියෙන දක්ෂතාවය දැකලා උසස් අධ්‍යාපනය පැත්තෙන් සංගීතයට මාව යොමු කළේ මගේ සංගීත ගුරුවරයා වු මහේෂ් සිල්වා සර්. ඒ විතරක්ම නෙවෙයි බොක්ස් ගිටාර් වාදකයෙකු ලෙස දස්කම් අතරට එන්න මට ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ලබා දුන්නේත් මහේෂ් සර්ම තමයි. ඒවාගේම මට මේ සමස්ත ලංකා තරගාවලියට යන්න මට හවායන් ගිටාර් එකක් තිබුණේ නැහැ.නමුත් මහේෂ් සර්ගේ සංගීතමය දැනුම සහ අත්දැකීම් භාවිතා කරලා මා ගාව තිබුන ඒ බොක්ස් ගිටාර් එක වැඩිදියුණු කරලා, ඒක හවායන් ගිටාර් එකක් බවට පත් කරලා ඒක නියම හවායන් ගිටාර් එකක් බවට සකස් කරලා, අපේ විද්‍යාලය වෙනුවෙන් මේ සමස්ත ලංකා තරගාවලිය නියෝජනය කරන්න අවස්ථාව උදා කරලා දුන්නෙත් මහේෂ් සර් ම තමයි. ඉතින් අද මම මේ සමස්ත ලංකා තරගයෙන් ප්‍රථමයා බවට පත් වුණත් මම වෙනුවෙන් මගේ ළඟින්ම ඉඳන් මාව දිරි ගන්වලා මට අවශ්‍ය දැනුම පොතෙන් පතින් විතරක් නෙවෙයි ප්‍රායෝගික පුහුණුව පවා මට ලබාදීලා, මට මේ වගේ ජයග්‍රහණයක් ලබා ගන්න මහේෂ් සර් මට ලොක සහයෝගයක් ලබා දුන්නා. “”
අනාගතයේදී , සංගීත අචාර්යවරයෙක් බවට පත්වීම කවිෂගේ බලාපොරොත්තුවයි. ඔහු ඒ පිළිබඳවද අප හා මෙසේ පැවසීය.
“” මම හිතනවා අපොස උසස් පෙළ සමත් වෙලා මට සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙලා සංගීත විෂය පිළිබඳ උපාධියක් ලබාගන්නට හැකි වේවි කියලා. මම වඩාත්ම කැමතියි සංගීත ගුරුවරයෙක් වෙන්න. සංගීත විෂය සහ, විශේෂයෙන් වාදනය සම්බන්ධව අනාගත පරපුරට ඒ පිළිබඳව උගන්වන්න මම ඉතාම කැමැත්තෙන් ඉන්නේ.. මා මේ පැමිණි ගමනේ දී මගේ දෙමව්පියන් සහ මගේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනාද මට විශාල හයියක් වුනා. ඒවගේම මගේ මේ සංගීත ගමනේ මගේ පෙර ගමන්කරු බවට පත්වන්නේ මගේ සංගීත ගුරුවරයා වන මහේෂ් සිල්වා සර්. ඒ වගේමයි මගේ පාසල ,මීගමුව සාන්ත පීතර විද්‍යාලයේ වර්තමාන විදුහල්පති ආනන්ද ලේකම්ගේ සර්, එතුමා මට මගේ අධ්‍යාපන කටයුතු වලදීත් , මේ තරගාවලියේදිත් මට ලොකු සහයෝගයක් ලබා දුන්නු කෙනෙක්. ඉතින් මහේෂ් සර්ට වගේම ආනන්ද ලේකම්ගේ විදුහල්පතිතුමාටත් මගේ ස්තුතියි ගෞරවය මේ අවස්ථාවේදී පුදකර සිටිනවා. ඒ වගේමයි හිටපු විදුහල්පති රොයිස් ප්‍රනාන්දු මහතාටත් මම මේ අවස්ථාවේදී මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. මේ ජයග්‍රහණය ලබා ගැනීමේදී මගේ පාසලේ සංගීත ආචාරණී ජී.එච්.අයි. ප්‍රියදර්ශණී මිස් ලබාදීපු සහයෝගයට හද පිරි ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒවගේම මේ සමස්ත ලංකා තරගාවලියේදී මගේ මේ හවායන් ගිටාර් වාදනය ඉදිරිපත් කරන්න මට සහාය වාදනයෙන් ලෙස එකතු වුණු අපේ පාසලේ කේ.බී.ජේ. රොහාන් පෙරේරා සහ ජී ජනොද් ගීෂාන් යන සොහොයුරන් දෙදෙනාටද මගේ ස්තුතිය පුදකර සිටිනවා.”
එසේනම්, නුදුරු දිනක නිකුත් වීමට ඇති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල තුළින් ඔහු බලාපොරොත්තු වන සරසවි සිහිනය ජයගන්නට ඔහුට හැකි වේවා යැයි, මේ සටහන අවසන් කරන්නට මත්තෙන් අපි ද ඔහුට මෙලෙස සුභපැතුම් එක් කරමු.
එලෙසම මේ සටහන සමඟින් තිබෙන වීඩියෝ පටයේ ඇති කවිෂගේ මධුර ලයාන්විත හවායන් ගිටාර් වාදනය රසවින්දනය කරන මෙන් ද මේ සටහන කියවු පාඨක ඔබට ද අප මෙලෙස ආරාධනය කර සිටිමු.