අපේ යුගයේ මහා මානව හිතවාදී, සේවක-නායක, සැබෑ ක්‍රිස්තු ප්‍රතිමුර්තියක් වූ, එඩිතර, නිර්භය, දයාර්ද්‍ර එඬේරාගේ නික්ම යාම

0
24

 

( 8.30 am ) ඉකුත් වසර 12 තිස්සේ කතෝලික ජනතාවට පමණක් නොව සමස්ත ලෝකයටම එඩිතර, දයාර්ද්‍ර  නායකත්වයක් දුන් 88 හැවිරිදි   ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ  ස්වර්ගස්ථ වෙති.

“දයාබර සහෝදර සහෝදරියනි, අපගේ දයාබර ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ස්වර්ගස්ථ වූ බව මම ඉතා ශෝකයෙන් ප්‍රකාශ කරමි” යි අපෝස්තලික සභාවේ කාමලෙන්ඥෝ වන කෙවින් ෆැරල් කාදිනල් හිමි වතිකාන රුපවාහිනිය ඔස්සේ ප්‍රකාශ කළේය.  “අද පෙරවරු 7.35ට රෝමයේ රදගුරුතුමන්  වන ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියාණෝ  සිය පියාණන් ගේ ගෘහයට නික්ම ගියහ” යි එතුමා සඳහන් කළේය.

ලෝකයම ශෝකයෙන් සහ  කම්පනයෙන්

පෙබරවාරි 14 වැනිදා සිට දින 38ක් උග්‍ර නිව්මොනියාව හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබා, ඉන් පසු සිය කාසා සාන්තා මාර්තා ගෙදරට ඇවිත් සුවය ලබමින් සිටියත්, එතුමා සිටියේ ඉතා දුර්වලව ය. කිහිප වතාවක් එතුමා  ජනතාවට අතරට පැමිණියත් එතුමා තවමත් රෝගීව, දුර්වලව සිටින බව රහසක් නොවීය.

එසේ තිබියදීත් එතුමා ස්වර්ගස්ථ වූ බව ඇසීමෙන්  ලොව පුරා විශාල ජනතාවක් කම්පනයට සහ ශාතිෂය ශෝකයට පත් වී සිටිති. ඒ අතර බොහෝ රේඩියෝ රුපවාහිනි නාලිකා වලට අදහස් දක්වන ර පූජකවරුන්, විවිධ වෘත්තීන් වල ගිහියන් සහ පාරේ සිටින ජනතාව ද  වූහ. කතෝලිකයන් හෝ කිතුනුවන් පමණක් නොව, විවිධ ආගමික, ජනවාර්ගික සහ සමාජයීය කොටස් වල ජනතාවද ඒ අතර  වෙති.

මවිත කල පාප් වහන්සේ

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගේ අග්‍ර ශ්‍රාවක  වූ පේදුරුතුමන්  ගේ අනුප්‍රාප්තිකයා ලෙස  2013 මාර්තු 13 වැනිදා තෝරා පත්ලො කරගන්නා  ලද එතුමා ,  බොහෝ කාරණා වල “ප්‍රථමයෙක් ”  වෙමින් ලොව මවිත  කළේය.  පළමුවැනි ජේසු නිකායිකයා, පළමුවැනි ඇමෙරිකානු මහද්වීපිකයා. ලෝකයේ දකුණෙන් පැමිණි පළමුවැන්නා. “ප්‍රැන්සිස්” යන නම තෝරාගත් ප්‍රථමයා ආදී වශයෙනි.

මහා කාරුණික මිනිසා

එහෙත් ඊටත් වඩා අවුරුදු 12 පුරා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ලොව මවිත කලේ එතුමන්  ගේ හද උතුරා ගිය මානව හිතවාදය සහ මානුෂවාදී ජීවිත ශෛලිය සහ  ඉගැන්වීම්  මගිනි. ක්‍රිස්තු ධර්මයේ එය හැඳින්වෙන්නේ “දයාව”, “දයා  ප්‍රේමය,” “දයා කරුණාව” , බෙදා ගැනීම” වැනි වචන වලනි. එතුමා ලොව පුරා  ප්‍රත්‍යන්ත වලට  තල්ලු කණු ලැබූ හඬක් නොමැති  දුප්පතුන්, කොන් කරන ලද්දන්, අයුක්තියට සහ අසාධාරණයට ලක්වූවන්, මානව හිමිකම් කඩ කරන ලද්දන්, සරණාගතයන් සහ සාංක්‍රමනිකයන්  ගේ හඬ බවට පත් විය. මනුෂ්‍යයා ජීවත් කරවන සතුන් සහ ශාක වලින්, ගංගා දියඇලි වලින් සමන්විත ජීවී අජීවී සොබා දහම  අනාගත පරපුර  වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළහ. එතුමා මිහිතලය හැඳින්වූයේ  “අපේ පොදු නිවහන” ලෙසය. මේ ගැන  එතුමා ලියූ වේ ප්‍රශංසා නමැති විශ්ව ලේඛනය පරිසර කාව්‍යයක් වැන්න.

ජාති, ජනවර්ග සහ ආගම් පරයා යන මානව සම්බන්ධතා ගැන ලියමින් සහ කතා කරමින් “මානව සහෝදරත්වය” ප්‍රවර්ධයන කිරීමට ක්‍රියා කළේය. එතුමාට ජනවාර්ගික, ආගමික සීමා නොවීය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කතෝලික සභාවේ ශෛලියද වෙනස් කිරීමට අභියෝග කළේය. “දුප්පත් සභාවක්. දුප්පතුන් වෙනුවෙන් වූ සභාවක් ” යන පාඨය තුළ තමාම පාප් ධුරයේ මහේශාක්‍ය බවින් පහතට බැස , දුප්පත් වටිනාකම් ජීවත් වෙමින්, දුප්පතුන්, නිවාස රහිත වුවනට උදව් වෙමින් ඔවුන් වෙත සමීප වෙමින් ආදර්ශයක් දුන්නේ ය.

