මීගමුව HQI සැප්තැම්බර් 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

0
88

P1090968 NEW
පොලිස් නිලධාරියෙකුගේ නිවසකින් කොල්ල කන ලද රන් භාන්ඩ, මැණික් සහ ලක්ෂ ගණනක මුදල්  මීගමුව පොලිසියේදී අස්ථාන ගතවීම සම්බන්ධව අධිකරණය මගහරිමින් සිටි මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂක සෝමසිරි ලියනගේ  මහතා අගෝස්තු 29 වැනි සදුදා දින දහවලදී මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට භාර විය. එම  නඩු විභාගය අගෝස්තු මස 30 වන දින මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී 04 වන වතාවටත් පැවැත්විණි. ඒ මීගමුව අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි වීරතුංග මහත්මිය ඉදිරියේදීය.
එහිදී මෙම සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු වන  මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාව හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මෙදින පැවැති නඩු විභාගය සදහා රජයේ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ රජයේ අධි නීතිඥවරයෙකු  අධිකරණය වෙත ප‍්‍රකාශ කර සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා  අධිකරණයට භාර  වූයේ පෙර දින (2011/08/29)  බැවින් ඔහු සම්බන්ධයෙන් අධිකරණයේදී පෙරට්ටුවක් පැවැත්වීම සදහා ප‍්‍රමාණවත් කාලයක් නොමැති බවයි. ඒ අනුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට කාලයක් ලබා දෙන ලෙසද රජයේ අධිනීතිඥවරයා අධිකරණයෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියේය.
එලෙසම මෙම සිද්ධියට සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මස 05 වැනි දින රක්ෂිත බන්ධනාගාර ගත කළ  මීගමුව පොලිසීයේ  පොලිස් සැරයන්වරු දෙදෙනෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකුද මෙදින අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මෙම පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ද අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම පොලිස් නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන බොහෝ සෙයින් අවසන් මට්ටමක පවතින නිසා ඒම පොලිස් නිලධාරීන් තිදෙනාට ඇප ලබා දීමට කටයුතු කරන ලෙසයි.
ඒ අනුව දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මීගමුව අතිරේක මහේස්ත‍්‍රාත්වරිය පොලිස් නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතු අවසන් කර එහි වාර්තාවක් ලබන සැප්තැම්බර් 12 වන දිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය. එතෙක් මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුඵ සෙසු පොලිස් නිලධාරීන් තිදෙනාවද ලබන සැප්තැම්බර් 12 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද ඇය නියෝග කළාය. තවද එදින  මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාව ද හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසද අතිරේක මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.

තුෂාර රොහාන්