එතුමා සභාව අතින් වැරදි සිදු වූ බොහෝ කණ්ඩායම්වලින්   සමාව ඉල්ලන්නට ලජ්ජා වූයේ නැත. විවිධ රටවල පූජකයන් විසින්  අපයෝජනයට ලක්කරන ලද ජනතාවගෙන් එතුමා සමාව ඉල්ලුවේය. කැනඩාවට පැමිණි එතුමා මුල් සමයේ එරට ආදිවාසීන්ට කතෝලික සභා ක්‍රියාකාරකම් වලින් සිදු වූ ශාරීරික සහ මානසික තුවාල ගැන බැහැපත්ව සමාව ඉල්ලා සිටියේය. මේ කවර වරදක් වත් එතුමන් කල වැරදි නොවේ.

එතුමාගේ ධුර කාලය ගැන ලියන්නට කියන්නට බොහෝ දේ  තිබේ. ඒවා වෙන වෙනම ලියා තැබිය යුතුය.

අවසන් දින කිහිපය

ප්‍රැන්සිස් සිය ධුර කාලය ආරම්භ කලේ සිය ප්‍රථම මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාව බන්ධනාගාරයක සිරකරුවන් සමග පැවැත්  වීමෙනි. එපමණක් නොවේ, එම දිව්‍ය පූජාවේ පාද දෝවන මෙහෙයේදී  එතුමා සිරකරු  කාන්තාවන් සහ මිනිසුන් 12 දෙනෙකු ගේ පාද දෝවනය  කරමින් සිය ස්වාමියානන් වන ක්‍රිස්තුන් වහන්සේ ගේ බැහැපත් කම ප්‍රදර්ශනය කළේය.

2025 මේ මහා බ්‍රහස්පතින්දා රෝගී බව නොතකා එතුමා රෝමයේ සිරකරුවන් බලන්නට “ස්වර්ගීය රැජන” බන්ධනාගාරයට ගීයේය. “මහ බ්‍රහස්පතින්දට ජේසු කරපු  දේ කරන්න මම කැමතියි. ඒ, පාප් වහන්සේ සිරකරුවන් ගේ  පාද දෝවනය කිරීම. ඒත් මේ සැරේ මට පාද  දෝවනය කරන්න හැකියාවක් නැහැ. ඒත් මට ඕනෑ මම ඔබට ඇති සමීප බව පෙන්වන්න. ඒ නිසා මම ඔබ බලන්න ආවා.” යි එතුමා එහිදී කිව්වේය.

පාස්කු ඉරිදා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය පෝප්මොබයිල් රථයේ නැගී සාන්ත පීතර චතුරශ්‍රයේ පිරි සිටි වන්දානකරුවන් අතර සැරිසරමින් ඔවුන්ට සිය සෙනෙහස ප්‍රකාශ  කරමින් ඔවුන් ගේ සෙනෙහස වැළඳ  ගත්තේය. ඒ මොහොතේ මේ තමන් සසුන් පිය ප්‍රැන්සිස් දකින අවසන් අවස්ථාව ලෙස කවුරුත් නොසිතන්නට ඇත.

අවසන් වශයෙන්  එතුමා පාස්කු ඉරිදා සාම්ප්‍රදායික පාප් වහන්සේ ගේ  “නගරයට සහ ලෝකයට” ආශීර්වාදයද  දානය කළේය.

තමන් ආදරය කරන ජනතාව සමග අවසන් දිනය තෙක් එතුමා ගත කළේය.

සාන්ත පීතර බැසිලිකාවේ බැල්කනියේ සිට ජනතා ආශීර්වාදය ලබා ගෙන සිය පාප් ධුර දහම් සේවාව ආරම්භ කල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  එම බැල්කනියේ සිටම  ජනතාව ආශීර්වාද කර, ඉන් පසුව නික්ම ගියේය.

ස්තුතියි !

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමනි, ඔබට හුඟාක් ස්තුතියි. විශේෂයෙන්ම, දුප්පත්, අසරණ, පව්කාර අපට ආදරය  කිරීම ගැන ඔබට ස්තුතියි. අප වෙනුවෙන් කතා කිරීම ගැන ස්තුතියි. දෙවි සමිඳුන් ගේ පතුල නොපෙනෙන දයා කරුණාව ගැන අපට කියා දුන්නාට  ස්තුතියි.  ඉතින් දැන් පව්කාර  අප වෙනුවෙන් අපේ සමිඳු ඉදිරියේ යාච්ඥා කරන්න.

දෙවි පියාණනි, සසුන් පිය ප්‍රැන්සිස් නමැති ඔබේ මේ සුන්දර තෑග්ග, මේ ‘මවිතය’  අපට දීම වෙනුවෙන් ඔබවහන්සේට ස්තුතියි. අවුරුදු 12ක් පුරා  එතුමාට සිය සේවාව කරන්නට අවසර දීම  ගැනත් ඔබවහන්සේට  ස්තුතියි. දැන් ඉතින් ඔබ වහන්සේගේ අපරිමිපිත දයා කරුණාවෙන් ඔබගේ බැහැපත් සේවකයා  ඔබේ රජ්‍යයට පිලිගන්න !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here